ගඩොල් කෝච්චියෙන් කොස් කන්දේ අතීතයට ....
කොස් කන්දේ විල කුඩා කඩමණ්ඩියක් විය. එය කුඩා උවත් සියලු අවශ්‍යතා සපුරු කඩමණ්ඩියකි . කොළඹට යන බස් සහ කොළඹ සිට එන බස් නතර කලේ මේ කඩමණ්ඩිය මැදය . ඒ නිසාම කඩමන්ඩියේ හැම විටම කිහිප දෙනෙකු හෝ දැක ගත හැකි විය . බස් නැවතුමේ තුන් හතර දෙනෙක්ටවත් බදන්නට බැරි තැබිලිපාට මල් පිපෙන ගසක් විය .
පැරණි ගම කොතරම් සශ්‍රීකද කියා අද ඒ කඩමණ්ඩිය මෙනෙහි කරන විට මට සිතේ …
හැම බඩුවක්ම තිබූ සිල්ලර කඩයක් එහි විය . එහි නොතිබූ දෙයක් නැත . එ සිලිලර කඩය අපේ ළමා විය කිසිදා අමතක නොවන්නට හේතු බොහෝ සැකසූ කඩයකි . ඒ කඩේ විශාල වීදුරු බෝතල් ඇත . එක් වීදුරු බෝතලයක පාන් විස්කෝතු පුරවාලාය . තවත් වීදුරු බෝතලයක විස්කිරින්ඤන්ය . ඊට ටිකක් කුඩා බෝතලයක ග්ලෝකෝස් වැනි සුදු කුඩක් තැවරූ නාරං බික් ලොසින්ජරය . අද මෙන් වයිවාරණ ටොෆි චොකලට් නොතිබුණත් උස්වත්තලා උපාලිලා හැදූ බොහෝ ටොෆි චොකලට් එහි විය . සුදු සව් කොල කෑල්ලේ අයිනේ දම්පාට ඉරක් පේන්න ඔතපු බුල්ටෝ එකක්නම් කඩේට ගියොත් කිසිම දවසක වරදින්නෑ .
නාරම් බික් ලොසින්ජරයක් සත පහක් පමණ විය . ලොසින්ජරය කෑමට වඩා එහි ඇති සීනි කුඩු කෑමට අප කැමතිය . එහෙත් ඒ කුඩු ටික ගැනීමට ලොසින්ජර බෝතලයම ඉවර වෙනකම් බලා සිටින්නට සිදුවිය . සත විසිපහක කුඩු ටිකක් දෙන්නකෝ , සත පනහක කුඩු ටිකක් දෙන්නකෝ බෝතලය ඉවර වෙන කාලයේදී මුදලාලිටද කංකාරච්චලයකි . සමහර දිනවලට මුදල් නොගෙනම කුඩු කොල කෑල්ලකට දමා දුන්නද සමහර දවසට මුදලාලිටද ලෝභකමක් මතුවෙයි . එදිනට ඒ කුඩු ගණන්ය …
කඩේට එන පොඩි උන්ට කඩේ ඉදිරියේ තබා ඇති ලොකු පුන්නක්කු ගෝනියද මහමෙරකි. කඩේට කුමක් හෝ මිලදී ගන්නට ආ විට පොඩි පුන්නක්කු කෑල්ලක් හෝ කටේ නොදා ගත් පොඩි එකෙකු හොයාගත නොහැකිය . හොරෙන් කද්දී එය රස කෑමකි . ඒ කුඩු අදට මතකයට නැගෙයි . සබන් කපන නූල එකල බොහෝ කඩවල්වල දැකගත හැකි දෙයකි . අද මෙන් සබන් කැට පිටින් ගන්න මිනිසුන් එදා නැත . සබන් භාගය කාල කැපීමට භාවිතා කළේ නයිලෝන් නූලකිනි . එය ඇණයක් ගසා කඩේ එල්ලා තිබුණි . ගමේ කඩේ තිබුණේ ගමේ සහල්ය . ඒ නිසා සහල් හැමවිටම අලුත් විය .
කඩ මණ්ඩියේ තැපැල් කන්තෝරුවක්ද විය . තැපැල් කන්තෝරුව සහෝදරයන් ගිනි තබන තෙක්ම එහි විය . ඉන්පසු කඩමණ්ඩියට තැපැල් කන්තෝරුවක් අහිමි විය . ගමේ ගෙවල් දෙක තුනක හැර දුරකථනයක් පැවතියේ තැපැල් කන්තෝරුවේය . ගමට එන හදිසි ඇමතුම් ආවේ තැපැල් කන්තෝරුවටය . වැඩි පණිවිඩ ආවේ ටෙලිග්‍රෑම් ලෙසය . ඒ කාලේ ළමා ගිණුම් තිබුනේ තැපැල් කන්තෝරුවේය . මාසෙකට වරක් ගමේ වැඩිහිටියන් පැන්ෂන් ගන්නට තැපැල්කන්තෝරුවට පැමිණෙන්නේ පරණ යාළුවන් දැකබලා ගැනීමේ අදහසිනි . එදාට තැපල් කන්තෝරුව ඉදිරිපිට තිබූ බුලත්විට කඩයට වෙලදාම හොදය .
තැපැල් කන්තෝරුව පිටිපස විශාල බේකරියක් විය . ගමටම පාන් බණිස් සැදුවේ එතනය . පාන් හදන හැටි බලන්නට සතියකට දිනක් හෝ යෑම අපේ පුරුද්දකි . බේකරියේ හැම මුල්ලකම අද මෙන් බයින්නට මිනිස්සු එදා නැත . අද දරුවන් ක්ලේ වලට ඇති ආශාව මෙන්ම එදා තැටි පිහිදු පිටි ගුලියට අප කැමතිය . එය තෙළින් හොඳින් ඇනුණු පිටි ගුලියකි . තැටි පිහිදා ඉවත් කරන පිටි ගුලියෙන් ඉන්පසු අපට බොහෝ වැඩ ඇත . සත්තු මිනිස්සු වාහන ඉන් හදන්නේ නැති දෙයක් නැත . හවස තුන පමණ වෙද්දී හදිස්සියට එන බඩගින්නට භාගෙට පිළිස්සු තැටි පාන් කියාපු කෑමකි . පෝරනුවේ පාන්පිච්චෙන සුවඳ පාන්දරට මෙන්ම සවස තුන හතර වන විටද හන්දිය පුරා පැතිර යයි .
රබර් කොට හතරට පලා ගොඩ ගසා ඇති දර ගොඩ කිසිදු දිනක නිමා නොවන්නේ හැම දිනකම දර කරත්තය පැමිණෙන නිසාය .
පෝරනුවට එහා පැත්තෙන් තිබුණේ වින්කලයයි . පුස්සයිකල් හදන පැච් දාන තැන එතනයි . ගමේ වැඩි දෙනෙක් භාවිතා කළේ පුස්සයිකල්ය . එදා බයිසිකලයට පුස්සයිකල් කියා කියන්නේ ඇයි ද කියා තිබු ගැටලුව අවසන් වූයේ ටිකක් ලොකු වන විටය .
ඊට ටිකක් එහායින් කම්මල විය . කම්මල පමණක් නොව ගමට අවශ්‍ය සියලු යකඩ වැඩ සිදු කෙරුණේ එතනය . උදලු මන්නා පොරෝ පමණක් නොව ග්‍රිල් ගේට්ටු පවා එතැන සකස් විය . ඊට තවත් ටිකක් දුරින් වී මෝල පිහිටියේය . දර මඩුව පිහිටියේ කොස් කන්ද පාමුලට වන්නටය .
හන්දිය මැදට වන්නටම කෑම කඩයක්ද විය . එහි හැමවිටම උතුරන විශාල බොයිලේරුවක් විය . එහි රෙදිවලින් හැදු තේ ගොට්ට අදටත් මතකය . කඩේ ඉදිරියේ එක් පසක දෙර ලෑලි එකමත ගොඩ ගසා ඇත . කඩේ පුටු තිබුණද තේ බොන්නට එන බොහෝ අය වාඩි වූයේ එ මතය . එ කයියක් ගසන්නට එය නියම තැනක් වීමයි . මුල් කාලයේ එතන එතරම් විශාල නොවූ අඹ ගසක් විය . මුදලාලිගේ නොනාගේ පරිප්පු හොද්දට ගසන්නට පරිප්පු හොද්දක් අහල ගමකවත් නැත . බොහෝ මිනිසුන් එ කඩයට එන්නේ පානුයි පරිප්පුයි කන්නටය . එය ඒ තරම්ම රසය . පාන් බාගය දෙකට කපා පරිප්පු තසිම සමග මේසයට කෑම පිළිගැන්වීම සාමාන්‍ය සිරිතය . එකල මදි වෙන මිනිසුන්ට පාන් අරික්කාලද ලබාදෙන අයුරුමා දැක ඇත . අද මෙන් පාන් ගෙඩිය විතරයි දෙන්නේ කියා නීතියක් එදා තිබුණේ නැත. සුදු සව්කොලයකින් එතු වටේට සීනි අයිසින් දැවටු පලතුරු කේක් ඒ කඩේ තිබු අනෙක් දිව්‍ය බෝජනයයි . එය එතරම්ම රසය . මෑත කාලයේ කිසිදු තැනක මා එය දැක නැත.
හන්දියේ අයිනට වන්නට බාබර් සාප්පුවක් , ඇඳුම් මසන තැනක් මෙන්ම පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක් ද විය . ගමේ කොරටු වල හැදෙන දඹල , මෑ , පලා වර්ග මෙන්ම කුඹුරට මායිම්ව වතු පහල ඇති කොහිල වලවල් වලින් ගලෝන කොහිල අලද කොහිල දඩුද බුලත් කඩයේ මැස්සේ විකුණති . සතියකට දෙකකට සැරයක් නෙලුම් අලද නැත්තේම නොවේ . බොහෝ ගෙවල් වල කොස් පොලොස් තිබුනද ඉද හිට වැල වරකා ගෙඩියක් කපා මැස්සේ දක්නට නැත්තේද නොවේ . ගමේ මිනිසුන්ගේ හැම අවශ්‍යතාවයක්ම ගම මැදින් සපුරා ගැනීමට එකල හැකිවිය .
හන්දියට පියවර කිහිපයක් ඇතින් රබර් අඹරන මෝලකි. ගමේම රබර් රුගෙන ආවේ එතනටය . එහි විවිධාකාර අතින් කරකවන විශාල යන්ත්‍ර සූත්‍ර දක්නට ඇත . නිවෙස් වල හදපු රබර් රොටි මිලදී ගත්තේ මෙතනය . රබර් රොටි වල වතුර ඉවත්කර වියලා මිටි බැඳ ගොඩගසු විට ඒවා දුම් ගසා වියලු කරවල ගොඩවල් මතකයට නැගෙයි . ඒ ආසන්නයේම විශාල වාහන අලුත්වැඩියා කරන ගරාජයක්ද විය .
ගල් වල පැවතියේ හන්දියෙන් අනිත් පැත්තටය . ගල්වල ගැන මම පෙර ලිපියක ලියූ නිසා ඒ ගැන වැඩිය ලියන්නට වශ්‍ය නැත .
පාසල පිහිටියේ වෙල්යාය මැද . ඒ කාලේ අප පාසලට කීවේ ගඩොල් කෝච්චිය කියාය . එය ප්‍රාථමික පාසලකි . මා දන්න තරමින් නමය ශ්‍රේණිය දක්වා එහි පන්ති පැවතුණි . අද එය තරමක් දුරට හොඳින් හැදූ පාසලක . ගඩොල් කෝච්චිය කියා කියන්නට හේතුව වූයේ එහි පැවතියේ දිගු ශාලාවකි . ඒ ශාලාවේ බාගයක්ම කඩා වැටී ඇත . අපි දන්නා කාලයේ සිටම එය කඩා වැටී ඇත . බොහෝ පසුකාලීනව එහි භාගයක් අලුත් වැඩියා කලේය . එය දිගු කෝච්චි පෙට්ටියක් වැනි ගොඩනැගිල්ලකි . කඩා වැටුණු ගඩොල් නිසා එය ගඩොල් කෝච්චිය විය . ගමේ හැමෝම එයට කීවේ ගඩොල් කෝච්චිය කියාය .
වර්තමානයේ පාසල හදා තිබුණද අදට යම් අය එය හැඳින්වීමට ගඩොල් කෝච්චිය කියා කියන මට ඇසී ඇත . එය අහල ගම් සියල්ලේම පැරණිම පාසලක් විය යුතුය . අප දහම් පාසල් ගියේ මේ පාසලටය . කුඩා ළමයින්ට රත්නාරාම පන්සලේ දහම් පාසල් පැවති අතර මතක විදියට හතර පහෙන් උඩ ළමයින්ට දහම් පාසල පැවැතියේ ගොඩනැගිල්ලේය . පන්සලේ නායක හාමුදුරුවෝ අනුශාසක වූ අතර දහම් පාසලට විදුහල්පතිවරයෙක් සිටියේය . දහම් පාසල පාසලෙන් ඉවත් කරන කාලය වන තෙක්ම විදුහල්පතිවරයා ඔහුය . ගමේ පැරණිම පන්සල වූ පුරාණ විහාරයේ දහම් පාසලක් එවකට පැවතියේ නැත . මා දන්නා ඉතිහාසයේ සිට අද දක්වාම පුරාණ විහාරයේ සිටින්නේ එකම නායක හිමි කෙනෙකි . මා දශක හතර පහකට පෙර කුඩා කල දුටු රූපයම අදත් එලෙසම ඒ හිමිගේ පැවතීම ධර්මයේ ආනුභාවයදැයි කියා මට හැම විටම සිතේ .
ගඩොල් කෝච්චිය සම්බන්ධ රස කතාද බොහෝ පවතී . මේ පාසලට ළිඳක් තිබුණේ නැත . කොහොමහරි පාසල ආසන්නයෙන් ළිඳක් හැදුවද පාසල සමග පිටි තරහකාරයෙක් හැමදාම ලිදට කලුතෙල් දැමීම නිසා ළමයින්ට වතුර බීමට සිදුවූයේ අහල පහළ ගෙවල් වලින් ඉල්ලාගෙනය . පාසලේ පැරණි ළිඳට වී තිබුණේද එයයි . පාසලේ වහලයට තිබුණේ ටකරන්නය . ඒ නිසාම බොහෝ දිනවලට වහලයෙන් ඇතුල්වන හොරෙක් පාසලේ සීනුව රැගෙන යති . මාසයකට දෙකකට සැරයක් සීනුව හොරු ගෙනිහිං ඇති බවට ගම පුරා රාවයක් යැයි . එය නවත්තන්නට ක්‍රමයක් ද නැත . පාසලට තහඩු ටික ලැබුන්නේද බොහොම අමාරු වෙනි . පාසල ඉදිරියේ වෙළ පවරගෙන පාසල ලොකු කරන බවට උදම් ඇනූ මැති ඇමතිවරු ඕනතරම් සිටියද තවමත් කියන්න තරම් ලොකු දෙයක් සිදුවී නැත . දැන් කඩා වැටෙන ගඩොල් ගොඩනැගිල්ල ඒ දිගටම අලුත්වැඩියා වී ඇත . ප්‍රාථමික පාසලක් ලෙස සංවර්ධනය වී තිබුණද ඉඩකඩ එලෙසමය .
මේ නිසාම දුර ඈත ගම්වලින් කොලඹ කන්තෝරුවල රැකියාවට පැමිණ කොලබම පැලපදියම් වන්නට මාන බැලු බොහෝ දෙනෙකුට මේ පැත්තට හිත යන්නට ප්‍රධානම හේතුව වූයේ ගැමි බව ආරක්ෂිත බව හා කොලබට පහසුවෙන් යා හැකි වීමයි .
කොස් කන්දේ විල පැරණි ගමක සශ්‍රිකත්වය හදුනා ගත හැකි තැනකි . එහි විශාල රබර් යායවල් බොහෝමයක් විය . අප නිවස පසුපසින් පැවතියේ ගම් දෙකක් යා කරන රබර් යායකි . රබර් කිරි එකතු කර රබර් රොටි සෑදීම එක් ජීවනෝපායකි . ගම තුල පෝල් වතුද බොහොමයක් තිබිණි . පාරම්පරික ඉඩම් හිමියන් කිහිපදෙනෙකුම ගම තුල ජීවත් වු අතර ඔවුන් තුල වූ විශේෂත්වය නම් ඔහුන් රදල වලව් පරම්පරා කිහිපයක් මෙන්ම උගත් ධනවත් පරම්පරා කිහිපයක් පැවතීමයි . වලව් පරම්පරා වල ඉඩකඩම් ලංකාව පුරා සිදු වූවා මෙන්ම කැබලි වී ගිය අතර උගත් ධනවත් පරම්පරාවල බොහොමයක් ඉඩකඩම් අද ද එලෙසම දැකගත හැකි වේ .
ගමේ අනෙක් ආදායම් මාර්ගය වූයේ මඩ ගොවිතැනයි . ගමේ පැරණි පවුල් බොහොමයක් අතර කුඹුරු ඉඩම් බෙදී පැවති අතර ඒ සියල්ලෝ සාමූහිකත්වයෙන් ගොවිතැන් කටයුතු කලහ . ගමට පිටින් පැමිණි බොහොමයක් දෙනා කොළඹ රැකියා කළ අය විය .
මට කියන්නට අවශ්‍ය වූයේ පැරණි ගම කොතරම් සශ්‍රීකද යන්නය . ගමට අවශ්‍ය හැම දෙයක්ම ගම තුළ විය . එහි මිනිසුන් ස්වයංපෝෂිත විය . නගරයේ රැකියා කරන මිනිසුන්ගෙන් ගමට ආදායම ගලාගෙන ආවේය . ගමේ මිනිසුන් බොහෝ සම්පාදනය කළේය සම්පාදනය කළේය . අවසන සියල්ලෝම කාබී සතුටින් ජීවත් වූහ .
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

