අපේ ගම

කොස් කන්දේ විල

අදින් දශක හතරකට පමණ පෙර නගරය හා ගම යනු එකක් නොව දෙකකි.

සිදාදිය අරුමෝසම් වු අතර ගම සරල විය. ගැමියාගේ මනසට කොළඹ සුරපුරයකි. සිදාදියේ සිටියේ නගරංකාරයන්යැයි ගමේ වු ගැමියෝ සිතුහ.

නගරයෙන් ගමට එන නගරංකාරයා දෙස ගැමියා බැලූවේ තරමක් කුහුලකින් යුතුවය. එත් කොළඹ යනු සුරපුරයක් නොවන බව දත් නගරංකාරයා ගමේම බින්න බැහැ ගන්නට හැකි හැමවිටම තම කපටි නුවණ යෙදවීය.

කොස්කන්දේ විල නගරයද නොවු නගරයෙන් එතරම්ම දුරස් නොවු ගමකි.

ගහ කොළ වෙල් ඉපණැලි ඇළ පහරවල් එහි අඩුවක් නොවුණි. ගම දෙකට බෙදු තාර පාර නොවන්නට එය ගමක්යැයි කියන්නට තරම් එහි අඩුවක් නොවුණි.

පාසල් ඇරී ගෙදර එන ගමේ ලමුන්ගේ හවස් වරුව ගෙවීගියේ වෙල් ඉපනැල්ලේ හා බඩ වැටි තුළය.

දම් එරමිණියා වෙරලූ කජු කොස් කන්දේ විලේද අඩු නොමැතිව තිබුණි. රබර් වතු වල බඩ වැටි වල කෑ කෝ ගසමින් සෙල්ලම් කර දරු දැරියන් තුළ එදා අද මෙන් කොලූ කෙළි වෙනසක් නොතිබුණි.

වයස මෝරන තරුණයෝ හවස් වෙද්දී රබර් වතු වල හදා ගත් ක‍්‍රීකට් පිටිවලට ඇදී එන්නේ පුරුද්දෙන් මෙණි .

ගොයම් කපන කාලයට මේ තරුණයෝ වෙලේ එල්ලේ ගසති. එ කාලයට අහල පහල ගම් වලින් එන තරුණයෝ තම බලය පෙන්වන්නට මෙන් ගම් ගම් තරග වදිති. එ එල්ලේ වලින් මිස අද මෙන් කඩු පොලූ වලින්නම් නොවේ.

මේ අතර වෙල අයිනේ කමතේ ගොඩගසන පිදුරු ගොඩ පොඩි වුන්ට මවන්නේ සුරලොවකි. පිදුරු ගොඩ අසල ඇති අඹගසට නැග පිදුරු ගොඩට පනිමින් ඔහුන් ලබු සතුට අද බම්පින් කාර්සල් එකකින්වත් අපේ දරුවන් නොලබන බව මා දනිමි. ඇග කසන තෙක් පිදුරුගොඬේ පෙරලෙන උමං හදන දරු දැරියෝ ගෙදර යන්නට පෙර කුඹුර අයිනෙන් කලායන කුඩා ඇලට පැන දිය නා ගනිති. එදා එ දිය පිරිසිදුය.

ඉතා පිරිසිදු වැල්ල මතින් ගලායන දිය පහරේ තිත්ත පටවු හදයි මෙන්ම ඉදහිට පිනායන සාරි ගප්පින්ද දක්නට ඇත . දිය නාන්නට ඇලට බහින පොඩි වුන්ට සාරි ගප්පියෙකු දැකීම තමන් ආ කටයුත්තද අමතක කරවන දසුනකි. ඉන්පසු උදාවන්නේ සාරි ගප්පි අල්ලන්නට ඇල දිගේ දුවන වේලාවයි.

හවස හතර පහ වන විට ඈතින් ඇසෙන හෝ හඩත් සමග දරුවන් නිවෙස් වලට දිවීම අරඹන්නේ විදුලි වේගයෙනි. ඇතින් ඇසෙන හෝ හඩ පහත රට තෙත් කලාපයට ආවේණික හැන්දෑ වැස්ස බව දරුවෝ පුරුද්දෙන් දණිති. හෝ හඩ නැගෙන්නේ ඇතීන් එන වර්ෂාව ගස් මතට කඩා වැටෙනා හඩයි. දශක කිහිපයකට පෙර මාස කිහිපයක් වහින වැඩි කලක් පායන රටාවක් තෙත් කලාපයේ තිබුණේ නැත . එහෙත් අද එ රටාව වෙනස් වී ඇත .

කොස් කන්දේ විල දශක හතරකට පෙරදීද බිදවැටුණු සමාජ පන්තින්ට මැදිව නොතිබුණියැයි මට සිතේ…

බඩ වැටි වල රිංගන දරු දැරියන්ද තනි පංගලමේ වේලේ ලිදට නාන්නට යන ගැටිස්සියන්ටද සිදුවු අලකලංචියක් නැත . එතරම්ම ගම දුෂණය වී නොතිබුණි. මා දන්නා තරමින් ගමේ සිටියේ එකම චන්ඩියෙකි. ඒ නගරංකාරයෙකු නොව ගමේම එකෙකි. මට එ චන්ඩියා ගැන හොද කථාවක් මතකය.

මගේ සියා යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුවෙන් විශ‍්‍රාම ගිය පසු ගමේ වැඩපොලක් ඇරඹුවේය.

එය අහල ගං හතකට වු එකම වැඩ පොලයි. මේ වැඩපොලේ නොකෙරු දෙයක් නැත . හැම විටම දහ දොලොස් දෙනෙක් මේ වැඩපොලෙන් ජිවිකාව සරි කර ගත්තේය. වැඩපොල දැමු මුල් කාලයේ සතියකට දවසක් දෙකක් මේ චන්ඩියා වැඩපොලට පැමිණ බලහත් කාරයෙන් එ තුළ වු ආයුධයක් දෙකක් ඉණෙ ගහගෙන යයි.

සති කිහිපයක් බැලූවද මෙය නොනවතින බව අවබෝධ කරගත් සීයා තව දිනක් ඔහු එද්දීම කඩුවක් අතට ගෙන ඔහු පසුපස පන්නන්නට විය. ඒ සමගම වැඩපොලේ ගෝලයෙකුද කඩුවක් ගෙන සියා පස්සෙන්ම චන්ඩියා එළවන්නට විය.

එතෙක් ගමටම චන්ඩිකම් දැමු චන්ඩියා නියර දිගේ වැටි වැටී දිව ගියා මිස යලි කිසිම දිනක වැඩපොලට තබා එ හන්දියටවත් නොපැමිණියේය.

මා කුඩා කල හැමවිටම සීයාගෙන් ඇසු පැණයක් යළිදු මට සිහිවේ.

සීයේ කොස් කන්ද කොහෙද තියෙන්නේ ?

සීයා හැමදාම දුන්නේ එකම උත්තරයකි.

ඒ කොස් කන්ද අද නැහැ. එක සුද්ද කරලා රබර් වවලා…

එතකොට විල ?

එ මගේ සුපුරුදු දෙවන ප‍්‍රශ්ණයයි.

දැන් විල නෑ පුතේ… දැන් එක ගොඩවෙලා ගොඩවෙලා පොඩි නාන ලිදක් විතරයි තියෙන්නේ..

අප ජීවත් වු නිවස පිහිටියේ එක් කදු මුදුනකය.

අපට ඉදිරියෙන් වුයේ පටු වෙල්යායකි . ඒ වෙල්යායට ඉදිරියෙන් වුයේ සුද්දා අපට දුන් රබර් වගාව විසින් ගිලගත් කොස් කන්දයි.

එ රබර් වත්ත පාමුල තරමක විශාල නාන ලිදක් ඇත . කිසිම දිනක දිය නොසිදෙන හැමවිටම ජලය උතුරා ගලායයි. එ ලිදේ ඉතා අලන්කාර මසුන් සිටිති. එ ලිද සාදා ඇත්තේ අමුතුම විදියකටය. කුඩා විලක් හරහට පෙරලන ලද මහා ගස් කදන් දමා එක් කොටසකට වැලි පුරවීමෙන් එ ලිද සකසා ඇතැයි මට සිතුණු වාර අනන්තය. මේ ලිදට වැඩි දෙනෙක් නාන්නට නොයන්නේ එහි අවසන් උරුමක්කාරයින් දෙන්නා කිසිවෙක් මේ ලිදට පැමිණෙනවාට අකමැති නිසාය.

ඉදහිට දිනක සීයා අපට මේ ලිදට යන්නට කථා කරති.

එදින යනු අපේ හිසේ මල්පිපෙන දිනයකි. එ අන් කිසිවක් නිසා නොව එ ලිදේ සිටිනා අලංකාර මසුන් බලන්නටත් නිරන්තරව පිරී ඉතිරි ලිං මිදුලේ වු වැල්ලේ සෙල්ලම් කරන්නටත්ය.

එ ලිදේ වතුර අයිස් කැටයක් මෙන් නිරන්තරව සීතලය. දහවල් දොලහට උවද වෙව්ලන්නේ නැතිව ඉන් නාන්නටනම් නොහැකිය.

අද එ ලිද නැත .

අද එය වෙන්දේසි වී කුඩා ඉඩම් වල විශාල නිවාස ඉදිවී ඇත . මා අන්තිමට කොස්කන්දේ විල දුටුවේ එ ඉඩම විකුණා දමන්නට  කලකට පෙරය.

එදා මා දුටු දසුන මතක්වන විට අදද තිගැස්සෙයි.

එ ලිදට මිනිසුන් එන එක නවත්තන්නට ලිදේ සිටි සියලූ මාලූන් අල්ලා ලිං මිදුලේ ගොඩ ගසා තිබුණි.

එ ගමේ මිනිසුන් ලිදට ගිය අවසන් දවසයි. වසර කිහිපයකට පසු කොස් කන්ද මෙන්ම කොස් කන්දේ විලද සදහටම වැසී ගියේය.

අද ඉතිරිව ඇත්තේ කොස්කදවිල යන නම පමණි.

මතු සම්භන්දයි…..

දීක්ෂා ගුරු

කාංචන ගීත් මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close