Arrival of Alien

ලෝකය යළි ඉපදෙයි

ලෝක විනාශය පිළිබඳ විවිධ පැතිවලින් පැහැදිලි කිරීම් කළද මිනිසුන්ගේ සිත් තුළ දිනෙන් දින වර්ධනය වන බිය ඉහළ යමින් පවතින බව අපෙන් කරනා විමසීම්වලින් පෙනී යයි. ඇත්තෙන්ම ලෝකය විනාශ විය හැකිද?

සැප්තැම්බර් මාසයේ දිනයක ලෝකය විනාශ වී යන්නේ යැයි එක් පිරිසක් පැවසූහ. එහෙත් එය ඉටුවූයේ නැත. දෙසැම්බර් 12 දා තවත් පිරිසක් විනාශයේ දිනයක් ලෙස නම් කළහ. එහෙත් දැන් එදිනද පසුවී ගොසිනි. මායාවරුන්ගේ කැලැන්ඩරයේ දින නිමාව නැතහොත් දෙසැම්බර් 21 වැනිදාට ඇත්තේ තව දින පහකි. 2012 දෙසැම්බරය නැතහොත් මරණයේ මාසය පදනම් කරගනිමින් ගොඩනැගුණු මත කිහිපයක් මෙන්ම අනාවැකි කිහිපයක්ද ඇත.

එම අනාවැකි අතර ප්‍රධාන වනුයේ ක්‍රි.ව. 615දී මායා රාජ්‍යය පාලනය කළ දෙවැනි පාකල් රජු පැවසූ අනාවැකි සතයි.

සුර රාජ්‍යයේ විනාශය නැතහොත් අසුර රාජ්‍යයේ නැගී සිටීම පිළිබඳ ලියැවී ඇති සටහන් හරහා රාවණ රජුගේ නැගිටීම දෙවනුවට වැදගත් වන කාරණයයි.

තෙවැනි කාරණය වනුයේ කලියුගයේ දේව පාලනය ක්‍රියාත්මක වන වසර 5100ක කාලයේ නිමාවයි.

සිවුවනුව කතාබහට ලක්වන කරුණ වනුයේ ලෝකය ත්‍රිමානික තත්ත්වයෙන් සිවුමානික තත්ත්වයට පිවිසීමයි. සිවුමානික තත්ත්වය යනුවෙන් අදහස් කරනුයේ දියුණු මනසින් ක්‍රියා කරන මිනිසුන් බිහිවන යුගයක් ඇතිවන බවය.

පස්වනුව සිදුවේයැයි පවසන අනෙක් කාරණය වනුයේ පෘථිවියේ ඇලය අංශකයකින් වැඩිවීමයි.

මේ සියලු සිදුවීම් එකම මාසයක් තුළට ගොනු වෙද්දී කුමක් හෝ සිදුවිය හැකියැයි යන මතය මිනිසුන්ගේ සිත් තුළ ඇතිවීම ස්වාභාවිකය. ඇත්තෙන්ම යමක් සිදුවිය හැකිද?

අපි එක් දෙයක් වගකීමෙන් යුතුව පවසන්නෙමු. කෙසේ හෝ යම් දෙයක් සිදුවනු ඇත. එය අප ලෝක විනාශය ලෙස නම් කරන්නේ නැත. එය යුග පෙරළියකි. කාලයෙන් කාලයට පෘථිවියේ පැවැත්ම උදෙසා සිදුවන ස්වාභාවික ක්‍රියාවලියකි. පාකල් රජු පවසන පරිදි උදාවන්නාවූ යහපත් ලෝකය ලෙසත්, රාවණ රාජ්‍යයේ පිබිදීම ලෙසත්, මානසික ශක්තියෙන් වැඩගන්නා යුගයක් ලෙසත් පවසන්නේ එකම සිදුවීමකි.

එනම් නව යුගයක බිහිවීමයි

ක්‍රිස්තු වර්ෂ 615දී විශ්වය ජයගත් රජෙකු ලෙස සැලකෙන දෙවැනි පාකල් රජුගේ අනාවැකි සත පිළිබඳ අපි අවධානය යොමු කරමු.

පාකල් රජුගේ කාල නිර්ණයට අනුව 2012 දෙසැම්බරයෙන් පස්වැනි සූර්ය යුගය නිමාවට පත්වෙයි. ඉන්පසු දස වසරක අන්තර්භව කාලයක්  ක්‍රියාත්මක වෙයි. එම කාලය යනු පැවති යුගය හා නව යුගයට ගැළපෙන නොගැළපෙන දෑ තේරුම් ගැනීමේ කාලයයි.

මෙම කාලය පිළිබඳ පාකල් රජු අනාවැකි සතක් පැවසීය.

මෙම කාලය තුළදී මිනිසුන් තම ඉතිහාසයේ ක්‍රියාකාරකම් පිළිබඳ සොයා බලමින් වෙනස් මඟකට යොමුවීම සිදුවෙයි. එය පළමු අනාවැකියයි.

ඉන්පසු 1991 අගෝස්තු මාසයේදී සිදුවන සූර්ය ග්‍රහණයක් හරහා මිනිස් වර්ගයා අතර සිදුවන ගැටුම්කාරී පරිසරයක් නිර්මාණය වන බව පැවසීය. එය ඒ අයුරින්ම සිදුවූ බව සැවොම දන්නා කරුණකි.

තුන්වැනි අනාවැකිය ලෙස  පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යමින් අයිස් කඳු දියවීම, ගිනි කඳු පිපිරීම් සිදුවෙමින් ස්වාභාවික පරිසර පද්ධතියේ සමතුලිතතාව බිඳ වැටෙන බව පැවසීය.

මෙම දස වසරේ අවසාන කාලය එළැඹෙත්ම තමන් ගැන පමණක් සිතමින් ක්‍රියාකළ මිනිසුන් අන් අය ගැන සිතා කටයුතු කිරීම ඇරඹෙයි. ඒ අනුව ලෝකය යහපත් වීම ඇරඹෙයි.

වසර 26000 ක විශ්ව කාල චක්‍රය තුළ කෙමෙන් පරිණාමය වන මානවයා හෝමෝ සේපියන්ස්‌ සේපියන්ස්‌ යුගයේදී ස්‌වභාව ධර්මයට පටහැනිව යැම නිසා ස්‌වභාව ධර්මයෙන් වෙනස්‌ වන බවය.

හයවැනි අනාවැකිය වනුයේ පෘථිවියට සිදුවීමට යන ව්‍යසනයන් මිනිසා විසින් වර්ධනය කරගන්නා දැනුම නමැති අවියෙන් පාලනය කරගත හැකි කාලයක් එළැඹීමයි.

දස වසරක අවසානයේ සිටිනා අප මෙම අනාවැකි හයම සත්‍ය ලෙස පිළිගත යුතුව ඇත. එනම් ඒවා බොරු නොවන තරමට අපේ ජීවිත ඒ හා බද්ධ වෙමින් ක්‍රියාත්මක වී තිබීමයි. දැන් ඉතිරිව ඇත්තේ හත්වැනි අනාවැකියයි.

පස්වන සූර්ය යුගය නිමාවී ලෝකය වඩා යහපත් කරන, සූර්ය ශක්තියෙන් පෘථිවිවාසීන් බලවත් වන යුගයක් උදාවීමයි. ඔහුත් පෘථිවිය ජනාවාස කළ යුගයේ සිටි මිනිසුන් මෙන් අධිමානසික ශක්තීන්ගෙන් පිරුණු පිරිසකි. ඒ හරහා දියුණු සාමකාමී ලොවක බිහිවීම සිදුවනු ඇත.

අප පාකල් රජුගේ අනාවැකිය පිළිබඳ සොයා බලන්නට පෙර හෙළ රාවණ ශක්තියේ නැගී සිටීම පිළිබඳ කතා කළෙමු. රා  වන එනම් සූර්ය පරපුරේ නැගී සිටීමයි. පාකල් රජු පවසා ඇත්තේද එයමය. එනම් සූර්යයාගෙන් බලවත් වන, සූර්ය ශක්තියෙන් වැඩගන්නා යුගයක් උදාවන බවය. ලෝකයේ එක් එක් පැතිවල සිට පැවසුවත් සිදුවනුයේ එකම සිදුවීමකි. එනම් නව සූර්ය යුගයක උදාවයි.

පාකල් රජු පැවසූ පරිදි ග්‍රහ තරු අතර මනසින් ලොව දකින මිනිසුන් බිහිවෙමින් පවතී.

මහ දෙවියන් වූ ශිව කුඩා ක්‍රිෂ්ණ බබාව දෝතින් දරා සිටියි. ශිවගේ මුහුණ එක් පසක් ශාන්තය. අනෙක් පස විනාශයේ රෞද්‍ර ස්වරූපයයි. මෙය සංකල්පයකි. ශිව යනු විනාශ කරන්නාය. විනාශයකින් තොර බිහිවීමක් නැත. අලුත් දෙයක් බිහිකරන්නට පවතින දෙය විනාශ කළ යුතුය. විෂ්ණු යනු පවත්වාගෙන යෑමේ ශක්තියයි. ලෝකය පවත්වාගෙන යනු ලබනුයේ ඔහු විසිනි. මේ මොහොතේ ශිව විෂ්ණු දෙවියන්ව දෝතට ගෙන එනම් පවත්වාගෙන යෑමේ බලයද ශිව දෙවියන් අතට ගෙන ඇත. යහපතක් වෙනුවෙන් වූ විනාශයක් සිදුකිරීමේ කැමැත්ත ශිව දෙවියන් තුළ ඇතිවෙමින් පවතී.

විනාශය යනු අප තුළම ඇති කරගන්නා දෙයක් මිස පරිබාහිරව ඇති වන්නක් නොවේ. මෙය හොඳින් අවබෝධ කරගත යුත්තකි. යුග පරිවර්තනයක් යනු එක් දිනකින් සිදුවන්නක් නොවේ. එය දීර්ඝ කාලීන ක්‍රියාවලියකි. දස වසරක් ගෙවී යමින් පවතී. අප කඩඉමක් ආසන්නයට පැමිණ ඇත. වෙනස සිදු වනු ඇත. එහෙත් එය අපට දැනෙන්නට තවත් දස වසරක් ගතවනු ඇත

ලොව පුරා මෙතෙක් කල් සිදුවූ සාමාන්‍ය ස්වාභාවික විපර්යාසයන් ක්‍රමයෙන් අඩුවී යනු ඇත. අප වසර 20-30කට පෙර දුටු සාමකාමී ලෝකය ක්‍රමයෙන්
ගොඩනැගෙනු ඇත. එනම් අපගේ දරුවන්ගේ ලෝකය අපගේ ලෝකය වඩා සුන්දර වනු ඇත.

 

දීක්ෂා ගුරු
වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
2012 දෙසැම්බර් 16 වැනිදා ඉරිදා
රන්දිව ජාතික පුවත්පත

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close