Arrival of Alien

කොරෝනා පෘතුවියට ආවේ පිටසක්වලින්ද ?

සිසුන් ලෙඩ වුණේ පිටසක්වළ ප්‍රහාරයකින්ද?

අප මහා බුදුරජාණන්වහන්සේ සාමාන්‍ය මිනිසුන් නොසෙවිය යුතු කරුණු කිහිපයක් පෙන්වා දුන්සේක. විශ්වය පිළිබඳ සෙවීමටද උත්සහ නොගත යුත්තක් ලෙස බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන්හ. එයට හේතුවක් ඇත. සාමාන්‍ය මනසකින් විශ්වය තුළ සිදුවන මහා සංසිද්ධීන් තේරුම් ගැනීමට උත්සහ ගතහොත් ඔහු පිස්සකු බවට පත්වීම හැර වෙනත් තලයකට නොයනු ඇත. එයට හේතුවනුයේ විශ්වය තුළ සිදුවන බොහෝ දේ සාමාන්‍ය මනසකට තේරුම්ගත නොහැකි වීමයි.
බුදුදහම තුළ එලෙස පවසද්දී වේදය තුළ එයට වඩා වෙනස් මතයක් සඳහන් වෙයි.

‘ශණවස්තු විශ්වෙ අමෘතස්‍ය පුත්‍ර’
යජූර් වේදය

අමරණීයත්වය උරුමකර ගත් පුත්‍රයෙණි විශ්ව ධර්මය ශ්‍රවණය කරන්න.

හෙළ පොළොව තුළ ලියැවුණු වේදය පසු කාලීනව ඉන්දියාවට ගියද ඒ තුළ ලියැවුණු ජ්‍යොතිෂ්‍යය යනු විශ්ව කියවීමකි. එයද සාමාන්‍ය මනසක් හරහා කළ නොහැක්කකි. බොහෝ ජ්‍යොතිෂ්‍යයවේදීන්ගේ අනාවැකි නිවැරැදි නොවීමට හේතුවනුයේද එයයි. සාමාන්‍ය මනසකට විශ්වය තේරුම්ගත නොහැක්කා සේම ජ්‍යොතිෂ්‍යය නම් විශ්වීය දහමද තේරුම්ගත නොහැකිය. කේන්දරයක කොටු දොළසක් ග්‍රහයින් නමදෙනෙක් හරහා ජන්මියෙකුගේ ජීවිතය නිවැරැදිව විග්‍රහ කිරීම පහසු කාර්යයක් නොවේ. එසේම ලෝකායතන ජ්‍යෙතිෂ්‍ය හරහා රට රටවල තත්ත්වයන් සහ සිදුවීම් විග්‍රහ කිරීම එයටත් එහා ගිය අපහසු කාර්යයකි.
කුම්භ ලග්න ලංකාවේ කේන්ද්‍ර සටහන තුළ ගැටලුකාරී ග්‍රහ පිහිටීම් ක්‍රියාත්මක වන මොහොතක විශ්වීය ක්‍රියාකාරීත්වයේ බලපෑම්ද ලංකා දෙරණ මතට ක්‍රියාත්මක වෙමින් පවතී. මේ හේතුවෙන් මෙම විශ්වීය බලපෑම පිළිබඳව මෙවර ලිපිය හරහා කතා කිරීමට අදහස් කළෙමු.

නොවැම්බර් 11 වැනි ඉරිදා තරු වළල්ලේ ප්‍රධාන ලිපිය වූ ‘සූර්යග්‍රහණයෙන් පෘථිවියටම බලපෑම්’ ලිපිය තුළ පිටසක්වළ යානා දෙකක් පැමිණීම හා ඒ හරහා පෘථිවියට සිදුවන පහර දීමක් පිළිබඳ අනාවැකියක් පැවසුවෙමු.

සූර්යග්‍රහණය පෘථිවිවාසීන්ට අහිතකරයි

2012 වසර ආරම්භයේ සිටම ග්‍රහ මණ්ඩලය විසින් පෘථිවිය තුළ ඇති කළ පෙරළිකාර තත්ත්වය දින දින වර්ධනය වෙමින් පවතින බව සොබාදහමේ සිදුවන වෙනස්කම් හරහා තව තවත් ගම්‍ය වෙමින් පවතී. මේ වසර වූ කලී ප්‍රබල ග්‍රහ මාරු රැසක් සිදුවූ වසරකි. වසරේ අවසන් කාල සීමාව එළඹෙමින් තිබියදීත් තවමත් නිමාවක් නොමැතිව ග්‍රහ මණ්ඩලය පෘථිවිය කළඹමින් සිටියි. මෙවර කරළියට පිවිසෙන සිදුවීම වනුයේ ‘රවි රාහු මුවපත් වීමයි’ රවි රාහු ගිල දැමීම නැතහොත් රවි රාහුට හසුවීම ආදී විවිධ නම්වලින්
පැරැණ්නෝ හැඳින්වූයේ එකම සංසිද්ධියකි. ඒ අන් කිසිවක් නොව නවීන විද්‍යාවට අනුව විග්‍රහ වන සූර්යග්‍රහණයකි.
ලෝක විනාශය කුජ මාරුව, රවි රාහු එක්වීම ආදී සියලු ග්‍රහ සංසිද්ධීන් අතරට නොවැම්බර් මස 14 වැනිදා පාන්දර 1.08ට සූර්යග්‍රහණයක් සිදුවෙයි. සූර්යග්‍රහණයක් යනු සූර්යයාත් චන්ද්‍රයාත් පෘථිවියත් එක පෙළට පිහිටීමයි. ජ්‍යොතිෂ්‍යය සිද්ධාන්තයන්ගෙන් මිදී නවීන විද්‍යාවට අනුව සිතන විට සූර්යග්‍රහණයක් සිදුවන අවස්ථාවේදී හිරුගෙන් පිටවන අසුබ ශක්තීන් ඉතා විශාල ප්‍රමාණයකට පෘථිවිය නිරාවරණය වෙයි. මේ පාරජම්බුල කිරණ හරහා මිනිසාට බොහෝ ගැටලුකාරී තත්ත්වයන් වර්ධනය වේ.
ජ්‍යොතිෂ්‍යමය සිද්ධාන්තයන්ට අනුව සලකා බලනවිට සූර්යයාත් චන්ද්‍රයාත් පෘථිවියත් අතර සිදුවන සංසිද්ධියක් රවි රාහුට අසුවීම ලෙස විග්‍රහ කිරීමට හේතු වනුයේ රවිව විනාශ කළ හැකි එකම ග්‍රහයා ලෙස රාහුව සැලකීමය. අනෙක් කාරණය වනුයේ චන්ද්‍ර කක්ෂය හා පෘථිවි කක්ෂය එකිනෙක ඡේදනය වන ලක්ෂ්‍යයක් ලෙස රාහු සැලකීමයි.
ග්‍රහ මණ්ඩලයේ සිදුවන සංසිද්ධීන් අතරතුර පසුගිය කාල වකවානු තුළ වරින් වර අප අධිමානසික ශක්තීන් හරහා පෙන්වා දුන් හා පසුව ලෝකයේ ග්‍රහ වස්තු නිරීක්ෂණ මධ්‍යස්ථාන හරහා තහවුරු කරන ලද පිටසක්වළින් පැමිණෙන යානාවල ක්‍රියාකාරීත්වයක් මේ මොහොත තුළදීත් පෘථිවියට අයත් පරිසර පද්ධතිය තුළ සිදුවෙමින් පවතින බව පෙනී යයි. භාවනානුයෝගීන් සහ අධිමානසික හැකියාවන් සහිත බහුතරයකට මෙම පිටසක්වළ යානා ඉතා පැහැදිලිව නිරීක්ෂණය වෙමින් පැවතීම හරහා එහි සත්‍යතාව තවත් වර්ධනය වෙයි. ප්‍රධාන වශයෙන් පිටසක්වළ ජීවී ඛාණ්ඩ දෙකකට අයත් ලාරන් පැහැති යානාවක් සහ කළු පැහැති දිලිසෙන යානාවක් මෙලෙස පෘථිවි කලාපය තුළට ඇතුළු වී ඇත. රන් පැහැති යානය පෘථිවිවාසීන් හා දිගින් දිගට සබඳතා පැවැත් වූ යානයක් වුවත් කළු පැහැ යානය අප ඉහළ අහසේ ස්ථාන ගත කර ඇත. පෘථිවියට ඉහළින් ඇති අයන ගෝලය උපයෝගී කරගනිමින් පෘථිවියට නිල් හා සුදු ආලෝක ධාරා තුනක් මුදා හැරීම මෙමඟින් සිදුවේ. ලෝක පරිසර පද්ධතියේ සිදුවූ කැළඹිලිවලට හේතු වූයේද මෙම තත්ත්වයයි. පෘථිවියේ සාමාන්‍ය තාක්ෂණික ක්‍රමවේදයන්ට මේවා හසුවීම සිදු නොවෙතත් පිටසක්වළ යානා පිළිබඳ පරීක්ෂණ පවත්වන ආයතන තවමත් මේ පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියි. එහෙත් යෝගීවරු රන් පැහැති යානය සූර්ය වංශික යානයක් ලෙස නම් කරති. මෙම යානයේ මතුපිට සඳහන්ව ඇති අක්ෂර වර්ගයක් පිළිබඳ පවා අදහස් මතුවෙමින් පවතී. ග්‍රහ මණ්ඩලයේ පරිවර්තනයන් අතරතුර සිදුවන පිටසක්වළ යානා පැමිණීමේ අරමුණ කුමක් දැයි තවමත් සිතාගත නොහැකි කරුණකි. කෙසේ වෙතත් 2012 අවසන් දින කිහිපය මෙතෙක් නොඇසූ විරූ පුවත් මවන කාලයක් වනු ඇති බව පෙනී යයි.
විද්‍යාව කොතරම් දියුණු යැයි අප සිතුවද සොබා දහමේ සිදුවන ඉතා සුළු වෙනසක් පවා අපට ඇති කරන බලපෑම හමුවේ අප තවමත් සිටිනුයේ කොතරම් දුර්වල තැනකද යැයි දැන් හෝ අවබෝධ කර ගත යුතුව ඇත.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර
2012 නොවැම්බර් 11 වැනිදා ඉරිදා
රන්දිව ජාතික පුවත්පත

දින කිහිපයක් ඉක්ම යන්නට ප්‍රථම එම අනාවැකිය සනාථ කරමින් ලංකාවේ ප්‍රදේශ කිහිපයකට රතු වැස්සක් ඇද හැළුණි. පර්යේෂකයෝ එය පිටසක්වළින් ආ පහරදීමක් ලෙස අර්ථකථනය කළහ. එනම් තරු වළල්ලෙන් කියූ එම අනාවැකියද සත්‍ය වීමය.

එහෙත් රතු වැස්ස යනු පිටසක්වළ පහරදීමක් නොවේ යැයි අපි වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු. එය යානාවේ හා අප අවට වායුගෝලයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් සිදුවන ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවූවකි. එය පහරදීමක් නොවූවත් යම් පහරදීමක් යැයි අනුමාන කළ හැකි සිදුවීමක් ක්‍රියාත්මක වෙමින් පවතී. එය ඇරඹුණේ ඔක්තෝබර් 30 වැනිදාට ආසන්න කාලයකදීය. පෘථිවිය තුළට යානාවක් ඇතුළු වනුයේ මේ කාලවකවානුව තුළදීය.

මෙසේ ඇතුළුවූ යානාවක් විසින් ලංකාවේ කඳුකරයේ රිවස්ටන් (පිටවල පතන) අධිසංවේදී කලාපයක් ලෙස වෙන් කොට ඇති ප්‍රදේශයට උරග ගණයට අයත් තලගොයි සිරුරුවලට සමාන සිරුරු සහ බළල් පෙනුමකට සමාන මුහුණු සහිත සතුන් හයදෙනකු මුදා හරිනු ලැබුණි. මෙම සිදුවීම අධිමානසික ශක්තීන් හරහා හඳුනා නොගත් ආකාශ වස්තූන් ගවේෂණය කරනු ලබන බොහෝ පිරිසකට = මානසික ශක්තීන් හරහා දැක ගැනීමට ලැබුණි. මුල් සතිය තුළ මෙම ජීවීන් මුදා හැරියේ කුමන කාරණාවක් උදෙසාදැයි අවබෝධ කර ගැනීමට නොහැකි වුවත් එය අපට සිදුකළ යම් පහරදීමක මුල් අවස්ථාවක් ලෙස අද වනවිට තේරුම් යමින් පවතී.

එයට හේතු වනුයේ එම සතුන් හයදෙනා විසින් ඉතා කුඩා පැටවුන් කෝටි ගාණක් බිහි කිරීමයි. මෙම පැටවුන් ඉතා සියුම් මකුළු පෙනුමකින් යුක්තය. මෙහි ගැටලුව වනුයේ කෝටි ගණනින් බිහිවන මෙම සතුන් සුළඟේ ගසාගෙන ගොස් රට පුරා ව්‍යාප්තවීමයි.

පසුගිය දින කිහිපය තුළ මාතලේ, ගම්පොල, නුවර ප්‍රදේශ ආශ්‍රිතව පාසල් ළමුන් එක්වරම රෝගීවීමට බොහෝවිට හේතු වන්නට ඇත්තේ මෙම සුළං ප්‍රවාහය හරහා ව්‍යාප්ත වන ඇසට නොපෙනෙන මෙම ජීවී විශේෂය විය යුතුය. අපට හැඟෙන පරිදි මෙය පිටසක්වළ ජීවීන් විසින් කරනු ලබන පහරදීමක මුල් අවස්ථාවකි.
මෙය ජ්‍යොතිෂ්‍යය පිටුවක් බැවින් මෙම ලිපිය තුළින් පිටසක්වළ ජීවීන්ගේ සම්පූර්ණ ක්‍රියාකාරිත්වය ගැන කතා කිරීමට අවකාශයක් නැතත් ඔවුන් මෙම ජීවී ව්‍යාප්තිය උදෙසා අප රට තෝරා ගැනීමට ප්‍රබල හේතුවක් ඇති බැවින් ඒ පිළිබඳ අප කතා කළ යුතුව ඇත. රිවස්ටන් යනු පෘථිවියේ මධ්‍ය ලක්ෂ්‍යය ඉතා ආසන්නව පිහිටි සක්‍රිය මට්ටමේ සක්වළ දොරටුවක් පිහිටි ස්ථානයකි. එසේම මෙම ස්ථානයේ සිට ලෝකයේ සෑම ස්ථානයකටම තරංග නිකුත් කිරීමේ සහ ස්ථානගත කිරීමේ හැකියාව පවතී.

රිවස්ටන් ආසන්නයේ පිහිටි මානිගල යනු ප්‍රබල මට්ටමේ සක්වළ දොරටුවකි. මෙම ගලේ පිහිටීම මෙම ආකාරයෙන්ම පේරුවල පිහිටි ප්‍රසිද්ධ සක්වළ දොරටුවේද දැකගත හැකිවේ. අප කළ අධ්‍යයනයන්වලදී අපට හැඟෙනුයේ මානිගල පිහිටි සක්වළ දොරටුව ප්‍රථමයෙන්ම පිහිට වූවක් බවකි.

පිටසක්වළ ජිවීන් තම ව්‍යාප්තීන් උදෙසා රිවස්ටන් තෝරාගැනීමට හේතුවන කාරණාව මෙයයි. අනෙක් කාරණාව වනුයේ පාසල් ආශ්‍රිතව මෙම රෝග කාරකයන් ව්‍යාප්ත වීම උදෙසා හේතුවන සාධකය වනුයේ පාසල් ආශ්‍රිතව ඉතා විශාල හිස් භූමි පැවතීම හරහා සුළං ප්‍රවාහ පහසුවෙන් නිර්මාණය වීමට අවකාශ ලැබීමයි. මෙම ක්ෂුද්‍රජීවි ව්‍යාප්තිය සිදුවනුයේ හිස් අවකාශයන් තුළ සිදුවන වාසුළි හරහා වීමය. පාසල්වල විශාල ක්‍රීඩාංගණ පැවතීම හේතුවෙන් මෙය පහසුවෙන් ව්‍යාප්තවීමේ අවදානම මතුවේ.

කෙසේ වෙතත් ඉදිරි කාලය තුළ හඳුනාගත නොහැකි රෝගී රැල්ලක් රට පුරා ව්‍යාප්ත වීමේ දැඩි අවධානයක් පවතින බව අවධාරණයෙන් යුතුව අපි ප්‍රකාශ කරන්නෙමු.

මේ දිනවල පොදුවේ ගත්කල සෑම නිවසක් තුළම බොහෝ පීඩාකාරී තත්ත්වයන් ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනීයයි. එයට හේතු ලෙස දේශපාලනික කාරණා මතුකර දැක්වුවද මෙහිදී සිදුවනුයේ පොදු විශ්වීය සංසිද්ධියක් බව පසුගිය ලිපි කිහිපය හරහා විවිධ පැති ඔස්සේ අපි විග්‍රහ කළෙමු.

ජ්‍යොතිෂ්‍යය හා විශ්ව න්‍යායයන් ඔස්සේ අප මෙම සිදුවීම පිළිබඳ විග්‍රහ කරන විට පෙනීයන කරුණක් වනුයේ විශ්වය තුළ තලයන්ගේ වෙනස්කම් සිදුවන සෑම මොහොතකම මෙවන් අර්බුදකාරී පසුබිමක් ලෝකය පුරාම නිර්මාණය වීමයි. තලයන්ගේ වෙනස් වීම යනු අප ගමන් කරනා කක්ෂය මෙන්ම සමස්ත සෞරග්‍රහ මණ්ඩලයේම ගමන් මාර්ගවල සිදුවන වෙනසයි. මෙය ඔබට තවත් අනාවැකියක් වනු ඇත. ඉතා නුදුරු දිනකදී ලෝක විද්වතුන් විසින් පෘථිවි ගමන් මඟේ සහ පෘථිවි ඇලයේ වෙනසක් සිදුව ඇතැයි ප්‍රකාශ කරනු ඇත. එම වෙනස ක්‍රියාත්මක වෙමින් පවතින මෙම කාල සීමාව තුළ ලෝකය පුරා තේරුම්ගත නොහැකි බොහෝ සිදුවීම් මෙන්ම ගැටලුකාරී තත්ත්වයක් ක්‍රියාත්මක වනු ඇත. ලෙඩ රෝග, සබඳතා බිඳවැටීම මෙන්ම මිනිස් මනස තුළ නිරන්තරව සිදුවන චංචල භාවයන් මේ හරහා වර්ධනය වීම සිදුවෙයි.

පෘථිවි තලයන් නැතහොත් පෘථිවියේ ගමන් මඟ යළි ස්ථාවර වීමත් සමග මෙම ගැටලුකාරී කාල සීමාව නිමාවට පත්වීම සිදුවෙයි. ඒ හරහා ඔක්තෝබර් සිට ක්‍රියාත්මක වෙමින් පවතින අර්බුදකාරී සමාජයීය හා පාරිසරික තත්ත්වයන් සුබ අතට පරිවර්තනය වීම සිදුවෙයි. ජ්‍යොතිෂ්‍යය පදනමක් තුළින් මෙම සිදුවීම් විග්‍රහ කළ හැකි වුවත් සැබෑ ජ්‍යොතිෂ්‍යය වේදියාගේ වගකීම වනුයේ ඇත්ත ඇති සැටියෙන් පැවසීමය. මේ ලිපිය තුළින් ඉටුවූයේද එම කාර්යයයි. එබැවින් මෙය කලබල වීමක් හෝ යානා සොයා යා යුතු මොහොතික් නොව ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු මොහොතකි.

හදි හූනියම් අණවින යන වදන් අපට ඇසුණේ ඈත අතීතයේදීය. එබැවින් අප ඒවා හණමිටි අදහස් ලෙස බැහැර කරලීය. එහෙත් වර්තමානයේ යළිත් බොහෝ මිනිසුන් පීඩා විඳිනු ලබන කරුණක් බවට මෙම හදි හූනියම් නැතහොත් අණවින පත්ව ඇත.

වෛදික ජ්‍යොතිෂ්‍යය තුළදී අණවින හදි හූනියම් හඳුන්වනුයේ දුෂ්ට පාපයන් ලෙසය. දුෂ්ට පාපයන් යනු ජන්මියකු ඉතා දරුණු ලෙස පීඩා විඳිනු ලබන පාපයන්ය. මෙම පාපයන් තමා විසින්ම පෙර ආත්මයන්හිදී වපුරන ලද කර්මයන්ය. එනම් පෙර භවයන්හිදී වපුරන ලද කර්මයන්ය. පෙර භවයන්හිදී මිනිසුන්ට ඇතිකරන ලද අදෘශ්‍යමාන බාධාවන් මේ භවයේදී හදි හූනියම් ලෙස තමා සොයා පැමිණේ.

භෞතිකවාදීන් විසින් හදි හූනියම් හෝ යක්ෂ ප්‍රේත ක්‍රියාවන් නැතැයි කොතරම් තර්ක කළද ඒවා හරහා පීඩා විඳින්නන් මිස අන් අයට එහි බරපතළකම නොතේරෙයි. හදි හූනියම් අතරින් වඩා බරපතළ හා පීඩාවිඳින තත්ත්වය වන්නේ නීචකුල බන්ධනයයි. නීචකුල බන්ධනය හරහා තම සියලු සම්පත් විනාශවී යන අතර අවසානයේ සමාජයේම අවමානයට ලක්ව මහමඟට ඇද වැටෙයි.

වෛදික සම්ප්‍රදාය තුළදී කේන්දරය තුළින් තමන්ට හදි හූනියම් දෝෂ ක්‍රියාත්මකවීමක් පවතීද යන්න ඉතා පැහැදිලිව අවබෝධ කරගත හැකි වේ. එහිදී කේන්දරය තුළින් හදි හූනියම් දෝෂ ක්‍රියාත්මකවීමක් නොමැති නම් කිසිම විටෙක සතුරන් විසින් තමාට කොපමණ හදි හූනියම් සිදුකළද ඒ හරහා පීඩා විඳීමට සිදුනොවෙයි. හදි හූනියම්වලට මැදිවූ නිවසක් තුළ එක් අයෙක් අසීමිත ලෙස පීඩා විඳිද්දී තවත් අයෙක් පීඩාවලින් තොරව ක්‍රියා කරනු ලබන්නේ එබැවිනි.

කෙසේ වෙතත් වෛදික සම්ප්‍රදායේදී හදි හූනියම් උදෙසා පිළියම් යෙදීම නැතහොත් හදි හූනියම් කැපීම සිදුකරන්නේ නැත. එයට හේතුවන්නේ මෙය පූර්ව කර්මය ක්‍රියාත්මක වීමක් බැවින් කොතරම් අවස්ථාවක් හදි හූනියම් කැපීම සිදුකළද එයට යට කරන මුදල මිස එම පීඩාව නිමා කර ගත නොහැකි වීමයි. එබැවින් එම කාලය තුළ දැනුවත්ව කල්පනාකාරීව ගතකිරීම හරහා එමඟින් ඇති වන දෝෂ පාලනය කර ගැනීම කළ යුතුය. එසේම ශරීර ආරක්ෂාවක් යොදා ගැනීම තුළින් හදි හූනියමට බන්ධනය කර ඇති මළයක්ෂ ආත්මවලින් ආරක්ෂාවීමට හැකි වෙයි. කෙසේ වුවද වර්තමාන ආත්මභාවය තුළදී තම ක්‍රියාකලාපයන්හි සුබ අසුබ භාවය මත මෙවැනි හදි හූනියම් දෝෂ තුළින් විඳින පීඩා අවම කර ගත හැකි ක්‍රමවේදයන්ද වෛදික ජ්‍යොතිෂ්‍ය සම්ප්‍රදාය තුළ පවතී.

දීක්ෂා ගුරු

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී

කාංචන ගීත මනමේන්ද්‍ර

2012 නොවැම්බර් 25 වැනිදා ඉරිදා

රන්දිව ජාතික පුවත්පත


Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close