Arrival of Alien

රතු වැස්ස පිටසක්වල ප්‍රහාරයක්ද ?

පහතින් දක්වා ඇත්තේ 2012 දෙසැම්බර් 16 වැනි ඉරිදා රන්දිව ජාතික පුවත්පතට මවිසින් ලියන ලද ලිපියකි.

‘පිටසක්වළ යානා’ යන වචනය මේ වනවිටත් ලංකාවේ කොයි කාගේත් කතාබහට ලක්ව ඇති ප්‍රධානම මාතෘකාව බවට පත්වී අවසානය. මෙතෙක් කල් ලාංකිකයන්ට ආගන්තුක වූ පිටසක්වළ යානා රතු වැසි මෙන්ම පිටසක්වළ ජීවීන් පිළිබඳ එක්වරම සමාජ කතිකාවක් ගොඩනගන්නට හේතුවූයේ නොවැම්බර් විසිහත් වැනිදා ඉරණවිල අහසේ දිස්වූ අද්භූත ආලෝකයයි.

එදා සිට අද දක්වා ලංකාවේ විවිධ ස්ථානවලින් මෙම අද්භූත එළි දිස්වීම් පහළොවකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිටත් වාර්තා වී හමාරය. මෙතෙක් කල් කටකතා හෝ පදනම් විරහිත දේ ලෙස මේවා ඉවත දැමුවද වගකිව යුත්තන්ට මඟහැරිය නොහැකි ලෙස බොහෝ එළි වීඩියෝගත කර මාධ්‍යයට නිකුත් කිරීමත් සමග ඔවුන්ද මේ කුමක්දැයි යන්න සොයා බැලුවද තවමත් ඒ ගැන නිශ්චිත හෙළි කිරීමක් කරන්නට ඔවුහු අපොහොසත්ව ඇත.

හලාවත, පොළොන්නරුව, බද්දේගම, බණ්ඩාරවෙල, උණවටුන, අම්බලන්තොට, වැල්ලවාය, වැලිමඩ, අනුරාධපුරය, මන්නාරම, හම්බන්තොට, ගම්පහ හා තණමල්විල ආදී ප්‍රදේශවලදී පැහැදිලිවම මෙම අද්භූත එළි වීඩියෝගත කරගැනීමට හැකි වී ඇත. එහි වඩා වැදගත් කාරණය වූයේ මෙම එළි ප්‍රදේශවාසීන් අතිවිශාල ප්‍රමාණයක් සිය දෑසින්ම දැකබලාගෙන තිබීමයි.

ඇත්තෙන්ම මෙම එළි කුමක් විය හැකිද? මෙම එළි පැහැදිලිවම පිටසක්වළ යානා ලෙස හැඳින්විය හැක්කේ ඒ බව ඔප්පු වන සාධක රැසක් දැනටමත් හෙළිදරව් වී ඇති නිසාය. පසුගිය ජූලි මාසයේදී පමණ අපි ‘තරු වළල්ල’ තුළින් පෘථිවියට පැමිණෙමින් පවතින පිටසක්වළ යානා දෙකක් පිළිබඳ පැවසුවෙමු.

තවද නුදුරු දින කිහිපයක් තුළදී පිටසක්වළ යානා දැකගැනීමේ අවස්ථාව උදා වන බව අප පැවසුවේ පසුගිය මස අගදීය. ගෙවී ගියේ ඉන් දින කිහිපයකි. පිටසක්වළ පහරදීමක් පිළිබඳ කැළඹිලි සහගත පුවතක් මවමින් ගිනිගෙන දැවුණ යම් බට කැබැල්ලක් පොළොවට පතිත විය (එය පැරා එකක් ලෙස ඇතැමෙකු හැඳින්වුවද අප එයට එකඟ නැත). එම සිදුවීමෙන් තවත් දින තුනක් ගෙවී ගියේය. හලාවත ඉරණවිල අහසේ දිස්වූ අද්භූත එළිය ඉස්සන් කොටුවක හිමිකරුවකු විසින් ඡායාරූපයට නැගුවේය. ඉන් අනතුරුව මෙරට විවිධ ප්‍රදේශයන්හි අහසේ ඒ මේ අත සැරිසරන අද්භූත එළි රැසක් වීඩියෝගත කළ රූපරාමු ප්‍රසිද්ධියට පත්විය.

රතු වැස්ස පිළිබඳ විවිධ මත කිහිපයක් සමාජගත වෙමින් පවතී. කෘෂි රසායනවල ආසනික් ඇති බව පෙන්වා දුන් රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කරනුයේ මෙයට වසර දෙකකට පෙර ඇමෙරිකාවේ නාසා ආයතනයේ ආසනික්වලට විනාශ නොවන ක්ෂුද්‍රජීවීන් පිළිබඳ පර්යේෂණයක් සිදුවූ බවත් එහිදී නිපදවනු ලැබූ ක්ෂුද්‍රජිවීන්ට සමාන ජීවී විශේෂයක් රතු වැස්සේ අඩංගු බවය. මෙම ජීවීන් ආසනික් සමග ජීවත් වෙමින් තම ශරීරවලින් ආසනික් පිටකිරීම හේතුවෙන් ලංකාවේ ජලාශ ආශ්‍රිතව මේවා ව්‍යාප්ත වුවහොත් බරපතළ තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇත. ඔහුගේ තර්කයේද සත්‍යයක් ඇත. කෙළින්ම බටහිර බලවතා දෙසට ඇඟිල්ල දිගුකරන ඔහු මෙය ඔවුන්ගේ අත්හදා බැලීමක ප්‍රතිඵලයක් වියහැකි බව පවසයි.

මෙය වියනොහැක්කක් ලෙසින් බැහැර කිරීමටද නොහැකිය. මක්නිසාද යත් කියුබාවේ ආහාරමය වගාවන් විනාශ කිරීමට විෂ රසායන ගුවනින් හෙලූ අවස්ථා පිළිබඳ කියුබාව ඇමෙරිකාවට චෝදනා එල්ල කිරීමය. මෙහිදී අපට මතුවූ සැකයක්ද ඇත. පැරා එකක් ලෙසින් හඳුනාගත් ලෝහ කැබැල්ල පවත්නා වූ සැකයන්ය. ලෝහමය කොපුවක් සහිත පැරා ප්‍රධාන වශයෙන් භාවිත වන්නේ ඇමෙරිකානු විශේෂ බලකායේ වීම හා ලංකාවේ භාවිත වන චීන හා රුසියානු පැරාවලින් ලෝහ කොටස් පතිත නොවන බව හමුදාමය ආරංචිමාර්ග හරහා දැනගැනීමට හැකිවීමය. එසේ නම් ඇමෙරිකානු පැරා එකක් ඉබේ පතිත විය නොහැකිය. ඒ අනුව කුමක් හෝ ක්‍රියාකාරකමක් අප රට තුළ සිදුවිය යුතුයි. ලංකාව තුළ සිදුවන චීන ක්‍රියාකාරකම් පිළිබඳ ඇමෙරිකාව තුළ ඇති විරෝධය මතින් මෙම රසායනික ප්‍රහාරය සිදුවීද යන්න පිළිබඳ සිතාබැලිය යුතුව ඇත.

මක්නිසාද යත් රතු වැස්ස පතිතවූ බොහෝ ප්‍රදේශයන්වල චීන රජයේ මැදිහත්වීම හරහා සිදුවන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පැවතීමයි. රතු වැස්ස පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට බි්‍රතාන්‍යයේ සිට පැමිණි මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ විසින් පෙන්වා දෙන පරිදි රතු වැස්සේ ආසනික් හා රිදී අඩංගුවීම සඳහා එම වැස්සට ප්‍රබල ලෙසම පිටසක්වළ සබඳතාවක් පවතීමට ඇති හොඳම සාධකයක් බවය. එසේම වෙනත් ලෝකවල දියුණු ජීවීන් සිටිනා බව ඔහුද පිළිගනියි. එසේ නම් අප පැවසූ ලෙසම රතු වැස්ස යනු පිටසක්වළ යානාවල ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන්නකැයි සිතිය හැකිය.

අද්භූත එළි පිළිබඳ අදහස් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය විසින් එකණෙහිම ප්‍රතික්ෂේප කරනුයේ ඒවා උල්කාපාත හෝ ග්‍රාහක ලෙස අර්ථ දක්වමිනි. නාසා ආයතනයේ සිටිනා ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන සරත් ගුණපාල මහතාද පවසනු ලබන්නේ එම ප්‍රකාශයමය.

හතළිහ දශකයේ මැද භාගයේ රොස්වෙල්හි ගුවන් පථයට කඩාගෙන වැටුණු පිටසක්වළ යානය හා එහි තිබී හමුවූ පිටසක්වළ ජීවීන්ගේ සිරුරු පහ පිළිබඳ මාධ්‍යයට විස්තර නිකුත් කර පැය විසිහතරක් ඉක්ම යන්නටත් මත්තෙන් එම ප්‍රකාශය ඉවත් කරගෙන එලෙස කඩාගෙන වැටුණේ කාලගුණ තත්ත්වය නිරීක්ෂණය කරන්නට යෙදූ ‘බැලූනයක්’ යැයි පවසා එම සිදුවීම සම්පූර්ණයන්ම වසාදැමීමට ක්‍රියාකළේද ඇමෙරිකාවමය. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය තුළ ක්‍රියාත්මක වනුයේ කුමන මතවාදයක්දැයි දන්නා අයට මේ ගැන අමුතුවෙන් මතක් කර දිය යුතු නැත. රොස්වෙල් සිදුවීම පිළිබඳ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ සුවිශේෂ කතාවක් පැවසීය. එම සිදුවීම සිදු වූදා රොස්වෙල් ගුවන් පථය භාරව සිටි පුද්ගලයාගේ පුතා සමග කතාබහ කිරීමේ අවස්ථාවක් තමන්ට උදාවූ බවත් එම පුද්ගලයා මහාචාර්යවරයාට පැවසූ කතා පහත පරිදිය.

‘එක්දිනක් උදයේ මගේ පියා මට හදිසියේ නින්දෙන් අවදි කළා. ඔහු මාව ඔහුගේ කැබ් රථයේ පිටුපසට රැගෙන ගොස් එහි වූ රෙද්ද ඉවත් කළා. මට ඇස් අදහා ගන්න බැරිවුණා. මම කවදාවත් දැකලා නොතිබුණු විවිධ විද්‍යුත් කොටස් වගේම විනාශ වූ යම් දෙයක කොටස් එහි තිබුණා. එහි වූ ලෝහ කැබැල්ලක් මම අතට ගෙන පොඩි කර බැලුවා. එය ඉතා සැහැල්ලුයි. ඉතා කුඩාවට අතින් හැකිළිය හැකියි. ඇඟිලි දිග හැරූ සැණින් එම ලෝහය දිගහැරුණා. එම ලෝහ කැබලි මත කියවා ගතනොහැකි ඊජිප්තු වැනි පැරැණි අක්ෂර වර්ගයක් තිබුණා’ මෙය සත්‍යයක් හෝ අසත්‍යයක් විය හැකිය. එහෙත් ‘ඒරියා 51’ බිහිවීමට පදනම වැටෙන්නේ මෙම සිදුවීමයි. ඒරියා 51 ලෝකයෙන් වසන් කරන්නට එකම හේතුව පිටසක්වළයන්ගේ සබඳතාව බව ලෝකයම දන්නා රහසකි.

2012 ලෝක විනාශයෙන් පසු විනාශ නොවී ඉතිරිවනුයේ ප්‍රංශයේ බෘකාෂ් නගරය පමණකැයි විශ්වාසයක් පවතී. එහි වර්ග සැතපුම් 20ක වපසරියකින් යුත් ප්‍රදේශයක් අධිආරක්ෂිත කලාපයක් ලෙස වෙන් කර පිටස්තර කිසිවකුට එහි ඇතුළුවීම තහනම් කර ඇත. එහි ඇත්තේ දැවැන්ත ගල් කන්දකි. එහි වැසියෝ පවසනුයේ පිටසක්වළයන්ගේ යානා තනන කම්හල පිහිටා ඇත්තේ මේ කන්ද තුළ බවය. එම කන්දෙන් එළියට එන යානා බොහෝ ප්‍රමාණයක් වීඩියෝගතකර ගැනීමට හැකිවීම හරහා එම මතයට වටිනාකමක් එක්වීම සිදුවේ. ලංකාවේ ඇළපහරක වර්ණය රතුපැහැ වූවා සේම අගෝස්තු මාසයේදී ප්‍රංශයේ මහා ගංගාවක වර්ණය රතු පැහැයට වෙනස්වීම සිදුවුණි.

කලා ඔය ඉහළින් ගමන් කරනා අද්භූත යානයේ ඡායාරූපය අන්තර් ජාලයෙන් සොයා ගැනීම පහසුය. එය ඉතා සියුම්ව විශාල කර බලන්නේ නම් ඒ ළඟින්ම යන කුඩා රවුම් යානා තුනක්ද දැකගත හැකි වේ. එනම් මේ තැන තැන දැකගත හැකිවනුයේ මවු යානයේ ආරක්ෂාව උදෙසා ඇති කුඩා යානා තුනය.

තවමත් නිශ්චිත කරුණු හෙළිකරගෙන නොමැති සිදුවීම් නම් තැන තැන බොහෝ සෙයින් සිදුවෙමින් පවතී. ඉදිරියේදී තවතවත් විශේෂිත සිදුවීම් සිදුවනු ඇත. කවුරුන් කෙසේ යථාර්ථය වසා දමන්නට උත්සහ කළද ඇත්ත ඇති සැටියෙන් සමාජගත වනු ඇත. මේ එවන්වූ යුගයක ආරම්භයයි.

දීක්ෂා ගුරු

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී

කාංචන ගීත මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close