දීක්ෂා ගුරු මග

දරු උපතට හේතුවන කර්මාණුරූපී ණය .

දරුවෙක් උපදින්නටනම් මවක් හා පියෙක් සිටිය යුතුය. එසේ උවත් දරුවෙක් වැදු පමණින්ම මවක් හෝ පියෙක් වීමටද නොහැකිය. යම් දෙමාපිය යුවලකට දාව දරුවෙකු උපදින්නේ කෙසේද යැයි ඇසුවහොත් ඔබට දීමට බොහෝම සරල උත්තරයක් ඇති බව මා දනිමි. එහෙත් එය විද්‍යාත්මකව භෞතික ශරිරය නිර්මාණය වන ආකාරයයි.

එසේ නම් එයට බද්ධවන ආත්මය එම දෙමාපියන්වම සොයා ගන්නේ කුමණ පදනමක් මතදැයි කියා ඔබට වැටහීමක් නැත .

සමාජය අපට හුරුකර ඇත්තේ දරුවෝ කවුරුත් එකයි කියා සිතන්නටය. යම් දරුවන් නිසා දෙමාපියන් සතුටින්ද තවත් පිරිසක් පිඩාවෙන්ද කාලය ගත කරති. තවත් පිරිසක් දරුවන්ව ජීවිත කාලයම පෝෂණය කරනු ලබන අතර තවත් පිරිසක් දරුවන්ගෙන් පෝෂණය වෙති. තවත් පිරිසක් දරුවා විවාහ කරදී අතහැර දමන අතර තවත් පිරිසක් දරුවන්ගේ දරුවන්ද රුකබලා ගනිමින් තම ශ‍්‍රමය උපරිමයෙන්ම දරුවන් වෙනුවෙන් වැයකරති. තවත් පිරිසක් දරුවන්ගෙන් අනේක වද බන්ධනයන් විදිද්දී තවත් පිරිසක් දරුවන් වෙතින් සැප සම්පත් ලබති. දෙමාපියන් නිසා අනන්තවත් පිඩා විදින දරුවෝද සැප සම්පත් උරුම වන දරුවෝද සිටිති.
මේ විෂමාකාර දෙමාපිය දුදරු සබදතාවය නිර්මාණය වන්නේ කෙසේද ?

සමාජය දෙස හොදින් බැලූවහොත් සෑම දරුවෙක්ම එක සමාන නොවන බව වටහා ගන්නට ඉහතින් මා දැක්වු සබදතා ස්වභාවයන් පිලිබදව ගැඹුරින් සිතා බැලූවහොත් ඔබට හැකිවනු ඇත .

යම් ආත්මයක් දරුවෙකු ලෙස උපදින්නට දෙමාපිය යුවලක් තෝරාගැනීම උදෙසා හේතු වන්නේ කර්මාණුකුල ණය නම් සාධකයකි.
කර්මාණුකූල ණය යනු කුමක්ද ?

අප යම් භවයක් තුළ සිදුකරනු ලබන ක‍්‍රීයාවන් සැමවිටම යම් යම් පුද්ගල චරිත හා බැදී පවතී. එ බැදීම් වල ගැඹුර මත ඔහුන් ඔබට ඇති ණය හා ඔබ ඔහුනට ඇති ණය තීරණය වේ. ණය යන වචනය කියු සැණින් ඔබට සිහියට නැගෙනුයේ මුල්‍ය සාධකයකි. එහෙත් මෙය මුල්‍ය සාධකයක්ම විය යුතු නැත . එය ක‍්‍රීයාමය හෝ මානසිකමය සාධකයක්ද වෙයි.

මෙසේ ඇතිවන ක‍්‍රීයාමය මනසිකමය හෝ මුල්‍යමය ණය එම භවය තුළ පෙරලා ඔබට ගෙවීමට නොහැකිවුවහොත් ඊලග භවයේදී ඔබට එය ගෙවීමට සිදුවෙයි. එ උදෙසා අදාල පුද්ගල චරිත හා සමාන්තරව ඔබේ උත්පත්තිය තීරණය වීම සිදුවෙයි. කර්මාණුරූපී ණය යනුවෙන් හදුන්වන්නේ මෙයයි.

මේ පසුබිම තුළ දෙමාපියෙකුට දාව දරුවෙකු ඉපදීමට හේතුවන කර්මාණුරූපී ණය තුන් ආකාර වෙයි.

1. දෙමාපියන් දරුවාට ඇති කර්මාණුරූපී ණය
2. දරුවන් දෙමාපියන්ට ඇති කර්මාණුරූපී ණය
3. දෙපාර්ෂය විසින්ම එකිනෙකා උදෙසා ඇති ණය

මෙසේ තුන් ආකාර වු කර්මාණුරූපී ණය පිළබදව ගැඹුරින් සිතාබලන විට මා මුලින්ම සදහන් කල සමාජය තුළ ඇති විවිධා කාර දෙමාපිය දු දරු සබදතා බිහිවන ආකාරය ඔබටම සිතා ගැනීමට හැකි වනු ඇත .

මේසේ දෙමාපිය දු දරු සබදතාවයන් පමණක් නොව සෑම ප‍්‍රධාන වු සබදතාවයක්ම ( විවාහය සහෝදර ගුරු ශිෂ්‍ය * බිහිවීමට මෙම කර්මාණුරූපි ණය නම් සාධකය හේතු වෙයි.

දෙමාපියන්ට දාව දරුවෙකු ඉපදීමේදි එම දරුවාගේ ආධ්‍යාත්මිකත්වය උත්පත්තියට යම් හේතු සාධකයක් සපයනු ලබනවා. තමන් උපදින පවුලේ ආධ්‍යාත්මික මට්ටම තීරණය වනුයේ එ හරහාය. නමුත් ණය යන සාධකයට එමගින් බලපෑමක් ඇති නොකරනු ලබයි.

දෙමාපිය දුදරු සබදතාව තුළ දෙමාපියන්ගේ කර්මයන් දරුවන්ටද දරුවන්ගේ කර්මයන් දෙමාපියන්ටද බලපානු ලබයිද කියා බොහෝ අයට ගැටලූවක් පවතී. සරලවම කියතහොත් එවැන්නක් සිදු නොවෙයි. තම තමන්ගේ උත්පත්තිය තීරණය වනුයේ තම තමන්ගේ කර්ම සාධකයන් හා කර්මාණුරූපී ණය මත මිස අන් අයගේ කර්ම සාධකයන් මත නොවෙයි. එසේ උවත් කර්මාණුරූපී ණය යන සාධකය මතින් එකිනෙකා බැදී පවතී.

දෙමාපියන්ගේ කර්මයන් මරණයෙන් මතු ලබන උත්පත්තියකට දරුවන් උදෙසා බල නොපෑවද එම භවය උදෙසා බලපෑම් ඇති කරනු ලබයි. සරල කරුණක් ලෙසින් සිතුවහොත් තම පියා නිවස උගස්කර තිබියදී මිය ගියහොත් එහි විපාක ගෙවීමට දරුවන්ට සිදුවෙයි.

සබදතා පවත්වාගෙන යෑම ඉතා කල්පණාකාරිව සිදුකල යුත්තේය. මක්නිසාද යත් එ තුළ අප ණය වන්නෙක්ද නැතහොත් අපට ණය වන පුද්ගලයන්ද යන දෙකම ඇති නොකර ගත යුතුය. අපහසුම කරුණ වනුයේ සමාජය තුළ මෙන්ම සබදතා තුළ මේ මැදිහත් බව පවත්වාගෙන යෑමයි.

වෛදිකයා හැමවිටම සබදතා යහපත්ව පවත්වාගෙන යෑමට කර්මයේ භාධා පලනයට මුල්තැන දුන්නේ එබැවිණි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර

4.8 4 votes
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x