Dewayani

මායා අසුරයා ලංකා පුරය ගොඩනගයි `` දේවයාණි 5 ``

තාරක, සූරපද්ම හා සිංහමුඛ යන දේවයාණියගේ දරුවන් වැඩිවියට පත්වත්ම බලිපුරය මුල් කරගෙන ක‍්‍රියාත්මක වූ හෙළ රාජ්‍යයේ මූලික පාලන ඒකක තුන ඔවුනට භාරදීමට ඇය තීරණය කළාය.

මෙහිදී මෙම පාලන ඒකක තුන තම දරුවන්ට ලබාදීම තුළින් මූලික වශයෙන්ම බලාපොරොත්තු වූයේ ලංකාව වටා මුහුදු සීමාව ආරක්ෂා කිරීමයි.

වර්තමාන ලංකාවට වඩා විශාල භූමි ප‍්‍රමාණයක් එකල ලංකාව සතුව පැවතුණි. මන්නාරම දෙසින් ඉන්දියාව හා ලංකාව අතර පැවති ගොඩබිම් මාර්ග ඔස්සේ ඇතිවිය හැකි සතුරු ආක‍්‍රමණ වළකාලීමත්, දකුණු ප‍්‍රදේශයේ මුහුදු සීමාවෙන් ඇතිවිය හැකි මුහුදු ආක‍්‍රමණ මෙන්ම නැගෙනහිර දෙසින් ඇතිවන ආක‍්‍රමණ පාලනය කිරීමේත් මූලික අවශ්‍යතාවක් ඇයට මතුවිය.

ඒ උදෙසා තම දරුවන්ට එම ප‍්‍රදේශවල පාලනය භාරදී එම ප‍්‍රදේශවල මාලිගා ගොඩනංවා නතර කරලීය. සතුරු පහරදීමකදී කඳුකරයේ තිබූ බලි රාජධානියට තොරතුරු ලැබී ක‍්‍රියාත්මක වන තෙක් ප‍්‍රමාදවීම හරහා රට අස්ථාවර වීමක් සිදුවන බව ඇය අවබෝධ කරගැනීම හරහා මෙම මාලිගා ඉදිකිරීමට තීරණය කළාය. එනම් තාරක, සූරපද්ම හා සිංහමුඛ යන කුමරුන්ට හදිසි අවස්ථාවකදී ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව පැවතීමයි.

ඇයගේ යුද සැලසුම් අනුව සලකා බලන කල නම් ප‍්‍රධාන මාලිගා පහක් රට තුළ පිහිටිය යුතු බව පෙනීයයි.

තාරක කුමරුට හිමිවූයේ හෙළ දේශයේ දකුණු හා බටහිර දිග ප‍්‍රදේශයයි. කළු ගං මෝය ආසන්නයේ තම මාලිගය ගොඩනැංවීම සිදුකරනු ලබයි. කළු ගඟ සීමාවේ සිට කැලණි ගං සීමාව දක්වා ඔහුගේ පාලන ඒකකය ව්‍යාප්ත විය. වර්තමාන සිතියමට අනුව එම භූමි ප‍්‍රදේශය කුඩා ප‍්‍රදේශයක් වුවත් එකල පැවති භූමි ප‍්‍රමාණයට අනුව එය ඉතා විශාල ප‍්‍රදේශයක් විය. දකුණත්, නිරිතත් අතර මුහුදේ සැතපුම් ගණනාවක් ඈතින් ගිලී ගොස් පවතින මාලිගයක සාධක දැකගත හැකිවෙයි. මෙය තාරකගේ මාලිගයයි. පසුකාලීනව මෙය රාවණ මාලිගයක් ලෙස පැවතුණි. එහෙත් රාවණ යුගයේ ඇතිවූ මහා සුනාමිය හේතුවෙන් මෙම මාලිගා සියල්ල මුහුදට ගිලී ගියේය.

කළු ගං සීමාවේ සිට මැණික් ගං සීමාව දක්වා ප‍්‍රදේශය හිමිවූයේ සූරපද්ම කුමරුටය. ‘වේලා පුරය’ ලෙස හැඳින්වූයේද මෙයයි. වර්තමානයේදී වැඩිහිටි කන්ද ලෙස හඳුන්වන්නේද මෙයයි. මහේන්ද්‍ර ගිරි මහේන්ද්‍ර ගිර වශයෙන් හැඳින්වුණු මෙම පාලන ඒකකයේ ප‍්‍රධාන මාලිගය මහේන්ද්‍ර ගිරි ඉහළ හේ ඒ ආසන්නයේ ඉදිකළේය.

මහේන්ද්‍ර ගිර මුල්කරගත් සූරපද්ම කුමරුගේ පාලන ඒකකය ඉතා වැදගත් මෙහෙයක් ඉටුකළ පාලන ඒකකයකි. ලංකාවේ සශ‍්‍රීකම කුඹුරු පද්ධතිය පිහිටියේ මෙම ප‍්‍රදේශය තුළය. එකල පැවති ප‍්‍රධානම නාවික මාර්ගය මෙම රාජ්‍යයට ආසන්නයෙන් පැවතීම හේතුවෙන් වෙළෙඳ ගනුදෙනු හා භාණ්ඩ හුවමාරු කිරීම් වැඩි වශයෙන් සිදුවූයේ මෙම පාලන ඒකකය තුළදීය. ප‍්‍රධානම නාවික වරාය පැවතියේ මෙම පාලන ඒකකය මුල්කරගෙන වන බැවින් නාවික කටයුතු හා නාවික ආරක්ෂාව විශේෂයෙන්ම සූරපද්මට භාරවුණි.

සිංහමුඛ කුමරුට හිමිවූයේ මැණික් ගඟට ඉහළ ප‍්‍රදේශයයි. එනම් කඳුකරයෙන් උතුර හා ගිනිකොනදිග ප‍්‍රදේශයයි. එහෙත් සමහර තොරතුරුවල බස්නාහිර සීමාවේ සිට ගිනිකොන දිග සීමාව දක්වාම ඔහු පාලනය ගෙනගිය බව සඳහන් වෙයි. මෙහිදී මා දකින කරුණ නම් ගෝකණ්ණ ආසන්නයේ සිංහමුඛගේ මාලිගය ඉදිවුණු බවය.

එය එසේ වුවහොත් නල පියුම් වර්තමාන විල්පත්තු ප‍්‍රදේශය තුළ (කුවණ්ණාගේ මාලිගා පැවති ප‍්‍රදේශයේ* ඔහුගේ මාලිගය ගොඩනැංවිය යුතුය. එයට හේතුවනුයේ දේවයාණි තම දරුවන් සියල්ලක්ම ස්ථානගත කර ඇත්තේ ප‍්‍රධාන වරායන් ආශ‍්‍රිතවය. මෙය ඉතා දියුණු නගර සංකල්පයකි. රජුගේ ඍජු දායකත්වය හරහා ක‍්‍රියාත්මකවූ වෙළෙඳ නගර සංකල්පයක් පැවති බව තේරුම් ගැනීමට මෙය හොඳම නිදසුනකි.

රජ මාලිගාවක් ඉදිකිරීමත් සමගම වරාය නගරය ඉතා දියුණු නගරය බවට පත්වන අතර වෙළෙඳ නැව් හරහා හෙළයා දියුණු ජාතියක්ය යන මතය ලොව පුරා ව්‍යාප්ත වීම සිදුවෙයි. වෙළෙඳ නගරය වර්තමානයේදී මෙන් මුඩුක්කු පිරි දිළිඳු නගරයක් ලෙස පෙනුණේ නම් හෙළ ජාතිය හමුවේ ලෝකයා වැද වැටෙන්නේ නැත.

මෙම මාලිගා ඉදිකිරීම සිදුවන්නේ හෙළ දේව ක‍්‍රමවේදය තුළ ඉදිකිරීම් භාරව සිටි ප‍්‍රධාන ඉංජිනේරු තනතුර වූ විශ්වකර්ම වූ ‘මායා’ නම් අසුරයා විසිනි. තාරක, සුරපද්ම හා නල පියුම් තම අවශ්‍යතා හා සැලසුම් මත ‘මායා’ අසුරයා ලවා තම මාලිගා ඉදිකළද සිංහමුඛට ලෝකයේ කිසිම මාලිගයකට නොදෙවෙනි වන මාලිගාවක් ඉදිකර ගැනීමට අවශ්‍ය විය. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ මායා අසුර විසින් ‘ලංකාපුරය’ නිර්මාණය කිරීමයි.

රාවණ කතා පුවත තුළ රාවණ රජුගේ ලංකා පුරය ලෙස සැලකෙන්නේද මෙම මායා අසුර විසින් සිංහමුඛ කුමරුට නිර්මාණය කර දුන් මාලිගයයි.

සිංහ මුඛයක් තුළින් ඇතුළුවන ලෙස නිර්මාණය කර ඇති සීගිරියද විශ්වකර්මගේම නිර්මාණයක් ලෙස පිළිගැනෙන බැවින් මායා අසුර සිංහමුඛට නිර්මාණය කළ ලංකාපුරය හා ආලකමන්දාව ලෙස පසුකාලීනව හැඳින්වුණු සීගිරියද එවැන්නක්ද කියා තරමක් සිතා බැලිය යුතු කරුණකි.

රාමායණයට අනුව නම් සීගිරිය ලංකාපුරය ලෙස සිතිය නොහැක්කේ ලංකාපුරයේ ජනේලයකින් බැලූවිට මහ මුහුද පෙනෙන බව සඳහන්වීමත් යුද්ධයෙන් පසු ලංකාපුරය මහ මුහුදට ගිලී ගිය බවත් සඳහන් වීමයි.

ඒවා වාල්මිකීගේ ප‍්‍රබන්ධ ලෙස සිතුවද ඕනෑම කතාවකට වස්තුබීජයක් තිබිය යුතුය. කඳු මුදුන් තුනක් මත නිර්මාණය කළ මුහුදට ගිලීගිය ස්ථානයක් ලෙස තවම අපට පිළිගත හැකි ස්ථානය ත‍්‍රිකුණාමලයයි. ත‍්‍රිූකෝණූකන්ද එනම් උල් හැඩයට පිහිටි කඳු තුන යන අර්ථයෙන් මෙම නම සෑදී ඇත.

සීගිරිය නැතහොත් ආලකමන්දාවද අපට ලංකා පුරය යන මතයෙන් එකපාරම බැහැර විය නොහැක්කේ සිංහ කුමරුට බස්නාහිර, උතුර, නැගෙනහිර ප‍්‍රදේශය තුළ පිහිටි සියලූ භූමි තම පාලනයට නතුවීනම් එහි මධ්‍යයේ තම මාලිගය ඉදිකළා යැයි සිතීමටද අවස්ථාවක් ඇත. මක්නිසාද යත් සීගිරිය නැතහොත් ආලකමන්දාව පිහිටා ඇත්තේ මේ භූමිය මධ්‍යයේය.

කෙසේ වෙතත් නල පියුම් විල්පත්තුවේ ඉදිකළ මාලිගයෙන් ඉන්දු භූමිය හරහා ඇතිවිය හැකි ගොඩබිම් ආක‍්‍රමණ පාලනය කිරීමට දැඩි සැලසුම් ක‍්‍රියාත්මක කළේය. මේ හේතුවෙන් කිසිදු ඉන්දු පහරදීමකට ගොඩබිම් මාර්ග භාවිත කළ නොහැකි විය.

හිරණ්‍ය කාශ්‍යප රජුව මරා දැමීම සඳහා පැමිණි නරසිංහ අවතාරය විෂ්ණු අවතාරයක් ලෙසින් සලකන අතරම බලි රජු මරාදැමීම උදෙසා මුල්වන්නේද විෂ්ණු අවතාරයකි. මෙහි සත්‍ය අසත්‍යතාව කුමක් වුවත් හෙළ රාජ්‍යයට විරුද්ධව ඇතිවූ ඉන්දු බලපෑම පාලනය කිරීමේ දැඩි අවශ්‍යතාවක් දේවයාණි කුමරියට පැවතියේය. නල පියුම් තම උපරිම ශක්තිය යොදවා ඉන්දු ලංකා ගොඩබිම් සීමාව ආරක්ෂාව උදෙසා යුදමය සැලසුම් සැකසීය. මෙය ඉතා සාර්ථක ආරක්ෂක ක‍්‍රමවේදයක් වූ බව පෙනීයන්නේ දේවයාණිගේ පාලන කාලයේ අවසාන භාගය තෙක්ම කිසිදු ආක‍්‍රමණයක් ගොඩබිම් මාර්ගය හරහා සිදුනොවීමයි.

ඉන්දු රජුගේ පුත‍්‍රයා වූ කදිර විසින් එල්ල කරන පහරදීම මුලින්ම ක‍්‍රියාත්මක වන්නේ ගිනිකොනදිග වරායටය. එනම් මෙය මුහුදු මාර්ගයෙන් සිදුවූ විශාල පහරදීමකි. එනම් ඉන්දු රාජ්‍යයේ සිට ගොඩබිමින් පැමිණිය නොහැකිවීම හේතුවෙන් හා නල පියුම්ගේ ආරක්ෂක උපක‍්‍රම අබිබවා යා නොහැකිවීම හේතුවෙන් උපක‍්‍රමිකව මුහුදු මාර්ගයෙන් පහරදීම් ක‍්‍රියාත්මක වූ බව පෙනීයයි.

හෙළ රාජ්‍යම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි සතර කොන මුල්කර ගනිමින් ක‍්‍රියාත්මක වන මෙම ආරක්ෂක සැලැස්මක් සමගම ලංකාව රැුකීමේ සතර වරම් දේව සංකල්පයද සමාජගත වෙයි. එනම් ලංකාව රකින සතර වරම් දෙවියන් යනුවෙන් මුල් යුගයේදී අදහස් කරන ලද්දේ දේවයන් වූ දේවයාණිගේ දරුවන් සතර දෙනාය. පසුකාලීනව මෙම සංකල්පය ව්‍යාප්ත වෙමින් හෙළ බුද්ධ සංකල්පය ඔස්සේ මෙය ව්‍යාප්ත වීම දැකගත හැකි වෙයි.

එය කෙසේ වෙතත් එතෙක් බලි රජුගේ රාජ්‍යය වූ බලි පුරයේම රාජ්‍ය පාලනය ගෙන ගිය දේවයාණි හන්තානේ කඳු වළල්ල මුල් කරගනිමින් නව බළකොටුවක් නිර්මාණය කළාය. එයට හේතුව වූයේ හෙළ රජවරු තමන්ට ආවේණික වූ සහ තම තමන්ට ගැළපෙන වාස්තු ක‍්‍රමවේදයන් අනුව මාලිගා නිර්මාණය කිරීමයි. එය රටක් යහපත් ආකාරයෙන් පාලනය ගෙන යෑමටත්, රාජ්‍යය අධිරාජ්‍යයක් බවට පත්කර ගැනීමටත් විශාල ලෙස හේතුවන්නකි. අනෙක් කාරණය වූයේ යුදමය වශයෙන් හෝ වෙනත් ආකාරයකින් පරාජයට පත්වූ රජකුගේ මාලිගයක් යළි රාජ්‍ය පාලන මධ්‍යස්ථානයක් ලෙස එකල භාවිත කිරීම සිදුවූයේ නැත. මෙය හෙළ ඉතිහාසය පුරාම දැකගත හැක්කකි.

දේවයාණි කුමරිය තම පාලන මධ්‍යස්ථානය හන්තානේ කන්ද ආසන්නයේ ඉදිකරන්නේ මේ නිසාය. බලි යුගය හා දේවයාණි කුමරියගේ පාලන යුගයන් සමගම ඇරඹෙන හෙළයේ කාන්තා සටන් බළකායේ ව්‍යාප්තිය සිදුවන්නේද හන්තානේ කඳුවැටිය මුල් කරගෙනය.

දීක්ෂා ගුරු
කාංචන ගීත මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close