නොපෙනෙන ලෝකය

මියගිය පෙම්වතාගේ පේ‍්‍රත ආත්මයෙන් පෙම්වතියට බලපෑම්

ඇය නිර්මලාය. නිර්මලත්වයෙන් මෙන්ම රූපශ‍්‍රීයෙන් ද අගතැන්පත් වූ ඇයගේ හිත දිනාගැනීමට උත්සහ නොකළ තරුණයකු ඇයගේ ගමේ නොසිටින්නට ඇත. ඇයගේ දඟකාර බව ඇයට බොහෝ දෙනා ආකර්ෂණය වන්නට හේතුවක් මෙන්ම, ඇයගේ රූ සොබාවේ අලංකාරය තවත් වැඩිවන්නට හේතුවිය. දිනෙන් දින ඇයගේ රූපශ‍්‍රීය වැඩිවන්නට විය. ඇයගේ පේ‍්‍රමය පැතූ බොහෝ තරුණයන් අතරින් වත්සලට කෙසේ හෝ ඇයගේ සිත දිනාගත හැකිවිය. කෙසේ හෝ නිර්මලාගේ ආදරය හිමිවීම, ගමේ මන්ත‍්‍රීකම හිමිවීමටත් වඩා ඔහුට සතුට ගෙනදෙන්නක් විය.
ගමේ පන්සලේ දී, බස්නැවතුමක දී හොරෙන් හොරෙන් හමුවුණු ඔව්හු, එදින පළමු වතාවට නගරයට පැමිණියේ චිත‍්‍රපටයක් බලන්නටය. එදා දෙදෙනා බොහෝ සේ ළංවී දවස සතුටින් ගත කළහ. එහෙත් ඒ සතුට වැඩි වේලාවක් විඳින්නට නිර්මලාට හැකි වූයේ නැත. ඒ වත්සල ළිඳට වැටී මියගිය පුවත දැනගන්නට ලැබීම හේතුවෙනි. ඇය ටිකදිනකින් හිතහදාගත්තේ වරුණ කෙරෙහි ඇගේ සිතේ ඇති වූ ආදරයත් සමඟය. වරුණ ද කඩවසම් තරුණයෙකි. යහමින් මිල මුදල් ඇති පවුලක තරුණයකු වූ ඔහුට වටිනා යතුරුපැදියක් සතුවිය. නිර්මලා ඔහුගේ කඩවසම් බවට ඇළුම් කළාය. නිවසට බොරු කියා ඔහු සමඟ ගමන්බිමන් යන්නට ඇය කෙසේ හෝ වේලාව යොදාගත්තේය. එහෙත් ඒ සබඳතාව ද වැඩි දවසක් පැවැතුණේ නැත. යතුරුපැදි අනතුරක් නිසා සුවකළ නොහැකි ලෙස වරුණගේ දණහිස කැඞී යෑමත් සමඟම ඔවුනගේ සබඳතාවය ටිකෙන් ටික දුරස්ව ගියේය.
එක් දිනක් නිර්මලාගේ දොරකඩ අඹ ගස යට ඇති බංකුවට වී පාර දෙස බලා සිටියාය. මළානික හිරු එළිය දසත පැතිර ඇත. පරිසරය ටිකෙන් ටික අඳුරු වූවත්, ඇය එසේම සිටියාය. නිර්මලාගේ මව නිවසේ සිට ඇයට කතා කළ ද, ඇය නෑසෙන්නා සේ සිටීම මවට එතරම් ඇල්ලූවේ නැත. මව ළඟට ගොස් ඇයගේ පිටට තට්ටුකොට කතා කළාය. නිර්මලා එකවරම නැඟී සිටියාය. ඇඳසිටි දිග සාය පිරිමියකු සරම කොටකර අඳින්නා සේ ගැටගසා ගත්තාය. ”ඇයි මොක ද?” ඇගේ මුවින් පිටවූයේ පිරිමි කටහඬකි. ”යනවද මට වධ දෙන්නැතුව” නිර්මලාගේ මව අන්දුන්කුන්දුන් වී ගියාය. දුවට සිදු වී ඇත්තේ කුමක්ද? නිර්මලා නැඟිට කාමරයට ගොස් දොර වසාගත්තාය. ඇයගේ මව මේ සිදුවීම ඇයගේ පියාට පවසා රාත‍්‍රියේ දොර හැර බැලූවාය. නිර්මලා ඇඳේ දක්නට නැත. ඇඳ පාමුල කොට්ටයක්වත් නොමැතිව අතපය විහිදාගෙන ඇය නිඳිය. කිසිම දිනක බිම නිඳානොගන්නා ඇයට හොඳට නින්ද ගොසිනි.
පසුදින ඇයගේ හැසිරීම් රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. නිවසේ කිසිවකු සමඟ කතාබහ නොකර කාමරය තුළටම වී සිටි ඇය, සවස කාමරයෙන් එළියට පැමිණ කිසිවක් නොකියා හන්දිය දෙසට යන්නට වූවාය. ඇය එසේ පිටව යනු නිවසේ අය දුටුවේද නැත.
හන්දියේ තැබෑරුම්පොළට ගිය ඇය, පුරුදුකාරියක මෙන් මත්වතුර වර්ගයක නම කියා කාලේ බෝතලයක් ඉල්ලූවාය. බාර් එකේ සිටි තරුණයා ඇයගේ පියාව හොඳින් දන්නා අයෙක් වූ නිසා ඔහු එහෙයින් ඇයට මත්වතුර ලබාදීම ප‍්‍රතික්‍ෂේප කළේය. එහෙත් සිදුවූයේ නොසිතූ දෙයකි. ඇය පිරිමියකු ලෙස ඉතා අසභ්‍ය වචනයෙන් කඩ හිමියාට බැණ වදින්නට විය.
”ඈ…… අරක්කු තියෙන්නෙ විකුණන්ඩ නෙමෙයිද?…..වැඩ කරන්න එපා”
කතාව දිගින්දිගටම ඇදීයන නිසා ඉල්ලූ මත්වතුර ප‍්‍රමාණය ලබාදීමට කඩහිමියාට සිදුවිණි. මත්වතුර හලේ තාප්පය අයිනට ගිය ඇය බෝතලයේ මූඩිය කඩා මත්වතුර ටික කටට හලාගත්තේ ඇල්වතුර ටිකක් බොන්නාක් මෙනි. එතනම වූ කඩල කරත්තයෙන් කඩල ගොට්ටක් ගෙන ටික ටික කමින් නිවස දෙසට පැමිණියාය. ඇය මඟ පැමිණෙනවිට නිවසට සියල්ල ආරංචි වී නිවසේ සිටි අයද මහ මඟට දිව ආහ. ඇයට එහෙත් කිසිදු ගානක් නැත. ඇයව අල්ලා ත‍්‍රිරෝද රියක දමාගෙන නිවසට රැුගෙන ආවේ ඇයගේ දැඩි විරෝධය මධ්‍යයේය.
ඇය නිවසට බලෙන් රැුගෙන ඒමට විරුද්ධ වූ නිර්මලාගේ මුවින් පිටවූයේ අසාගෙන සිටින්නට තරම් අප‍්‍රියජනක පරුෂ වචන වැලකි. වයස අවුරුදු දහනවයක තරුණියකගේ මුවින් එවන් වූ වචන පිටවිය නොහැකිය. නිර්මලාගේ මුවින් කෙලෙසවත් පිටනොවූ වචන හෝ මත්වතුර පානය කිරීම සිදුවූයේ කෙලෙස ද පසුදා පෙරවරුවේම ඇදුරකු කැඳවා දෙහි කපා ආරක්‍ෂා නූලක් දැමීමෙන් තරමක වෙනසක් සිදුවුව ද එය2 පැවතියේ දින තුනක් පමණි.
නිර්මලාගේ ශරීරය තුළට මළගිය ආත්මයක් රිංගා ඇතැයි, ඇදුරන් කිහිප දෙනකුම පැවසුව ද එය ස්ථිර ලෙස ඉවත් කිරීමට ඔවුනට හැකියාව ලැබුණේ නැත. එක් පූජාවක් නිම වී සතියක් යන්නටත් කලියෙන් තවත් තොවිලයක් නිර්මලාගේ නිවසේ පැවැත්වුණි. තොවිල් පැවැත්වෙන වෙලාවට නිර්මලා ඉතා දැඩි අයුරින් හැසිරෙන්නට වූවාය. කපු මහතුන්ට පහර දී එලවා දමන්නට ද ඇය උත්සහ දැරුවාය. තොවිල් දිනයේ බොහෝවිට ඇය සිරකාරියක ලෙස තබාගත යුතුවිය. ඇය අසභ්‍ය වචනයෙන් කපු මහතුන්ට බැණවදිමින් හැසිරෙන්නට වූවාය. මාස අටක්, දහයක පමණ කාලයක් තුළ තොවිල් තිහකට ආසන්න ප‍්‍රමාණයක් සිදුකළත් නිර්මලාගේ ශරීරයේ වූ මළානික ආත්මය පිටවූයේ නැත.
එදිනද සුපුරුදු ලෙස තොවිල් කටයුත්තක් සංවිධානය විණි. සාමාන්‍ය කපු මහතුන්ගේ මවාපෑම් නොමැතිව අත්‍යාවශ්‍ය මල්, බුලත්, දොළ තටු සූදානම් වී ඇත. පූජාව ආරම්භයත් සමඟ නිර්මලාව අල්ලාගත් දෙදෙනකු ඇයව ගෙනවිත් පැදුරේ වාඩිකරවූ අතර, සුපුරුදු ලෙසින් ඇය කපුමහතාට අසභ්‍ය ලෙස බැණවදිමින් ප‍්‍රචණ්ඩ ලෙස හැසිරෙන්නට ද වූවාය.
තොවිල් තිස් ගණනක් තිස්සේ සාමාන්‍ය ක‍්‍රමවේදවලින් මළගිය ආත්මය ඉවත් නොවුණි නම් දෙහි, පුහුල්, බිත්තරවලින් ඵලක් නැති බව අවබෝධ කරගත් ඇදුරා කඩුවක් ගෙන ගිනිඅඟුරු ගොඩට දැමුවේය. ඉන්පසු අතට ගත්තේ යෂ්ටියකි. එහි එක් පසෙක යක් මූණකි. අනෙක් පස නාග හිසකි. යෂ්ටිය වම් අතට ගත් ඔහු, දකුණු අතට වේවැලක් ගෙන නිර්මලාට දිගටහරහට පහර දෙන්නට විය. නිර්මලා එක්වනම නැඟී සිටියාය. ඇඳසිටි සාය සරමක් ලෙස කැසපට ගසාගත්තාය. කපු මහතාට පහර දීමට වේගයෙන් ඔහු අසලට පැන්නේය. කපු මහතාගේ අත වූ යෂ්ටියේ නාග හිස තිබූ පැත්තෙන් ඇයගේ හිස මුඳුණට පහරක් ගසා එහෙමම අල්ලාගෙන සිටියාය. ඇගේ චණ්ඩ බව තරමක් පාලනය විය. ”උඹ දඟලන්න එපා. උඹට ගැහුවේ වේවැලෙන් විතරයි. පේනවනේ රත්වෙන කඩුව. ඊට පස්සේ ඒකෙන් තමයි හම්බවෙන්නේ”.
”මම යන්නේ මොකටද මගේ කෙල්ලව දාලා. ඒකි මගේනේ. මම ඒකිත් එක්කයි යන්නේ. වෙලාව ආවම මම මේකිත් එක්කම යන්නම්”
”එහෙනම් උඹ එහෙමද?” කපු මහතා රත්කළ කඩුව ගෙන නිර්මලාගේ අතේ තැබුවේය.
”උඹ මට කරදර කළොත් වෙන්නේ උඹටත් අන්තිම ගමන යන්න තමයි” ශරීරය පිච්චුව ද ඇයගේ ශරීරයට වැහී සිටි ආත්මය මෙල්ල වූයේ නැත”
”ඇයි උඹ කාවද මැරුවේ”
”මේකිව මගෙන් උදුරගන්ඩ හදපු එකෙක්ව ළිඳට දැම්මා. අනිත් එකා කකුළ කැඩිලා බේරුණා. ඌවත් මරන්ඩ තමයි හැදුවේ. එත් ඌ බේරුණා”
නිර්මලාගේ ශරීරයට ඇතුළු වී ඇත්තේ දුර්වල ආත්මයක් නොවන බව කපු මහතාට පැහැදිලි වී අවසානය.
”උඹ කවුද?”
”මම ත‍්‍රීවිල් ප‍්‍රියන්ත, හංදියේ ත‍්‍රීවිල් එක ගැහුවේ”
ළඟ සිටි අයෙක් කපු මහතාගේ කනට කොඳුරා ඔහු කවුදැයි පැහැදිලි කළේය.
”උඹද ත‍්‍රීවීල් එක පෙරළිලා මැරුණේ”
”ඔව්”
”ඇයි මේ දැරිවිගේ ඇඟට ඇතුළු වුණේ?”
”මේකි මගේ, මේකි ඉස්කෝලේ යන කාලේ ඉඳන් මාත් එක්ක යාළුවෙලා හිටියේ. මම මැරුණට පස්සේ මේකි වෙන උන් එක්ක යන්න ගත්තා. මේකි අයිති මට විතරයි. ඒකයි මම මේකිගේ ඇඟට රිංගුවේ”
කපු මහතා විවිධ උපක‍්‍රම යොදමින් ආත්මය කොටුකර ගැනීමට උත්සහ දැරුවේය.
නිර්මලාගේ ශරීරය තුළ කුඩා කුඩා කොටස්වලට රිංගමින් කපු මහතාගේ උත්සහය ව්‍යර්ථ කිරීමට ප‍්‍රියන්තගේ ආත්මය ද මහන්සි ගත්තේය. කෙසේ හෝ කතාවෙන් කතාවෙන් කපු මහතා අල්ලාගෙන සිටි නිර්මලාගේ දිගු කෙස්වැටියේ කෙස් ගස් තුනෙන් එකක් වෙත ආත්මය ගෙන්වා ගත්තේය. එක් මොහොතකින් හිස ළඟින් කෙස්ගස් තුන කපා දැමුවේය. ඉන්පසු එම කෙස්ගස් තුන යකඩ ඇණයක ඔතා වත්ත කෙළවරේ වූ කොස් ගසකට තබා ගැසුවේ, කිසිම දිනයක එම ගස කපා නොදමන ලෙස පවසමිනි.
නිර්මලා, ප‍්‍රියන්තගේ ආත්මයෙන් නිදහස් විය. ඇය දන්නේ අවසන් වරට අඹගස යට වාඩි වී සිටි අයුරු පමණි.

0 0 votes
Article Rating
guest
0 Comments
Inline Feedbacks
View all comments
Translate »
You cannot copy content of this page
0
Would love your thoughts, please comment.x
()
x