නොපෙනෙන ලෝකය

මියගිය සැමියා පුෂ්පලතාට රැුකවරණය දෙයි

කොළඹට ආසන්න ප‍්‍රදේශයක ජීවත් වූ ලෙස්ලිගේ නම කියූ පමණින් ඔහු නොදන්නා කෙනකු කොළඹ නැති තරම් ය. අදින් වසර පනහකට හැටකට පෙර සිටි දක්ෂ ව්‍යාපාරිකයෙක් වූ ඔහු සතු ව ජීවත් වූ නගරයෙන් අඩකටත් වඩා ඉඩකඩම් තිබිණි. ඒවා ඔහුට පරම්පරාවෙන් හිමි වූ දේපලය. දරුවන් සිවු දෙනකුගේ පියෙක් වූ ලෙස්ලි සෙල්ලක්කාර ජීවිතයක් ගත කළ අයෙකි.ඔහුගේ වැඩිමල් දරුවා ශාන්තයි. ශාන්තට අවුරුදු විසි දෙකක් සපිරෙත් ම ලෙස්ලි ඔහුගේ ව්‍යාපාරවලින් කොටසක් ශාන්තට පැවරුවේය. පියාගේ අඩිපාරේ යමින් තමාට පැවරූ ව්‍යාපාර සාර්ථකත්වය කරා ගෙන යමින් ඒ තුළ තමාගේ ම ඒකාධිකාරියක් ගොඩ නඟා ගැනීමට ශාන්තට හැකි විය.
හැටේ දශකයේ මැද භාගයේ දී ලෙස්ලි ඔවුන් ජීවත් වූ නගරයෙන් බැහැර නගරයක තිබූ ව්‍යාපාරයක් ශාන්ත ට නීත්‍යනුකූල ව පවරා දුන්නේ ය. එය ද ඉතා දක්ෂ ලෙස දියුණු කරලීමට ශාන්තට හැකි වූයේය.
1968 වසර ශාන්තගේ ජීවිතයේ තීරණාත්මක සන්ධිස්ථානයකි. ඒ ඔහුට විවාහයක් ලැහැස්ති කිරීමට පියා කටයුතු කිරීම යි. ශාන්තගේ යෝජිත මනාලියගේවයස අවුරුදු 16ක් පමණ විය. ඉතා සුරූපී තරුණියක වූ ඇය නමින් පුෂ්පලතා වූවාය. ප‍්‍රබල ව්‍යාපාරික පවුලකින් පැවැත ආ ඇයගේ පියා අලි ඇතුන්ගේ හාම්පුතෙක් ද විය. උත්කර්ෂවත් අන්දමින් පැවැති විවාහ මංගල්‍යයකින් පසු ශාන්තත්, පුෂ්පාත් යුග දිවියට එළඹුණහ. විවාහයත් සමඟ ම පියා සතු ගොඩ මඩ ඉඩම්වලින් බොහොමයක් ඇයට හිමි විය.
එහෙත් විවාහයේ සතුට විඳීමට පුෂ්පලතාට හැකි වූයේ වසර හතරක් පමණි. 71 කැරැුල්ල ආරම්භ විය. එක් දිනක් පෙරවරුවේ ව්‍යාපාරික ස්ථානයට නික්ම ගිය ශාන්තට යළි දෙපයින් නිවසට පැමිණීමට ලැබුණේ නැත. ඔහුගේ ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට දී ම කිසිවකු හෝ එල්ල කළ බෝම්බ ප‍්‍රහාරයකින් ඔහු ජීවිතෙන් සමුගත්තේය. දරුවන් දෙදෙනකු සමඟ තනි වූ පුෂ්පලතාගේ ජීවිතය උඩු යටිකුරු වන්නේ ඉන් පසුවය.
සැමියාගේ වියෝවෙන් පසු ගෙවී ගියේ සති කිහිපයකි. ශාන්තගේ මාපියෝ ඇයට වෙනස් කම් කරන්නට පටන්ගත්හ. දරුවන් දෙදෙනාගේ භාරකාරත්වය සැමියාගේ මාපියන් අතට පත් විය. සැමියාගේ ව්‍යාපාරය ද යළි මාමණ්ඩියගේ අතට ම පත් විය. මේ සියල්ලට ම වඩා වැඩි ගැටලූවකට ඇය මුහුණ පෑවාය. ඒ සැමියාගේ නිවසේ කාමරයක සිරකාරියක් බවට පත්වීමට ඇයට සිදු වීමයි. කිසිවකු සමඟ සබඳතා පැවැත්වීම ඇයට තහනම් විය. ඇයගේ මහගෙදර කිසිවකු හෝ ඇය බැලීමට පැමිණෙන දිනයට පමණක් ඇයට එළියට එන්නට අවසර ලැබුණි. එහෙත් ඒ වෙලාවට ද ඇයට තමා මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳ කිසිවක් පැවැසීමට නොහැකි වන ලෙසින් නැන්දම්මා හෝ මාමණ්ඩිය නිරන්තරයෙන් ම ඇය අසල රැුඳී සිටීමට අමතක කළේ නැත. කාලය සෙමින් සෙමින් ගෙවී ගියේය. මේ ආකාරයට තමා සිර කර තබන්නේ ඇයි ද යන්න පුෂ්පලතාට මහත් ගැටලූවක් විය.
පුෂ්පලතා තවමත් වයස අවුරුදු විස්ස පසු කළා පමණි. දෙදරු මවක් වුව ද ඇය කෙරෙන් එවැන්නක් දිස් වූයේ ද නැත. මාස තුනකට පමණ පසු දිනෙක ඇයට ඒ ආකාරයට සිර කර තැබීමට හේතුව අවබෝධ කර ගැනීමට ඇයට හැකි වූවාය. දිනක් මාමණ්ඩිය වූ ලෙස්ලි ඇයගේ කාමරයට පැමිණ යෝජනාවක් කළේය.
‘‘උඹ මගේ ගෑනි වෙයන්. මම එතකොට උඹව එළියට ගන්නම්. උඹේ මිනිහගේ ව්‍යාපාරයත් මම උඹේ නමට ලියන්නම්’’
මේ වචන ටික ඇසෙත් ම පුෂ්පලතාගේ හිස කැරකෙන්නට විය. ඒත් සමඟ ම ඇයගේ ශරීරයට මෙතෙක් නො වූ අධික ශක්තියක් දැනෙන්නට විය. ඇය මාමණ්ඩිය දෙස රවා බැලූවාය. ඒ බැල්මත් සමඟ මාමණ්ඩිය කාමරයෙන් පිටවී ගියේය. පුෂ්පලතා සුකොමාල තරුණියකි. ඇය එසේ කළේ කෙලෙස දැයි ඇයට වත් සිතා ගත නොහැකිය. සිදු වූ සියලූ දේ ඇයට මතකය. එම සිදුවීමෙන් සතියක් පමණ ගෙවී ගියේය. එදා නිවසේ කිසිවකු නොවීය. සියල්ලෝ ම නෑ ගෙදරක ගොසිනි. ඇයට මුහුණ දෙන්නට සිදුවූයේ අනපේක්ෂිත සිදුවීමකටය.
එකවර ම කාමරයේ දොර ඇරුණි. එතැන සිටියේ බමන මතින් සිටි ලෙස්ලිය. ක්ෂණික ව කාමරය තුළට ඇතුළු වූ ඔහු කාමරයේ දොර වසා දැමුවේය. ඇය කොටියෙක් ඉදිරියේ වෙව්ලන මුව පැටියකු සේ ගැහෙන්නට වූවාය. ඇයව බේරා ගන්නට කිසිවකු නැත. ලෙස්ලි යනු සද්දන්ත දේහධාරියකි. පුෂ්පලතා ළඟට පැමිණි ලෙස්ලි ඇයව අල්ලා ඇඳට තල්ලූ කළේය. ඇයගේ ශරීරයට පෙරදිනක දැනුණු ශක්තිය නැවතත් ඇති වන බව ඇයට දැනුණි. ලෙස්ලි ඇයට අතවර කිරීමට සැරසෙත් ම ඇය ඔහුව ඔසවා විසි කළාය. අසල වූ මේසය කඩාගෙන බිම පතිත වූ ලෙස්ලිට සිදුවන්නේ කුමක්දැයි සිතා ගැනීමට වත් නොහැකි විය. අමාරුවෙන් නැඟිට ගත් ලෙස්ලි කඩා වැටුණු මේසයේ කකුලක් අතට ගත්තේය.
‘‘පර….. උඹ මාව මට්ටු කරන්න හිතුවද? උඹට නෙමෙයි. උඹේ මිනිහටවත් මාව මට්ටු කරන්න බැරි වුණා’’ යැයි පැවැසූ ලෙස්ලි අත වූ මේස කකුලෙන් පුෂ්පලතාට පහර දෙන්නට විය. ඔහු විසින් එල්ල කළ පහර කිහිපයක් ඇයට වැදුණ ද එම පහරවල් ඇයට දැනුණේ වත් නැත.
මොහොතකින් මේස කකුල අතට ගත් පුෂ්පලතා සිය මාමණ්ඩියට නැවත පහර දුන් අතර ඇයගේ පහර කෑ ලෙස්ලි යළි විසිවී ගොස් ඇදගෙන වැටුණේය. ඒ පහරත් සමඟ ම ලෙස්ලි ඇඳුමක් වත් ඇෙඟ් නොමැති ව නිරුවතින් ම කාමරයෙන් එළියට දිව ගියේය. නිවසින් ද එළියට දිව ගිය ලෙස්ලි නැවතුණේ නිවසට ආසන්නයේ ඇති රබර් රොටී වේලන මඩුවේය. ලෙස්ලිගේ වත්තේ කම්කරුවකු වූ ඊටින් අයියාට තම ස්වාමියා නිරුවතින් වේලන ලද රබර් රොටි ගොඩක් මත නිදාගෙන සිටින අයුරු දැකගත හැකි විය. සිදුවූ දෙය නිවසේ සැමට ම මහත් ප‍්‍රහේළිකාවකි. කෙසේ වෙතත් අවසානයේ දොස් අසන්නට සිදුවූයේ පුෂ්පලතාට ම ය.
එදින සිට පුෂ්පලතාට සෑම විට ම තමා ළඟ කවුරුන් හෝ සිටිනා බව දැනෙන්නට වූවාය. ඉන් දින තුනකට පසු රාත‍්‍රියේ දී ඇය අද්භූත සිහිනයක් දැක්කාය. ඇයගේ සැමියා මරා දමන්නට මාමණ්ඩිය විසින් කිසිවකුට කොන්ත‍්‍රාත්තුවක් දෙන අයුරු ඇය දුටුවාය. ඔවුුහු ස්වාමියා මරා දමන අයුරුත් ඇය ගත කළ සිරකාර ජීවිතය මෙන් ම ඇයට මාමණ්ඩිය අතවර කිරීමට සැරසුණු මොහොත දක්වා ම ඇය සිහිනයෙන් දුටුවාය. ඒ මොහොතේ මාමණ්ඩියත් පුෂ්පලතාත් අතර සිටගෙන සිටියේ මිය ගිය ශාන්තය. මාමණ්ඩිය ඔසවා විසිකළේ ශාන්තයි. ඇයට දැන් සියල්ල ම පැහැදිලිය. තමා බේරුණේ කෙලෙසදැයි කියා ඇයට තිබූ ගැටලූව විසඳුණි.
එතැන් සිට නිරන්තරව තම සැමියා වූ ශාන්ත තමා ළඟ සිටින අයුරු පුෂ්පලතාට දැනෙන්නට විය. ඉන් පසු සෑම දිනක ම ශාන්ත විවිධ දේ පුෂ්පලතාගේ කණට මුමුණනු ඇයට ඇසෙන්නට වූ අතර එක් දිනක් ශාන්ත පුෂ්පලතාට සියුම් බලාපොරොත්තුවක් රැුගෙන ආවේය.
‘‘මම අද ඔයා ව මේ කාමරයෙන් එළියට ගන්නවා. කවුරු උදව් ඉල්ලන් ආවත් උදව්වට යන්න එපා. මම කරන්න ඕන දේ කියනකම් කලබල නොවී ඉන්න. ’’ එදින සවස 3ට පමණ ඇයට කිසිවකු හෝ බෙරිහන් දෙන ශබ්දයක් ඇසුණි. ඒ හඬ තම මාමණ්ඩියගේය. ඒ අවස්ථාවේ නිවසේ සිටියේ මාමණ්ඩිය, නැන්දම්මා හා පුෂ්පලතා පමණි. නිවසේ ළිඳ ළඟ කකුල ලිස්සා යාම නිසා ඔහු ඇද වැටී ඇත. යළි නැඟිට ගත නොහැකි ව මාමණ්ඩිය බෙරිහන් දෙයි. නැන්දම්මාට තනියෙන් මාමණ්ඩිය එසවිය නොහැකිය. නැන්දම්මා දිව විත් පුෂ්පලතාගේ කාමරය හැර ඇයට කතා කළා ය. ඒ සමඟ ම ඇයට තම සැමියාගේ ආත්මය දුන් උපදේශය මතක් විය. ඒ නිසා ඇය ඔවුන්ට උදව්වට නොගියාය. ඒ අවස්ථාවේ විවෘත කළ කාමරය යළි කිසි ම දිනක කවුරුන් හෝ වැසුවේ ද නැත.
ලෙස්ලි බිම ඇද වැටෙන අවස්ථාවේ සිදු වූ සුසුම්නාවේ ඇදීමක් නිසා යළි කිසිම දිනක දෙපයින් නැඟිටීමට නොහැකි ලෙස ඔහු එක්තැන් විය. මාමණ්ඩිය වැටුණු දින රාත‍්‍රියේ ශාන්තගේ ආත්මය පැමිණ පුෂ්පලතාට යළිත් උපදේශයක් ලබා දුන්නේය.
‘‘තාත්තට සිංහල බෙහෙත් කරන්න යන්න ඔයාට කතා කරයි. ඔයා ඒක කරන්න. මගේ උරුමය ඔයාට මම අරගෙන දෙනවා.’’
දින කිහිපයක් වෙදගෙදර නතර වී ප‍්‍රතිකාර ගත් ලෙස්ලි යළි ගෙදර පැමිණියේය. ශාන්ත පැවැසූ පරිදි ම තෙල් සාත්තුවක් පත්තු බැඳීමත් පුෂ්පලතාට කියා කරවන්නැයි ලෙස්ලි නිවසේ අයට කෑ ගැසුවේය. මෙසේ වසර කිහිපයක් තිස්සේ මාමණ්ඩියට ප‍්‍රතිකාර කිරීමට පුෂ්පලතාට සිදුවිය.
කාලය කෙමෙන් ගෙවී ගියේය. ඒ වන විට දරුවන් දෙදෙනාට තමන්ගේ මව කවුදැයි යන්න පවා අමතක වන තරමට පුෂ්පලතා දරුවන්ගෙන් දුරස් කර තැබීමට ලෙස්ලිත් ඔහුගේ බිරිඳත් කටයුතු කොට හමාරය. මේ අතරතුර ශාන්තගේ ආත්මය පුෂ්පලතා මෙහෙයවමින් තම අරමුණු වෙත ගමන් කරමින් සිටියේය.
‘‘හෙට තාත්තා කියයි මට හිමි වෙන්ඩ ඕනේ දේපල ළමයින්ගේ නමට ලියනවා කියලා. ඔයා මුකුත් කියන්න එපා. මම ආයිත් කියනකන් තාත්තට බෙහෙත් කරන්න යන්නත් එපා’’ ඉන් පසු ඇය මාමණ්ඩියට ප‍්‍රතිකාර කිරීමට නොගියාය. ලෙස්ලිගේ රෝගී තත්ත්වය උත්සන්න විය. වෙන කිසිවකු සාත්තු කළත් ඒ තත්ත්වයේ ද අඩුවක් නොවීය.
ශාන්ත පුෂ්පලතාට යළි උපදෙස් ලබා දුන්නේය. ‘‘අද දවල්ට තාත්තා ඔයාට කතා කරයි. ඒ වෙලාවට යන්න. හවසට ඔයාට ඉඩම් දේපල ලැබෙයි.’’
ශාන්ත පැවැසූ ලෙස දහවල් මාමණ්ඩිය පුෂ්පලතාට කතා කළේය. අද හවසට ඔප්පු ලියනවා.’’ මාමණ්ඩිය පැවැසීය.
කෙසේ හෝ අවසානයේ තම සැමියා ඉදි කළ නව නිවසත් ව්‍යාපාරයත් පුෂ්පලතාට හිමි වූ අතර දරු දෙදෙනාට පුෂ්පලතාගේ භාරකාරත්වය යටතේ ඉඩම් බෙදා දී තිබුණි. ඉඩම් බෙදා ටික දිනකින් ලෙස්ලි මිය ගියේය. පුෂ්පලතා දරුවන් සමඟ තමාට හිමි වූ නිවසේ ජීවත් වූවාය. අදටද තම සැමියාගේ ආත්මය ලබාදෙන උපදෙස් අනුව ඇය ව්‍යාපාර කටයුතු කරගෙන යන්නීය.

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close