නොපෙනෙන ලෝකය

සැමියාගේ මව යක්ෂාවේශයෙන් බිරිඳට ආරූඪ වෙයි

වසන්ති සපුරුදු ලෙසින් රැුකියාවට ගොස් නිවසට පැමිණියා ය. මෝස්තර නිරූපණය හා රඟපෑම සිය ජීවිතය බවට පත්කරගත් ඇයට ඉතා කෙටි කාලයකින් ක්ෂේත‍්‍රය තුළ ජනප‍්‍රිය චරිතයක් වීමට හැකි විය. ඇයගේ නිවස පිහිටා තිබුණේ කුඩා කඳුගැටයක මුදුනට වන්නට ය. ඒ ආසන්න ප‍්‍රධාන මාර්ගයෙන් අතුරු මාර්ගයට පිවිසෙන තුන්මං හන්දියට ඉදිරියෙන් පිහිටා තිබුණේ සුසාන භූමියකි. වසන්තිගේ නිවසේ උඩුමහලේ බැල්කනියට පැමිණි විට සුසාන භූමිය හොඳින් දිස්වෙයි.

ගමෙන් නගරයට පැමිණි වසන්තිගේ ජීවිතය දැන් සිටිනා මට්ටමට ගෙන ඒමට ඇයට බොහෝ හැලහැප්පීම්වලට මුහුණදීමට සිදු විය. එහිදී ඇය බොහෝ විට පිරිමින්ගේ අතින් අතට මාරු වූ අවස්ථාවන් පිළිබඳ ද ක්ෂේත‍්‍රය තුළ ජනප‍්‍රිය කටකතා අසන්නට ලැබුණි. එහෙත් ඒ හරහා කෙසේ හෝ ඇය තම වෘත්තීය ජීවිතය ස්ථාවර කරගන්නට සමත් වූවාය.

ජීවන්ත ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරියකු වූ අතර ඔහු වසන්තිගේ රූපයට දැඩි ලෙස ආශා කළේ ය. මේ නිසාම වසන්ති වෙනුවෙන් මුදල් වැය කරමින් ඇය තමාගේම කරගැනීමට ඔහු දැඩි වෙහෙසක් දැරුවේ ය. එය එතරම්ම අපහසු කාර්යයක් නොවූයේ වසන්ති ද මුදල් ඉපයීම තම ජීවිතය ලෙසින් සැලකූ හෙයිනි. වසන්ති සිතුවේ ජීවන්ත ඇයට හොඳ ඉල්ලමක් ලෙසිනි. ගැහැනු මායම් උපයෝගි කරගනිමින් මෙම පේ‍්‍රම සබඳතාව විවාහය දක්වා දුරදිග ගෙනයෑමට වසන්තිට වැඩි වෙහෙසක් දරන්නට සිදුවූයේ නැත. එයට හේතුව වූයේ ජීවන්ත වසන්තිගේ ශරීරය කෙරෙහි දැඩි ලෙස ඇලූම් කිරීමයි. මුදල් බලය මෙන්ම සමාජයේ ඉහළ තනතුරක් දැරූ අයකු තම ස්වාමිපුරුෂයා කරගැනීම කල්නොහැරිය යුතු යැයි සිතූ වසන්ති ජීවන්ත සමඟ විවාහය ඉක්මන් කරගැනීමට නිරන්තරයෙන් ම ජීවන්ත පොලඹවාලන්නට කටයුතු කළාය.

පාරම්පරිකව ඉහළ හා උසස් සමාජ තලයක ජීවත්වූ ජීවන්තගේ මව මේ වන විටත් ජීවන්තට සහකාරියක් තීන්දුකර තිබුණි. එම තරුණිය ජීවන්තගේ පවුල් පසුබිමට හොඳින් ගැළපුණේ ය. එහෙත් මවගේ හැම බලාපොරොත්තුවක් බිඳ දමමින් සිය අලූත් අදහස ක‍්‍රියාත්මක කරන්නට සැලසුම් සකස් කළ ජීවන්ත මවගේ දැඩි විරෝධතාව මධ්‍යයේ වසන්ති විවාහ කරගෙන නිවසට කැන්දාගෙන ආවේය. ඔවුන්ගේ විවාහ උත්සවයට හෝ ජීවන්තගේ මව සහභාගි නොවූ අතර එදින ඇය නිවසින් පිටව ගියාය. සිය වැඩිමහල් පුතාගේ නිවසේ පදිංචියට ගිය ජීවන්තගේ මව වසන්ති කෙරෙහි දැඩි වෛරයෙන් පසු වූවාය. වසන්ති යනු දිනෙන් දින තම දරුවාව විනාශය වෙත ගෙන යන යකින්නක යැයි ඇය නිතරම පැවැසුවාය.

නිවසින් පිටව ගිය ජීවන්තගේ මව යළි නිවසට පැමිණියේ නැත. ඇය වැඩි දිනක් යන්නට කලියෙන් ම රෝගාතුර වන්නට වූයේ මානසික පීඩාව නිසාම වන්නට ඇත. වසන්තිගේ විවාහයෙන් වසරක් යන්නටත් කලියෙන් ජීවන්තගේ මව මිය ගියේ කිසිවකුත් බලාපෙරොත්තු නොවූ ලෙසිනි. මවගේ අවසන් කටයුතුවලට වසන්ති සහභාගි වූයේ ද නැත. එයට හේතු වූයේ පවුලේ සහෝදර සහෝදරියන්ගේ විවේචනයන් ඇය වෙත එල්ල වීමයි.

ජීවන්තගේ මවගේ චිතකයට ගිනි ඇවිළෙන අයුරු වසන්ති නිවසේ උඩුමහලේ සිටම බලාගෙන සිටියාය. කළු පැහැයට හා සුදු පැහැයට හුරු දුම් චිතකය මැදින් අහසට ඇදී යන අයුරු ඇය නිසොල්මන්ව බලා සිටියා ය. චිතකය වටා වූ සුදු රෙදි තැනින් තැන පිළිස්සෙමින් සියල්ල ගින්නෙන් වැසීයන අයුරු ඇය දිගටම බලා සිටියාය. මලානික වූ හිරු පරිසරයට මහා මූසල බවක් ඇති කරමින් ටිකින් ටික බැස යන අයුරු දුටු වසන්තිගේ සිත තුළ ඇති කළේ කැළඹිලි ස්වභාවයකි. ජීවන්තගේ මවගේ මරණයට වැරැුදිකරු තමාද යන සිතුවිල්ල වරින් වර ඇයගේ සිතට නැඟුණද ඇය එය පිළිගත්තේ ද නැත. අඩ අඳුර අතරින් චිතකයෙන් ඉහළට ගමන් කරන දුම්රොඩු හා ගිනි දලූ දෙස ඇය කල්පනාවකින් තොරව ඔහේ බලා සිටියා ය.

ඉහළ නැඟණු කළු දුම් වළාවක් තමා සිටි නිවස දෙසට පාවී එන අයුරු අරමුණකින් තොරව වසන්ති බලා සිටියා ය. පාවී ආ දුම් වළාව උඩු මහලට ආසන්න අහසේ නතරවිය. එක් වනම ඒ තුළින් ජීවන්තගේ මව සිනාසෙන අයුරු ඇය දුටුවා ය. ඒ සමඟ වසන්ති දැඩි ලෙස තිගැස්සුණා ය. මෙය තමාගේ සිතේ ඇති නොසන්සුන්භාවය විය හැකියි සිතූ ඇය යළි ඒ දෙස බැලූවා ය. එවර ජීවන්තගේ මවගේ මුහුණ දළ දෙකක් සහිත යකකුගේ රුවකට පරිවර්තනය වන අයුරු ඇය හොඳාකාරවම දුටුවා ය. වළාකුළෙන් ඉදිරියට පැමිණි අත් දෙකක් ඇයව ඩැහැගැනීමට මෙන් දත් විළිස්සාගෙන වේගයෙන් ඇය වෙත එන්නට විය. අධික ලෙස බිය වූ වසන්ති කෑ ගසාගෙන බැල්කනියෙන් සාලයට පැන දොර වසා ගත්තා ය.

වසන්තිට මතක එපමණකි. නිවසේ සේවය කළ කාන්තාව තේ කෝප්පයක් රැුගෙන ඉහළ මහලට පැමිණෙන විට වසන්ති බැල්කනියට පිවිසෙන දොර ආසන්නයේ සිහිසුන්ව ඇද වැටී සිටියා ය. ටික වේලාවකින් පියවි සිහියට පැමිණි ඇය දැඩි ලෙස තැතිගෙන සිටියා ය. ඇයගේ මුළු ශරීරයම සුදුමැලිවී ගොසිනි. කෙසේ හෝ ජීවන්ත නිවසට පැමිණියේ ය. නිවසේ සිටි කාන්තාව දුරකතනයෙන් සිදුවූ සියල්ල පැවැසූ හෙයින් ඔහු පැමිණි විගස ගියේ ඔහුගේ කාමරයටය. වසන්ති ඇඳේ නිදාගෙන සිටියා ය. ඔහු ඇයට කතා කළේ ය. ඒ හඬට වසන්ති ඇහැරී ඔහු දෙස බැලූ ආකාරයට ජීවන්තව මොහොතකට සලිත විය. මෙයට පෙර කිසිම දිනක ඔහුට ඇය එසේ ඔරවා බලා නැත.

”උඹ දැන්ද ගෙදර එන්නේ….”

”දැනුයි වසන්ති කනත්තේ වැඩ ඉවර වුණේ”

වසන්ති කිසි දිනක තමාට මෙලෙස කතා කර නැත. ඇය තුළ කුමක් හෝ වෙනසක් සිදු වී ඇත. මෙය කුමක් ද? ඔහු දැඩි ගැටලූවකට මැදිවිය.

”උඹගේ ගෑනි මරාගත්ත අම්මගේ මිනියේ වැඩද?”

ජීවන්ත ගල් ගැසී ගියේ ය.

”ගිහින් කාලා නිදා ගනින්” යැයි පැවැසූ ඇය පැත්තකට හැරී නිදා ගත්තා ය. ජීවන්ත සාලයේ සෙටියට වී සිදුවී ඇත්තේ කුමක්දැයි කියා කල්පනා කරන්නට විය.

පසුදා සුපුරුදු ලෙස ඇහැරුණු වසන්ති තුළ කිසිදු වෙනසක් පැවැතියේ නැත. ඇය වෙනදා මෙන්ම තම වැඩකටයුතු සිදු කළාය. දින කිහිපයක් ගතවන තුරු ඇය හොඳින් කල්ගත කළාය. එදින ඇයගේ රූගත කිරීමක් පැවැතුණේ කොළඹින් පිට ප‍්‍රදේශයක ය. රූගත කිරීම්වලින් පසු වසන්ති සෙසු නළු නිළියන් සමඟ රූගත කිරීම් පැවැති නිවස ඉදිරිපිට සිටියාය. ජීවන්ත ඇයව රැුගෙන ඒම සඳහා එදින තම කාරයෙන් එම ස්ථානයට පැමිණියේය. කාරය නවතා ජීවන්ත වාහනයෙන් බිමට බැස්සේ ය. සිදුවූයේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ දෙයකි. වසන්ති ජීවන්තට අසභ්‍ය ලෙස බැණවදිමින් ඉදිරියට ආවාය.

”…… තෝ අදත් ආවද අර …… ගෑනිව එක්කන් යන්න. තොට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද…. රටේම මිනිස්සු එක්ක බුදියගත්ත එකියක් එක්ක නාඩගම් නටන්න”

සිදුවන්නේ කුමක් ද කියා ජීවන්තට තියා රූගතකිරීම්වලට සහභාගී වූ කිසිවකුටවත් සිතාගත නොහැකි විය. විනාඩි කිහිපයක් පැවැති මෙම අඩදඹරය කෙළවර වූයේ දෙදෙනා අතර ගුටිබැට හුවමාරුවකින් අනතුරුවය. ජීවන්ත වසන්තිව එහිම දමා යළි පැමිණියේ යළි අවුල් වූ මනසිනි. ජීවන්ත එම ස්ථානයෙන් පිට වී ස්වල්ප මොහොතකින් ඇය පියවි තත්ත්වයට පත් විය. සිදු වූ කිසිවක් ඇයට මතක නැත. හවස ඇයව නිවසට ගෙනවිත් ඇරලවූයේ රූගත කිරීම් සිදු කළ කණ්ඩායමේ සාමාජිකයන් ම ය.

වරින් වර වසන්තිට මෙම සිදුවීමට මැදිවන්නට සිදු විය. මේ හරහා ඇය බොහෝ සෙයින් තම වෘත්තිය තුළින් ඈත් වන්නට වූ අතර පවුල් සබඳතාව ද ටිකින් ටික දුරස් වන්නට විය. සමාජය ඉදිරියේදී ජීවන්ත සමඟ එකට සිටින අවස්ථාවලදී පමණක් මෙම අවුල්කාරී ස්වභාවය වසන්ති තුළ ඇතිවීම මත ඇයගේ චරිතය ඇය විසින්ම ප‍්‍රසිද්ධියේ විවේචනය කරගැනීම හරහා ඇයට පිස්සු සෑදී ඇතැයි යන ප‍්‍රවෘත්තිය ක්ෂේත‍්‍රය තුළ වේගයෙන් පැතිර ගියේ ය.

තම මවගේ ආත්මය විසින් වසන්තිව පාලනය කරන බව අවබෝධ කරගත් ජීවන්ත විවිධ ආරක්ෂා කටයුතු සිදුකළත් එහි සිදුවන බිඳවැටීම් හරහා වරින් වර මෙම තත්ත්වය මතුවීමත් සමඟ ඔවුන්ගේ පවුල පීඩාවට පත්වීම නවතාලිය නොහැකි විය.

ජීවත්ව සිටියදී තම ලේලියගෙන් ගත නොහැකි වූ පලිය මරණයෙන් පසු හෝ ඉටුකර ගැනීමට නැන්දම්මාට හැකි වූයේ එලෙසය.

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close