Kala yathra

ක්‍රිස්ටිනා ( සසර ගමනක ඇරඹුම 7 )

සත්ථාගේ ආත්මයෙන් පසු වසර අටසිය අසූ නමයකට පසු එනම් ක්‍රිස්තු වර්ෂ 1887 දී පවරා යලි ඉපදේ. ඒ ක්‍රිස්ටිනා රණදේව ලෙසයි. රත්නපුර ප්‍රදේශයට ආශ්‍රිතව ඉතාම විශාල වශයෙන් ඉඩම් වැවිලි හිමි රණදේව නම් රදල පවුලක පස්වැනියා ලෙස උපත ලබන ක්‍රිස්ටිනා ට සොයුරු සොයුරියන් අට දෙනෙකු විය

ඉතාම ඉහල සමාජ මට්ටමක පවුල් පැලැන්තියක දැරියක් වන ක්‍රිස්ටිනා ගේ පවුලේ සියලු සාමාජිකයන් උගත් බුද්ධිමත් රටේ වගකිවයුතු නිලතල දැරුවන්ය.

රත්නපුර ප්‍රදේශයේ සිට කළුතර ප්‍රදේශය දක්වාම විසිරී පැවති රබර් හා තේ ඉඩම් බහුල වශයෙන් ක්‍රිස්ටිනාගේ පියා සතු විය. මෙහිදී වත්මන් කිරිඇල්ල ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රිස්ටිනාගේ පවුල සතුව විශාල රබර් භූමියක් පැවතිණි.

යෞවනයට පිවිසෙන ක්‍රිස්ටිනා සිය රබර් වතු හරහා ඇවිද යෑමට ොහෝ ප්‍රිය කරයි . දිනක් ක්‍රිස්ටිනා මෙසේ ඇවිද යනවිට රබර් ගස් අතරින් බාල්දියක් ඔසවාගෙන හොර රහසේ
එහා මෙහා දිව යන තරුණයෙකු දකියි. ක්‍රිස්ටිනා ඔහුට ද හොරා ඔහුගේ පසුපස යයි.
ක්‍රිස්ටිනාට අවශ්‍ය වන්නේමෙම තරුණයා සිදු කරන්නේ කුමක්දැයි දැන ගන්නයි .

තරුණයා ලුහුබැඳ යන ්‍රිස්ටිනා ඔහු මෙල්ල කර නවතයි. ඔහු රැගෙන යන්නේ කුමක්දැයි විමසාලන ක්‍රිස්ටිනා අධික තරහකින් දැවෙන්නට ගන්නේ මේ තම පියාගේ වත්තෙන් කිරි සොරකමේ යෙදෙන්නෙකු බව දැනගත් විට ය. සොරකම හමුවේ මුගුරු පහර කෑ නාගයෙකු සේ කිපෙන ක්‍රිස්ටිනා යළිත් වෙඩරු පිඩක් සේ මොහොතකින් උණුවෙන ලය ඇත්තී දෑසට කඳුළු නගන්නීය.

ඒ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු තම වතු මායිමේ ඉතාම දිළිඳු පැළක තරුණයකු බවත් මෙම සොරකම නිසා තම පවුලේ අය බඩ ගින්දර නිවා ගන්නා බවටත් බැගෑපත් වන්නේය

ඔහුගේ අසරණකම හමුවේ අනුකම්පා ව හිත උපදන ක්‍රිස්ටිනා එතැන්සිට ඔහුට උදව් උපකාර කිරීමට පටන් ගනි.

ඔහු නමින් බල්ලක වේ. මේ නම ද ඔහුට ගැමියන් විසින් පටබැඳුණු නමක් වන අතර දෙමාපියන් විසින් නියමාකාර නමක් තබන්නට තරම් ඔහුගේ පවුල සමාජය විසින් පිළිගනු ලබන පවුලක් හෝ උගත්කමක් දැනුවත් බවක් ඇති පවුලක් නොවේ.

ඉතාම ධනවත් රදල පවුලක දියණියක වූ ්‍රිස්ටිනා තම දෙමාපියන්ගේ අදහස් හොඳින් හඳුනයි. කිසිවිටෙක බල්ලකට තමා මෙසේ උදව් උපකාර කිරීම රදල ගතිය ඇති තම දෙමාපියන් කිසිසේත් අනුමත නොකරන බවත් ඊට ඉඩ ලබා නොදෙන බවත් දැන සිටි ක්‍රිස්ටිනා මේ සියලු උදව් උපකාර කරන ලද්දේ තම පවුලේ අයට රහසිගතවය.

මෙසේ ටික කලක් ්‍රිස්ටිනාගේ උදව් උපකාර ලබන බල්ලකට මෙය ඉතා හොඳ ඉල්ලමක් ලෙස දැනුනි. එතැන් පටන් බල්ලක ක්‍රිස්ටිනාගේ හදවත සහ සිතුවිලි සොරාගන්නට මාන බලයි.

කලක් ඇවෑමෙන් අනුකම්පාව ආදරයක් බවට පරිවර්තනය වේ . දැන් ඇරඹෙන්නේ අතීත කර්මයේ ආරම්භයයි. දිගු කලක් යන්නට පෙර

ක්‍රිස්ටිනාගේ මේ අසම්මත පෙම් පළහිලව්ව ඇගේ පියා ගේ සවනට වැටේ. සාම්ප්‍රදායික විරුද්ධත්වය පැන නැගී එන අතර පවුලේ විරුද්ධත්වය මැද ඇය සිය ආදරය රැකගනිමින් කාලය ගෙවී යයි. මේ අතරතුර ක්‍රිස්ටිනා බල්ලකව ඔහුගේ ජීවිතයේ සෑම පැත්තකින්ම මිනිසෙකු බවට පරිවර්තනය කරමින් සිටි.

ක්‍රිස්ටිනා සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා දුම්රියෙන් නිතර නිතර කොළඹ පැමිණෙන බැවින් ඇය සිය පෙම්වතා ද කොළඹට රැගෙන එයි.

ඇය ඔහුව යම් යම් ව්‍යාපාර කටයුතු සඳහා
නැඹුරු කරන්නේ ද ඔහුගේ සමාජ තත්වය උසස් කරවීම පිණිස ය. ඒ තුළින් කවදාහෝ දවසක තමා පියාගේ සහ ඥාතීන්ගේ ආශිර්වාදය තුළ බල්ලක හා විවාහ වන්නට ක්‍රිස්ටිනා හීන දකින්නී ය.

මේ අතරතුර දියණියගේ පෙම් පළහිලව්ව කිරි හොරෙකු ්‍යාපාරිකයෙකු දක්වා ගමන් කරවීමට තරම් දුර දිග ගිය බව දැනගන්නා රදළ රණදේව හාමු තදින් උරණ වේ.

හොඳින් හෝ නරකින් මෙම අසම්මත සම්බන්ධය වහා නතර කරන බව ට රණදේව හාමු බංගලාව ගුගුරවාලයි.

ආදරය වෙනුවෙන් සිය දෙමාපියන් අත්හරින්නට ක්‍රිස්ටිනා තීරණය කරන්නේ තම පියා සිය රදළ මානය රැකගැනීම පිණිස සිතූ දේ කරනා තද හිත් ඇත්තෙකු බව අත්දැකීමෙන්ම දන්නා නිසාවෙනි. නුදුරු දිනයකදීම පියා බල්ලකගේ ජීවිතයට අනතුරක් කරතැයි ක්‍රිස්ටිනා සැක උපද වන්නීය

මේ හේතුව නිසා ක්‍රිස්ටිනා සිය වංශක්කාර රදල දිවියද සුඛෝපබෝගී බංගලාවේ දිවියද අතහැර ආදරය වෙනුවෙන් බල්ලක සමග හොර රහසේ ගමෙන් පිට වන්නට තීරණය කරයි .

දෙදෙනා විසින් කතිකා කරගත් පරිදි ඉර අවරට යන කොඩිප්පිලි කන්දේ දී මුණගැසීමට තීරණය කරන්නේ ඒ උදෙසාය.

එහෙත් බල්ලක රණදේව හාමුගේ වියරු වැටුන තුවක්කු බටයත් රණදේව හාමුත් හොඳින් හඳුනන බැවින් තමා කොහේ ක්‍රිස්ටිනා සමග සැඟවුණත් විසුමක් නොවන බව කල්පනාකොට මෙතෙක් හෝ තමන් ලබාගත් දියුණුව රැක ගැනීම ආදරය රැැකගැනීමට වඩා යෙහෙකැයි කල්පනා කරයි. ආදරයට වඩා ලැබූූ සම්පත්ති වලට ලොබ බඳින බල්ලක කළ යුත්තේ ක්‍රිිස්ටිිිනා අත්හැරීම බව තනියම තීන්දු කරයි.

මේ කිසිවක් නොදන්නා ඇය සිය උත්තරීතර වූ ආදරය දෙමාපිය සහෝදර ඥාති කුලගොත් සියල්ලටම වඩා වටිනා බව තීරණය කොට කතිකාකරගත් පරිදි බංගලාවට සමුදී කොඩිප්පිලි කන්ද කරා පැමිණෙන්නීය.

හෝරාවෙන් හෝරාව ගෙවී ගියද බල්ලක නොපැමිණේ.

ප්‍රමාද වී හෝ බල්ලක පැමිණෙතැයි බලා හිඳින ක්‍රිස්ටිනා කඳු මුදුනේ රැය පහන් වන තුරුම බලා සිටියද බල්ලක නොපැමිණේ.

ක්‍රිස්ටිනා ට යළි හැරී දෙමාපියන් වෙත යෑමට ද නොහැකිය. ඇය සිය ජීවිතය හැරදා යන්නට තීරණය කරයි. ඒ සඳහා තවත් දුරක් ඇවිද යා යුතු නැතැයි සිතන ඕ ක්ෂනිකවම කන්දෙන් පහලට පනින්නීය.

අවාසනාවක මහත ඇය ප්‍රපාතයට ඇද වැටෙත්ම පර්වතයෙන් ඉදිරියට නෙරා තිබූ කටුපඳුරු විසින් ඇගේ බක්‍රම් ගවුමෙන්
ඈ බදා අල්ලන්නේය.

නිවා දමන්නට තිබුණු මහා ව්‍යසනයක් ස්වභාදහමේ කටු පඳුර විසින් මෙය මෙතැනින් නොනිමා තව දැල්විය යුතු යැයි තීරණය කර ඇත.

මේ අතරතුර සුදු ජාතිකයන් කීප දෙනෙකු ද සමඟ තරුණයෙකු පරිසර ගවේෂණයක යෙදෙමින් සිටියි. කොඩිප්පිලි කන්දේ පහළ බෑවුමේ ගමනේ යෙදෙන ඔවුන්ට සිය දුරදක්නය තුලින් සිහිසුන්ව කටු පඳුරේ වෙලී පහළට එල්ලෙමින් සිටින ක්‍රිස්ටිනා දකින්නට ලැබේ.

ඉතා දුෂ්කර ගමන් මාර්ගයක් ඔස්සේ ගැමියන් කිහිප දෙනෙකු ද එකතු කරගනිමින් තරුණයා විසින් ක්‍රිස්ටිනා රැඳී සිටින කටු පඳුර තුළින් නිසල වූ සිරුර කඹ ආධාරයෙන් කඳු මුදුන ට ගෙන එයි.

ප්‍රතිකාරවලින් පසුව ඇය යලි පියවි සිහිය ලබන්නීය.

මෙම තරුණයා සුදු ජාතිකයින්ගේ ඇසුර ඇති වංශක්කාර පවුලක් වූ වාසලමුදලි පවුලේ ඩඩ්ලි වාසලමුදලි නම් විය.

ක්‍රිස්ටිනාගේ වංහුං වගතුග අසා දැනගත් ඩඩ්ලි ඇය යළි සිය රණදේව පවුලටම භාර කරයි.

ක්‍රිස්ටිනා ගේ ආදරයේ පවිත්‍රත්වය ත් බල්ලකගේ වංචාවත් මැනවින් අවබෝධ කරගන්නා ඩඩ්ලි බිඳුනු ක්‍රිස්ටිනා ගේ හිත හදන්නට නිතර නිතර රණදේව බංගලාවට
යාමට ඒමට පටන් ගනී.

අවසානයේ ඩඩ්ලිට තම වෑයම සාර්ථක කරගන්නට හැකියාව ලැබෙන්නේ ක්‍රිස්ටිනා ද බල්ලක ව අමතක කොට සිත තර කරගන්නා බැවිනි.

කුලහීන ය කු සමග පැටලුනු දියණිය බැලීමට නිතර නිතර බංගලාවට යන එන ඩඩ්ලි ගැන රණදේව හාමු ගේ විරුද්ධත්වයක් ද නොවිණි

ඒ ඔහු සෑම අතින්ම තම රදළ පවුලට පෑහෙන්නකු නිසාය.

ඩඩ්ලි, රණදේව පවුලේ ගෞරවයට හා ආදරයට පාත්‍රවන්නේ කිසිවෙකුට මඩින්නට නොහැකි වූ බල්ලක වෙනුවෙන් ක්‍රිස්ටිනා ගේ හිතේ තිබූ අසම්මත හිතුවක්කාර ආදරය මඩින්නට සමතකු වූ නිසාය.

එක් අතකට මෙය ආදරය මැඩීමක් නොව බල්ලක හා ඔහුගේ අරමුණ පිලිබද යථා තත්වය අවබෝධ කර දීමකි.

මන්ද යත් ක්‍රිස්ටිනා අමතක කරන ලද්දේ බල්ලක මිස තම ආදරය නොවන බව වැටහෙන්නේ ඇය එතැන් පටන් තම ජීවිතය සුදු ඇඳුමට පමණක් සීමා කිරීම නිසාය

සුදු ඇඳුම යනු සිල්වත් බව හා ශෝක ජනක බව හුවා දක්වන්නකි. 18 වියැති නාඹර තරුණියක වූ ක්‍රිස්ටිනා සිල්වත් බව උදෙසා පිරුවට පෙර වූ බවක් නොපෙනෙන අතර ඇය එතැන් පටන් ස්වාමියා මිය ගිය ළඳක සේ ස්වේත වර්ණය පමණක් සිය ශරීරය වැසීමට භාවිතා කරන්නේ ඇගේ සිත තුළ සිය ආදරය පිළිබඳ තිබූ වචනයෙන් විස්තර කළ නොහැකි වු ශෝකය නිසා විය යුතුමය.

කාලයක් යද්දි ඩඩ්ලි රණදේව පවුලේ ම ඉතා සමීප හිතවතකු බවට පත්වේ. මේ ඇසුර අවසාන වන්නේ ඩඩ්ලි සියලුදෙනාගේම ආශිර්වාදය මැද ක්‍රිස්ටිනා විවාහ කරගැනීමෙනි.

දැන් ඩඩ්ලි, රණදේව පවුලේ බෑණනුවන් ය.

එහෙත් ඇය තවමත් සැරසෙන්නේ ශ්වේත වර්ණයෙන් ය. එය මියගිය ඇගේ සෙනෙහස පිළිබඳ ශෝකය කොයිතාක් දුරකට ඇගේ හද පතුලට ම කිඳාබැස තිබුණාදැයි මනාවට සනාථ කරවයි. මන්දයත් සතුටින් සිටින සෑම යුවතියක්ම නා නා වර්ණ , නා නා රෙදිපිළි , නා නා සැරසිලි කරන්නට ප්‍රිය කරයි.

ඩඩ්ලි සමඟ විවාහ වන ක්‍රිස්ටිනා කළුතර ප්‍රදේශයට ආසන්නයේ පැවැති ඩඩ්ලිගේ වාසල මුදලි බංගලාවට පදිංචියට පැමිණේ.
පවුලේ එකම දරුවා වන්නේ ඩඩ්ලිය. ඒ වනවිට පියාද අහිමි වී ඇත. මව රෝගාතුරව වයෝවෘද්ධව සිටි අතර මෙහෙකරුවන් විශාල පිරිසක් සහිතව ඉතා සුඛෝපභෝගී දිවියක් එතැනින් ඉදිරියට ද ක්‍රිස්ටිනාට ට හිමි විය .

ඩඩ්ලි සිය මිනින්දෝරු වෘත්තියට අමතරව ව්‍යාපාරයකද නියැළුණි . ඒ කාලය වන විට ලංකාවේ මී පැණි සඳහා දේශ දේශාන්තරවල ඉතා හොඳ ඉල්ලුමක් පැවති කාලයයි.

ඩඩ්ලි ලංකාව පුරා මී පැණි එකතු කොට ඒවා අපනයනය කරයි. වෘත්තීය ට සහ ව්‍යාපාරයට පමණක් සිය මනස යොමුකරවන ඩඩ්ලිට එම කටයුතු සඳහා ලංකාව පුරා මාස ගණන් එක දිගට සංචාරය කරන්නට සිදුවෙන අතර ක්‍රිස්තිනා නිවසේ තනිවේ.

ඩඩ්ලිට ව්‍යාපාර හා රස්සාව මිස ක්‍රිස්ටිනා ගැන මතක් වන්නේ නැති තරම්ය. නිවසේ තනිවන ඇය ඩඩ්ලි ගේ ආදරය ද නොලබන බැවින් මියගිය ආදරේ ශෝකය ද හදවතේ දරාගෙන හිඳින්නට බැරිතැන ආගම දහමින් හිතට සැනසුමක් සොයන්නීය.

ඇය වැඩිපුර කාලයක් ගෙවා දමන්නටත් ලොකු මානසික සැනසීමක් ලබන්නටත් කළුතර ප්‍රදේශයටම ආශ්‍රිත පන්සලක බෝ මළුවක් හුරු පුරුදු තැනක් බවට පත්කර ගත්තාය.

මේ අතරතුර බල්ලක ඇයගේ විවාහයෙන් පසු ඇය පිළිබඳව තොරතුරු සොයන්නේ යළිත් ඇයගෙන් වාසි ප්‍රයෝජන ලබන අටියෙනි.

රණදේව හාමු සිය කළුතරට ආසන්න විශාල වතු කීපයක් ක්‍රිස්ටිනා ට දෑවැද්ද ලෙස දුන්බව සොයා ගනු ලබන බල්ලක එයින් ලාභ ප්‍රයෝජන ලබන්නට නම් කෙසේ හෝ ක්‍රිස්ටිනා ගැන තොරතුරු සොයා ගත යුතුයැයි සිතා ක්‍රිස්ටිනා ගැන තොරතුරු සොයයි. අවසන ඇය සොයා ගන්නා බල්ලක ඇගේ පන්සල් ගමන ඉලක්ක කොටගනිමින් සැලසුමක් නිර්මාණය කරයි.

ඒ එම පන්සලේ දී අහඹුවක් සේ රඟපාමින් ඔහු ක්‍රිස්ටිනා ගේ නෙත ගැටෙයි. මෙතෙක් කල් ඇයව සෙවූ බවත් නමුත් ඇය නොලැබුන බවත් හඟවන ඔහු තවමත් තමන් ඇයට ආදරය කරන බව නොදන්වා දන්වයි . එයින් පසුව ක්‍රිස්ටිනා සමග කතාබහක යෙදෙන ඔහු ඇය නිතර පන්සල් එන දින පිළිබඳව දැන ගන්නා අතර එතනින් එහාට පන්සල් එන සෑම දිනයකම බල්ලක පන්සලේදී ඇය මුණ ගැසේ.

බල්ලකව අමතක කර හිත හදා ගත්තා ද ක්‍රිස්ටිනා ගේ යටිහිතේ තම ප්‍රේමය පැලපදියම් ව තිබීම හේතුවෙන් ද ඩඩ්ලි වෙතින් බලාපොරොත්තු වූ ආකාරයෙන් ආදරය සෙනෙහස නොලැබීම හේතුවෙන් ද ක්‍රිස්ටිනාගේ පෑරුනු හිතට මේ වහින පොද වැස්ස දැනෙන්නට විය.

ඩඩ්ලි වෙතින් කිසිම ආකාරයක නීතිරීති පැනවීමත් ද නොතිබුණු නැන්දණියගේ ද අඩන්තේට්ටම්වලට ලක් නොවුණු ආදරය සෙනෙහස පමණක් අහිමි වූ ක්‍රිස්ටිනාගේ නිදහස් හිත පොද වැස්සට කුඩ ඉහිළුවේ නැත.

දිනෙන් දින මේ පොද වැස්ස මුරුගසන් වරුසාව බවට පත්වෙමින් පැවතිනි .

ඩඩ්ලිද මාස ගණන් පැමිණියේ නැති බැවින් ක්‍රිස්ටිනා ට කාගේ තහනමක්ද?

මුරුගසං වරුසාව කළුතරට පමණක් සීමා නොවිණ ඒ මහ වැස්ස හිතෙන හිතෙන දිශා වලට ඇද වැටෙමින් ක්‍රිස්ටිනා තව තවත් බල්ලක ගේ අඳුරු වලා අතර සිරවිණි.

දිනක් බල්ලක සමග හිතුමතයේ ඇවිදින්නට ගිය ක්‍රිස්ටිනා ට සිදුවූයේ නොසිතූ අකරතැබ්බියකට මුහුණ දෙන්නටය. ඒ ඔවුන් ගමන්ගත් දුම්රිය අනතුරකට ලක්විය. ක්‍රිස්ටිනා රෝහල්ගත කෙරුණි . පණිවිඩය වාසලමුදලි බංගලාවට ලැබෙන විට ඩඩ්ලි බංගලාවෙ නොසිටියද පණිවිඩය ලද සැනින් ඩඩ්ලි කොළඹ පැමිණියේය. එහෙත් සේවකයන් වෙතින් දැනගත් පරිදි ක්‍රිස්ටිනා ගියේ කළුතර පන්සලට නම් ඇය කොළඹ දී අනතුරට පත් වන්නේ කෙසේද? ……

ඩඩ්ලි හිතේ තිබූ පැනයටඇගෙන් පිළිතුරක් ලැබුණද ඩඩ්ලි ඒ පිළිබඳව සෑහීමකට පත්වූයේ නැත. එතැන් සිට ඩඩ්ලි ක්‍රිස්ටිනා ගැන ඇගේ ගමන් බිමන් ගැන සොයන්නට පටන් ගත්තේය. ඒ ඇයට නොදැනෙන්නට ය

මේ වන විට හිටි හැටියේ ඇදහැළුණු මුරුගසං වරුසාවට වසර 6ක පමණ දීර්ඝ කාලයක් ගතවී තිබිණි. ඩඩ්ලි නැති අතරතුර බල්ලක සිය පෙම්වතිය සොයා වාසල මුදලි බංගලාවට ද යන්නට එන්නට පටන්ගෙන තිබුණි. මෙයද ඩඩ්ලිගේ කන වැකී තිබිණි. දිනක් ක්‍රිස්ටිනා බලාපොරොත්තු රහිත දිනයක හදිසියේම ඩඩ්ලි රාජකාරි නවතා බංගලාවට එන්නෙ බංගලාවෙන් ලැබෙන ඔත්තුවකට අනුව ය.

එහිදී තම බිරිඳත් ඇගේ පෙර කල පෙම්වතා ත් කිසිදු බිය සැකය කින් තොරව විසිත්ත කාමරය මැද අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින් සිටිනු දකින ඩඩ්ලිට මෙතෙක් තමන් තුළ තිබූ සැකයද තමන්ට ලැබෙමින් තිබූ තොරතුරු ද නිවැරදි බව පසක් වූයෙන් ක්‍රිස්ටිනා පිළිබඳවද බල්ලක පිළිබඳවද ඇතිවූයේ ඉහවහා ගිය කේන්තියකි. ඒ රණදේව සේම ඩඩ්ලි ද සිය පවුල් පැලැන්තියට ගරු කළ බැවිනි. තම බංගලාවේ මුළුතැන්ගෙයට වත් නුසුදුසු එකෙකු මැද සාලයේ ගරු ගාම්භීරව වඩාහඳුවා ගෙන තම බිරිඳ සමග පෙම් කෙළින්නට බල්ලකට ඇති හයිය පිළිබඳව ඩඩ්ලිට ඉස්වැසුම් නැතිවිය.

ඇතිවූයේ ගැටුමකි. මෙය බල්ලකට අනපේක්ෂිත ගැටුමක් වුවද කොයි හරි මොහොතක මෙවැනි තත්ත්වයක් මතුවේ යැයි ඔහු සිතූ බැවින් ක්‍රිස්ටිනා මුණගැසෙන්නට එන සෑම දිනකම බල්ලක සිය ආරක්ෂාව පතා ඉන රඳවාගන්නා කිණිස්සක් විය.

ගැටුමට මැදි වූ බල්ලක ගේ අත කිණිස්ස වෙත දිවෙනු ක්‍රිස්ටිනා වත් නොදැක්කා ය. ගතවූයේ නිමේෂයකි . තියුණු කිණිස්සේ අඟල් හයක් ඩඩ්ලිගේ කුස පසාරු කළේය. අනපේක්ෂිත වු පහරින්. ඩඩ්ලි කපා හළ කෙසෙල් කඳක් සේ ඇද වැටෙද්දී බල්ලක ක්‍රිස්ටිනා ද රැගෙන පලා ගියේය……

ටික කාලයක් රටේ විවිධ ප්‍රදේශවල හැංගිමුත්තං කළ බල්ලක ඩඩ්ලි පවුලේ ගරුත්වය රැකගනු පිණිස එතැනින්ම නිහඬ වූ බැවින් හැංගිමුත්තං කෙළිය නවතා ක්‍රිස්ටිනාට පියාගෙන් උරුම වූ තේ වත්තක පැලක් අටවාගෙන පදිංචියට ආවේ ක්‍රිස්ටිනා ද සමගය.

උපන් දා සිට රදල පවුල්වල උෂ්ණය ලැබු ක්‍රිස්ටිනා ට බල්ලක ගේ පැලේ රස්නය දරාගත නොහැකි විය. සිනිඳු සේල ගතට වත් විල්ලුද යහන් රෑ නින්දට වත් නොතිබුනත් ක්‍රිස්ටිනා බල්ලකගේ සෙනෙහස පමාවී හෝ ලැබීම ගැන සතුටුවිය.

තට්ටු වැටුනු බක්‍රම් ගවුමෙන් චීත්තයටත් හැට්ටයට ත් මාරු උන ක්‍රිස්ටිනා ගේ සියුමැලි සිරුර ක්‍රිස්ටිනා ගැන හැඩුවද ඇය ඒ ගැන හඬා නොවැටුණාය.

සිය දියණිය කළ මේ නොහොබිනාකම හේතුවෙන් රණදේව හාමු කොතරම් උරණ වී දැයි කිවහොත් ඒ ආසන්නයේ තිබූ තමන්ගේ අනිත් සියලු වතුපිටිද ඔහු අතහැර දමන්නේ ඒ නිසාවෙනි.

මුරුගසං වරුසාව පොද වැස්සක් තරමට තුරැවල් වෙමින් දිනෙන් දින ඉදිරි දොරෙන් පැල දොර කරා සේන්දු වෙමින් තිබිණි.
ඒවන විට ක්‍රිස්ටිනා බල්ලකගේ දරුවන් දෙදෙනකුගේ ද මව විය.

පූර්වාත්මයේ තම ප්‍රාර්ථනාවක් මෙසේ තමන් පසුපස ආත්ම ගණනාවක් පුරා පැමිණෙන බව හාංකවිසියක්වත් නොදත් ක්‍රිස්ටිනා පෙරදී සේම ජීවිතයේ ඉතිරි කාලය ඉතාමත් දුක්ඛ දායක ලෙස ගතකරන අතර වයස අවුරුදු අසූ අටේදී එම භවයෙන් ද සමුගනී.

විල්ලුද පලස් මත ගෙවන්නට තිබූ ජීවිතයක් පැලක් තුල පොළොවට පස් වී දිරා යයි.

පෙර ආත්මභාවයන් තුළදී සේම ක්‍රිස්ටිනා සිය ” ආදරය ” නම් දුර්වලතාවය තුළ සිය ජීවිතය මෙසේ අවසන් කරන්නීය.

මෙහි වැදගත්ම දෙය එවකට ක්‍රිස්ටිනා ගේ පියා වන රණදේව හාමු වර්තමාන භවය තුළ ද මාගේ පියා බවට පත්ව ඇත.

විවාහයෙන් පසු දෑවැදි ලෙස වර්තමානයේ ලබන ඉඩකඩම් සියල්ල විකුණා තේ හෝ රබර් ඉඩම් මිලදී ගන්නා ලෙස වර්තමාන පියා එකල බල කළ බව සිහියට නැගෙද්දි ඔහු ඒ ඉල්ලා සිටියේ දියණිය හේතුවෙන් අත්හැරදැමූ තේ රබර් වගාවන්වල අයිතිය නොවෙදැයි අද මට සිතේ…………..

ශාස්ත‍්‍රවේදිණි
නදිකා චමාලි පනාගොඩ

Blog Comments

මගේ ජීවිතේට සමහර තැන් මට එහෙම දැනෙනවා කොහොමද ඒක හොයාගන්නේ

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close