නගුලේෂ්වරම් - නන්දිකඩාල් හිදි ශිව ලිංගය බිම තැබීම
පහුගිය දවසක මම මේ රූපය දැම්මම ගොඩක් දරුවන් මේකට සම්බන්ධ කතාව කියන්න කියලා ඉල්ලීමක් කරලා තිබ්බා…
ඒ කතාව සරලව කියන්නම් රාවණ රජුට අවශ්‍ය වෙනවා රාවණාගේ රාජ්‍යය නැතහොත් හෙළබිම කිසිදා විනාශ කළ නොහැකි ලෙස වරයක් ශිව දෙවියන්ගෙන් ලබා ගන්න . අපි කොහොමත් දන්නවනේ රාවණ රජු කියන්නේ තමන්ගේ බලයන් වර්ධනය කරගන්න දෙවියන් මුල් කරගෙන විශේෂිත ධ්‍යාන වඩපු කෙනෙක් කියලා …
අන්න ඒ නිසා රාවණ රජු ශිව දෙවියන්ගේ වාසභවන වෙච්ච කෛයිලාෂකූඨයට ගිහින් ශිව දෙවියන්ට ඒ වරය නොදී බැරි තරමටම ශිව දෙවියන් වෙනුවෙන් උග්‍ර ධ්‍යානයක් වඩනවා. අවසානයේ ශිව දෙවියන් වරය දෙන්න පොරොන්දු වෙනවා එක කොන්දේසියක් මත….
මේක ගැන කතා කීපයක් තියෙනවා . මම මේ කතා දෙකම කියලා කොටස කියන්නම් ..
කොන්දේසිය තමයි ශිව දෙවියන් දෙන ආත්ම ලින්ගය බිම නොතබා ලංකා භූමියට රැගෙන යෑම යි . යම් හෙයකින් ආත්ම ලිංගය පොළොවේ තැබුවහොත් කිසිදා සෙලවිය නොහැකි ලෙස තබන තැනට සවි වෙන බවත් පැවසුවා.
අනෙක් කතාව තමයි . ශිව දෙවියන් දෙන ආත්ම ලිංගය රැගෙන ඒ දවස්වල හෙල පොළොව වටා ඉදිකරලා තිබුණු පංච ඊශ්වරම් වෙත මා ගමනින් යා යුතුයි කියන එක .. සරලවම කිව්වොත් ශිව ලිංගය රැගෙන ලංකාව වටා යා යුතුයි කියන එක…
මම මේක මම තවත් කරුණු දෙකක් කියලා යන්නම්… ඈත අතීතයේදී මතයක් තිබිලා තියෙනවා එකවර වන්දනා කරන කෙනෙක්ට තුන් ලෝකය දිනන්න තරම් බලයක් ලැබෙනවා කියන එක…. මෙතනදි තුන් ලෝකය කිව්වේ අපි දන්න සුර අසුර මනුස්ස ලෝක නොවෙන්න පුළුවන් … ලංකාවෙම තිබ්බ කොටස් තුනක් වෙන්නත් පුළුවන්…. කොහොමහරි විජය රජු ලංකාවේ පාලකයා බවට පත්වුණාට පස්සේ ඊශ්වරන් වලට කිය බව ඉතිහාසයේ සඳහන් වෙනවා … ඒ වගේම තිස් වසරක යුද්ධයට මුල් වෙච්ච කෙනෙක් ලංකාව වටා මේ තැන්වලට ගිහින් පුද පූජා කරපු බවටත් කතාවක් අහලා තියෙනවා.
කොහොම හරි රාවණ රජු මේකට එකඟ වෙලා පංච ඊශ්වරම් නැතිනම් ලංකාව වටා තැනින් තැන හදලා තිබ්බ සූර්ය දේවොල් පහ ( මම මේක ගැන වෙනම ලිපියක් ලියලා තියෙනවා ) වෙත ගමන්කිරීම ආරම්භ කරනවා. කොහොමහරි ගමන අවසන් වෙන්න තියෙන්නේ නගුලේෂ්වරම් සූර්ය දෙවොලේදි. එහෙමත් නැතිනම් ලංකාවට එන විට මෙන්න මෙතනදි තමයි ඔය කියපු සිද්ධිය වෙන්නේ….
කොහොමහරි සාමාන්‍යයෙන් දන්න දෙයක් නේ අසුරයෙක් යම් බලයක් දිනා ගන්න උත්සාහ කළොත් ඒක නවත්තන්නෙ කොහොමද කියලා සාකච්ඡා කරන්න සුරයන්ගේ සභාව රැස් වෙනවා කියලා …. මේ කාරණාව සම්බන්ධයෙනුත් එහෙම රැස්වෙනවා . ඉතින් වරය දෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ මහ දෙවියන් … ඒ පොරොන්දුව කඩන්න මහා දෙවියන් එකඟ වෙන්නේ නැහැ ..
මේක නවත්තන වගකීම ගණදෙවියන් ගන්නවා . ඊට පස්සේ ඝන දෙවියෝ කුඩා පිරිමි දරුවෙක්ගේ වේෂයක් මවාගෙන රාවණ රජු එන මඟට එනවා . දැන් කොහොම හරි දෙවොල පේන මානයේ ඉන්නේ … ඒ කියන්නේ නන්දිකඩාල් වල ඇවිල්ලා රාවණා රජුට කියනවා ඔබ යන්නේ ශිව දෙවියන් දකින්න නේද ඔහොම යන එක සුදුසු නෑනේ නාලා පවිත්‍ර වෙලා යන්න කියලා … මෙතනදිත් කතා දෙකක් තියෙනවා . දෙවෙනි කතාව තමයි සොබාදහමේ බලය උපයෝගී කරගෙන ගණ දෙවියෝ රාවණ දෙවියන්ගේ බඩට වතුර පිරෙව්වා කියන එක … ඒ ටික අයින් කරගන්න නම් ( ශරීර කෘත්‍යයක් කර ගන්න අවශ්‍යතාවයක් )
මේ දෙකෙන් මොකක් කරන්න වුණත් ශිව ලිංගය බිමින් තැබිය යුතුයි…
කොහොමහරි මිනිස් වේෂයෙන් හිටපු ගණ දෙවියන් කියනවා ඔබ ඔබේ කාර්යය අවසන් වෙනකන් මම ශිව ලිංගය බිම තියන් නැතුව අතේ තියාගෙන ඉන්නම් කියලා….
මට ඔසවාගෙන ඉන්න බැරි උනොත් මම රාවණ කියලා කෑ ගහන්න ම් කියලා …. කොහොම හරි රාවණ රජු ශිව ලිංගය ඔහු අතට දීලා තමන්ගේ කාර්යයට යනවා …
ඉතින් එතනින් එහාට කියන්න දෙයක් නැහැනේ … ශිව ලිංගය බිම තියලා ගණ දෙවියන් රාවණ කියලා තුන් පාරක් කෑ ගැහුවා කියලත් කියනවා.
ඉතින් වරය එතනින් ඉවරයි….
රාවණ රජු අත් විස්සම උපයෝගී කරගෙන මේක ඇද්දාත් එතනින් ගලවගන්න බැරි වෙලා තියෙනවා.
අත් විස්සෙන්ම මේ ආත්මලිංගය ඇද්දම ඒක ගවයෙක්ගේ හැඩයට සකස් වුණා කියලත් කතාවක් තියෙනවා .
කොහොමහරි පැරණි කෝවිලේ නෙවෙයි අද පුද පූජා කෙරෙන්නේ …. අලුතෙන් හදපු කෝවිළේ පැරණි කෝවිලේ තිබ්බා කියලා කියවෙන විශේෂිත දේවල් අලුත් කෝවිලේ තියෙනවා ..
ප්‍රධානම දේ තමයි ශිව ලිංගය .. මෙහි තියෙන ශිවලින්ගේ පැරණි එකමයි කියලා කතාවකුත් තියෙනවා . කොහොම වුණත් මේ ශිවලින්ගේ විශේෂයි ලංකාවේ මෙහෙම එකක් නෑ මම දන්නේ නැහැ ලෝකෙ තියෙනවද කියලා. මේ ශිවලින්ගේ හදලා තියෙන්නේ විශේෂිත පාෂාණ වර්ගයකින් . එය ඉතා දුර්ලභ පාෂාණ වර්ගයක් .. එය ශිවලින්ගය වටා ඒ පාෂාණයෙන්ම නිර්මාණය කරපු කුඩා ශිව ලිංග දාහක් තියෙනවා. බැතිමතෙක් එක් වරක් මේ ශිවලින්ගේ වටා ගමන් කරමින් වැන්දොත් ශිවලින්ග දහසකට එකපාර වදිනවා කියලා තමයි අදහස් කරන්නේ … ඒක ශිව දෙවියන්ගේ අසීමිත භක්තියක් ලැබීමට හේතුවක් කියලා විශ්වාස කරනවා….
අනිත් දේ තමයි මේකේ පැරණි ලෝහ පිළිම කිහිපයක් තියෙනවා ඒ පිළිම කුඩා පිළිම වුණාට කිසිවෙකුට ඔසවන්න බැහැලු . ඒ කියන්නේ ඒ තරම් බර ලෝහයකින් තමයි ඒ පිළිම හදලා තියෙන්නේ … ඒ ලෝහ වර්ගය ගැන සඳහනක් නැහැ…
ඉතින් නන්දිකඩාල් කියන තැන ලොකු ඉතිහාස කතාවකුත් වර්තමාන කතාවකුත් තියෙනවා… ඉතිහාස කතාව මම කිව්වා .. ඒ කියන්නේ වසර පන්දහස් ගානකට කලින් හෙළ පොළොව පරාද වෙච්ච තැනක්.. ඉතින් මෑත කාලේ නන්දිකඩාල් යළි හෙළ පොළොවට ජයග්‍රාහී භූමියක් බවට පත්වෙනවා …. ඒක අපි අත්විඳින්න පුළුවන් වූ යුගයක ජීවත් වෙන්න ඇත්තේ අපි ඒ යුගයේ ඉන්න ඇති…
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර