සංචාරය

දූම රාක්ෂගේ දූම පබ්බතය හෙවත් අරංකැලය

හෙළ ඉතිහාසයේ හෙළබිමේ ආරක්ෂාව වෙනුවෙන් තැන තැන පිහිට වූ අරිට්ඨ පබ්බත කිහිපයක් පිළිබඳවම අප පසුගිය ලිපි පෙළින් කතා කළෙමු.

දූම පබ්බත යනු ද එවැන්නකි.

රාවණ රජුගේ ප්‍රධාන සෙන්පති වරයෙකු වූ දූම රාක්ෂ විසින් ඉදිකරන ලද මෙම අරිස්ථි පබ්බතය හෙළ ඉංජිනේරු ඥානය උපරිම ලෙසින් විදහා දක්වමින් ඉතා සංකීර්ණ වූ සැලැස්මක් තුළ ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණය කින් යුක්ත වේ.

කුරුණෑගල සිට කිලෝමීටර් විසි හයක් පමණ දුරින් පිහිටි කුඹුක්ගැටේ නගරයට ආසන්නයෙහි පිහිටි අරන්කැලේ ආරණ්‍ය සේනාසනය වු කලි ධූම පබ්බතයේ වත්මන් නාමයයි.

පුරාවිද්‍යාඥයන් ගේ අදහසට අනුවද මෙම ගොඩනැගිලි සංකීර්ණය විජයාවතරණයට පෙර යුගයේ සිට පැවත බවට පිළිගත යුතු වේ. මෙහි නිර්මාපකයින් පිළිබඳව කිසිදු සදහනක් නොමැති වීම තුළ හා පුරාවිද්‍යාඥයින් විසින් මෙය ආරාම සංකීර්ණයක් ලෙසින් හඳුන්වනු ලැබූ අතර එය එක්වරම පිළිගැනීමට නොහැකි කරුණු කාරණා බොහොමයක් පවතී.

ඉන් පළමු කාරණාව වනුයේ බුදුදහම පැමිණීමෙන් පසු සංඝයා වෙනුවෙන් ඉදි කොට පූජා කරනු ලැබූ මෙවන් අති විශාල ඉදිකිරීම් සම්බන්ධව සෙල්ලිපි හා ලිඛිත සාධක යනු අනිවාර්යෙන්ම පැවතිය යුතු වීමත්, ඉතා සංකීර්ණ ශිලා නිර්මාණයන් ගෙන් ඉදිකරන ලද මෙම ගොඩනැඟිලි අතර රූප සහිත සඳකඩපහණ් දැකගත නොහැකි වීමත් ප්‍රධාන කරුණු වේ.

ලංකාවේ දැනට සොයාගෙන ඇති හා සංරක්ෂණය කරන ලද දිගම පෙත්මග ලෙස සැලකෙන්නේ අරන්කැලේ ඇති පෙත් මගයි. පුරාවිද්‍යා මතය වනුයේ මෙම පෙත්මග භාවනායෝගී හිමිවරු සක්මන් භාවනාව උදෙසා යොදා ගන්නට ඇති බවය.

පුරාවිද්‍යාව විසින් තහවුරු කරගෙන ඇති ප්‍රදේශය තුළ ති පුරාවිද්‍යාත්මක සාධක වලින් සංරක්ෂණය කොට ඇත්තේ ද ඉතා සුළු ප්‍රමාණයකි. වනාන්තරය තුළ තවත් මෙවැනිම පෙත්මග වල් තුනක් පවතින අතර ඒවා තවමත් පුරාවිද්‍යාවේ අධීක්ෂණයට ලක් වී නැත.

මෙහි ඉදිකර ඇති ශිලාමය ගොඩනැගිලි සැලසුම් තුළ ඉතා දියුණු තාක්ෂණයක් පැවති බව පෙනී යයි. දැනට සංරක්ෂණය කොට ඇති සෑම පාදමක් තුළම භූමිය මත ඉදිකරන ලද කොටසක් හා ජලය පුරවා හා ඒ මත ගල් පතුරු එලා ඒ මත ඉදිකරන ලද කොටසක් ලෙසින් කොටස් කිහිපයකින් යුතු වන ගොඩනැගිලි දැකගත හැකි වේ.

එය සතුන්ගෙන් ආරක්ෂාව වෙනුවෙන් හෝ සිසිලස වෙනුවෙන් කරන්නට ඇතැයි කියා සිටිය හැකිය.

විශේෂිතම ලක්ෂණය වනුයේ වැසිකිලිය කැසිකිලිය හා ද්‍රෝණිය සම්බන්ධ කරමින් ගොඩනැගිලි නිර්මාණය කර තිබීමයි. එනම් වර්තමානයට අනුව ඇටෑච් බාත්රූම් සංකල්පය පූර්ණ ලෙසම භාවිතා කර මෙම පෞද්ගලික ගොඩනැගිලි ඉදිකර ඇති බව අවබෝධ කොට ගත හැකි වේ.

මෙම ස්ථානයෙහි ඇති වැසිකිළි හා කැසිකිළි උදෙසා එකම වලක් භාවිතා කර පැවතීම විශේෂත්වයකි. ලංකාවේ මෙතෙක් හමුවූ වැසිකිළි හා කැසිකිළි උදෙසා වෙන වෙනම වලවල් යොදාගෙන තිබීම හා මෙම ස්ථානයේ එකම වලක් පැවතීම අතර කාල පරාසයේ වෙනසක් හා ඉදිකිරීම් ක්‍රමවේදයන්හි යම් වෙනස්කමක් පවතීය යන්න සිතිය හැකිය.

බද්ධ කොට ඉදිකරන ලද දෝණිය මෙහි ඇති සුවිශේෂීම ඉදිකිරීමයි. මෙමගින් එම කුටිය තුළ දීම ශරීරය පිරිසුදු කර ගැනීමේ කාර්යය ද ඉටුකර ගැනීම උදෙසා අවකාශය සලසා දී ඇත. මෙය ඉතා දියුණු මානව ශිෂ්ඨාචාරයක ලක්ෂණයකි.

දැනට සංරක්ෂණය කර මතු කර ඇති අංග අතරින් ජත්තාගරය නැතහොත් උණු දිය වාෂ්ප මගින් ශරීර සුවතාවය ඇතිකරගන්නා ගොඩනැගිල්ල සුවිශේෂී ස්ථානයක් ලෙසින් දැක්විය හැකි වේ. මෙය ඉතා විශාල ගල් පොකුණක් සහිතව උෂ්ණත්වයට ඔරොත්තු දෙන ලෙස ඉතා ඝනකම් බිත්ති යොදා සකස් කරන ලද ගොඩනැගිල්ලකි. පොකුණ අසල බෙහෙත් ඇඹරීම සඳහා යොදා ගන්නා බෙහෙත් ගල් කිහිපයක් තවමත් දැකගත හැකි වේ. පුරාවිද්‍යා ගවේෂණයන්ට අනුව මෙම ස්ථානයේ ජලය සහ බෙහෙත් උණු කිරීම උදෙසා ලිප් විසිදෙකක් පැවැති බවට සාධක හමු වී ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අරන්කැලේ භූමිය පවරා ගැනීමෙන් පසු වසර 40 ක කාලය තුළ සංරක්ෂණ කටයුතු සිදු කළ ඇත්තේ දූම පබ්බතයේ පාමුල සීමාවේ පමණි. පළමු පෙත් මගින් ඉහළට විහිදුණු පියගැට පෙළවල් කිහිපයක් දැකගත හැකි වුවත් ඉන් එකක් හැර ඉතිරි ඒවා තවමත් සංරක්ෂණය කොට නැත.

මෙසේ මතු කරගෙන ඇති කොටසට වඩා ඉතා විශාල ඓතිහාසික සාධක රැසක් දුම පබ්බතය පුරා විසිර ඇති බව එහි විසිර ඇති ගල් කණු සාක්ෂි දරයි.

පාටි 180 දිගින් යුතු පෙත්මග අවසන්වන වරට සිටියා යැයි සැලකෙන මහරහතන් වහන්සේ වන මලියදේව මහ රහතන් වහන්සේ වැඩ සිටි කුටියෙනි.

එය ඉතා සංකීර්ණ ලෙස කොටස් තුනකට බෙදා වෙන් කොට ඉදිකරන ලද ලෙනකි. එය පසුකාලීනව ඉදි කරන ලද්දක් බව බැලූ බැල්මට පෙනී යයි. එසේ වුවත් එම ඉදි කිරීම් තුළ ලෝකයේ පැරණි ගොඩනැගිලි තුළ දක්නට ඇති තුන්දොර සංකල්පය දැකගත හැකි වේ.

මෙහි පියගැටවල් නිර්මාණයේදි භාවිතා කර ඇති තාක්ෂණය අද්විතියවේ. පියගැටපෙලේ පැති බැම්ම තනි කලු ගලෙන් පිය ගැට හැඩයටම කපමින් පඩි කැවද්දා නිර්මාණය කිරීම ඉතා දියුණු තාක්ෂණික හැකියාවක් මතුකර පෙන්වන්නකි.

නාග හිසක් ලෙසින් නිර්මාණය කොට ඇති මෙම ලෙන ලංකාවේ අප මෙතෙක් සංචාරය කළ සෑම තැනකම ඇති ලෙන්වල ස්වරූපයට සමාන වේ.

රිදී විහාරය පිහිටි ප්‍රදේශය චන්ද්‍ර වංශික නා රජකු වු සුමාලිගේ මාලිගා බිම වීමත් මෙම ප්‍රදේශය ද නාග බලය යටතේ පැවති ප්‍රදේශයක් යැයි සිතිය හැකි වේ. නාග මුහුණැති ලෙන මගින් සංකේතවත් කරන්නේ එය විය හැකිය.

ධූම රාක්ෂ සෙන්පතිවරයා යටතේ මෙම ප්‍රදේශය පරිපාලන කටයුතු පවත්වාගෙන යන්නට ඇත.

මෙය ඉතිහාසයේ සැගව ගිය යුගයට අයත් ඉදිකිරීම යන්න සනාථ කිරීමට ඇති හොඳම සාධකය වන්නේ කඳු මුදුනේ ඇති බල ගලයි. එයා තවමත් නොසෙල්වී පවතී.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

5 3 votes
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x