සංචාරය

උපුල්වන් දෙවියන්ගෙන් බහිරව අයියණ්ඩි අතට ගිය දෙවොල

දිය රම් රවුළු මහ භාරත                                   යුදද
මනරම් කඳ පොරණ හර කලදිත්                     යුදද
ඇති හිම් කොට ඇඳි සිතුවම් රූ                        නොමඳ
නොවිහිම් සතොස පිරි ලෙන් දැක ගොස්         සබඳ

මහා රාවණ යුද්ධය මහා භාරත යුද්ධය විෂ්ණු දෙවියන් ගේ වික්‍රමය ඉතා අලංකාරවත් ලෙස අඳින ලද දෙවොලක් වෙත්ද එය සතුටෙන් දැක බලාගන්න.

මේ අන් කිසි තැනක් නොව සීතාවක ගම් මායිමේ ඇති පෙර දවස උපුල්වන් දෙවියන් වෙනුවෙනුත් පසුව සමයේ භෛරව අයියණ්ඩිය වෙනුවෙන් වෙන්වූ බහිරව දෙවොලයි. නැතහොත් වත්මන් නාමයට අනුව බැරැන්ඩි කෝවිලයි.
අවිස්සාවේල්ලේ සිට තල්දූව පාලම පසුකොට මීටර් කිහිපයක් ඉදිරියට ගමන් කිරීමෙන් බැරැන්ඩි කෝවිල වෙත ළඟාවිය හැකිය.

හෙළ පාලන ඒකකය පරුමක වරුන්ගෙන් බණ්ඩාර වරුන්ට මාරු වූ අයුරු මා පෙර ලිපියක කතා කළා… බණ්ඩාර දේව සංකල්පය තුළ එහි ප්‍රධානත්වය උපුල්වන් දෙවියන්ට හිමිවිය. පැරණි ලංකාවේ බොහෝ තැන්වල ගලින් නිමකරන ලද උපුල්වන් දෙවියන් උදෙසා වෙන් වූ දෙවොල් විය.
4 වැනි පරාක්‍රමබාහු රජු විසින් සීතාවක ගඟට මායිම්ව බිඳ වැටී තිබූ උපුල්වන් දෙවියන් උදෙසා වෙන් වුණු දෙවොලක් ප්‍රතිසංස්කරණය කළ බව වංශ කතා වල සඳහන් වේ.

ඉන් ඉක්බිති සීතාවක රාජසිංහ සමය වන විට මෙම උපුල්වන් දෙවොල බිඳවැටී පැවතුණි. පරංගින් හා සටන් කිරීම උදෙසා යක්ෂ සේනාවේ සහාය ලබාගැනීම වෙනුවෙන් සීතාවක රාජසිංහ රජු නැවත වරක් මෙම උපුල්වන් දෙවොල ප්‍රතිසංස්කරණය කරවීය. මෙය හුදෙක්ම ප්‍රතිසංස්කරණයක් පමණක් විය යුතුය. පැරණි උපුල්වන් දෙවොලේ තිබූ රාම-රාවණ යුද්දයේ සහ මහ භාරත යුද්ධයේ සිතුවම් සංරක්ෂණය කරන්නට ඇත. එසේ වුවත් හින්දු ආභාෂය ලත් ආඩි ගුරුගේ බලපෑම මත උපුල්වන් දෙවියන් වෙනුවෙන් වෙන් වූ දෙවොල බහිරව දෙවියන් වෙනුවෙන් පරිවර්තනය කළා විය හැකිය.

කෙසේ වෙතත් සීතාවක රාජසිංහ රජු බලාපොරොත්තු වූ අයුරින්ම යක්ෂ ගෝත්‍රිකයන්ගේ සහාය තමන්ට නොලැබුණි. එයට බලපෑ ප්‍රධාන කාරණා කිහිපයක් ම පැවතුණි. සීතාවක රාජසිංහ රජුගේ පියා වූ මායාදුන්නේ රජුගේ මරණයට සීතාවක රාජසිංහ රජුගේ සම්බන්ධයක් පැවතීම පිළිබඳව සැකයක් යක්ෂ ගෝත්‍රයන් තුළ පැවතුණි. දෙවැනි කාරණාව වූයේ උපුල්වන් දෙවියන් වෙනුවෙන් වෙන්න පැවැති දෙවොල හින්දු පූජකයෙකු ගේ ඉගැන්නුම් බස් මත බහිරව කෝවිලක් බවට පත් කිරීමයි. දෙවැනි කාරණාව වූයේ සැකය මුල්කරගනිමින් භික්ෂූන් වහන්සේලා ඇතුළු යක්ෂ ගෝත්‍රිකයින් හිතුමතේ මරා දැමීමයි. මෙම කාරණා මුල් කරගනිමින් පරංගින් හා කළ සටන්වලදී යක්ෂ ගෝත්‍රිකයන්ගේ සහාය උපරිම ලෙස නොලැබිණි.

ආඬි ගුරු නම් හින්දු බමුණකු ගේ බලපෑමට සීතාවක රාජසිංහ රජු නතු වීම හේතුවෙන් හින්දු ආගම වැළඳගත් බවට ඉතිහාසයේ යම් සඳහනක් ඇත. සීතාවක රාජසිංහ රජු නිරන්තරව යුදමය පරිසරය තුළ ගත කිරීම හේතුවෙන් මෙම උපුල්වන් දෙවොල පූර්ණ ලෙස නිර්මාණය කරන ලදැයි කිසිසේත් සිතිය නොහැකිය.

මෙම ඉදිකිරීම මහා නාගරික සැලැස්මක් කුඩාවට ගොනු කිරීමක් හා සමාන යැයි එය හොඳින් අධ්‍යයනය කරන්නකුට වැටහේ…. දේවාල කුටියේ මැද කොටස අඩි 9 * 9 ප්‍රමාණයට සකස් කර තිබීම තුළ පිරමීඩ ක්‍රියාකාරීත්වය තුළින් මතුවන මධ්‍ය ශක්ති නියමය පිළිබඳව එදා සිටි නිර්මාණකරුවා හොඳින් දැන සිටි බව අවබෝධ කොට ගත හැකි වෙයි.

නාලන්දා ගෙඩිගෙය ප්‍රතිසංස්කරණය කළ අයුරින්ම බහිරව කෝවිල නැතහොත් බැරැන්ඩි කෝවිල නැවත ප්‍රතිසංස්කරණය කරන්නේ නම් එය මහඟු කාර්යයකි. බහිරව කෝවිලට අයත් භූමි ප්‍රදේශයද නාගරිකකරණය මත සීමා වෙමින් පවතී.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close