සංචාරය

කතරගම දෙවියන්ගේ දඬුවම් දෙන්නා වූ ගැටබරු දෙවියෝ

ගැටබරු රජ්ජුරු බණ්ඩාර යන නාමය පිළිබඳව බොහෝ දෙනා අසා ඇති මුත් රජ්ජුරු බණ්ඩාර දෙවොල වෙත ගොස් ඇත්තේ සීමිත පිරිසකි. මෙම දෙවල පිහිටා ඇත්තේ පුරාණ ගීතබාරාජ රජමහා විහාර භූමියේය. එය එසේ වුවත්ම මෙය ප්‍රසිද්ධ ව ඇත්තේ ගැටබරු රජමහා විහාරය යන නමිනි.

ගැටබරු රජමහා විහාරය වෙත ගමන් කිරීමට මාර්ග කිහිපයක්ම පවතී. එම මාර්ගයන් අතරින් පහසුම මාර්ගය වනුයේ අකුරැස්සේ සිට දෙනියාය මාර්ගයේ කොටපොල දක්වා පැමිණීමයි.

දුර අඩු මෙන්ම නිස්කලංක පරිසරයක් හරහා ගමන් කිරීමට නම් තෝරාගත යුතු වන්නේ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුවෙන් පොල්ගම්පළ නෙළුව හරහා කොටපොල ට පැමිණ ගැටබරු රජමහ විහාරය වෙත පිවිසීමයි.

රජමහාවිහාරය ට පිවීසීම උදෙසා කුමන මාර්ගයක පැමිණියද අධි නැග්මක් හා වංගු සහිත මාර්ගයක කිලෝමීටර් දෙකක් පමණ කඳු මුදුනට ගමන් කළ යුතු වේ. මෙය සාමාන්‍යය වාහනයකට ගමන් කරන්නේ නම් ඉතා කල්පනාවෙන් යා යුතු ගමනකි.

එළමල්දෙණිය විහාරයට ගිය ගමනේදී බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට අයත් දේවාල කිහිපයක්ම ඇති බව මා සඳහන් කළා මතක ඇති. මෙම දෙවොල් අතරින් බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ නිත්‍ය වාස භවන ලෙස සැලකෙන්නේ ගීතබා ලෙනයි.

හෙළ පාලන ඒකකය තුල ප්‍රාදේශීය පාලකයන් හැඳින්වූ පරුමකවරු පසුකාලීනව බණ්ඩාරවරු ලෙස හැඳින්වූ බව මා අවස්ථා කිහිපයකදීම පැවසුවා. එහිදී බස්නාහිර දෙවියන් ලෙසින් සලකන ප්‍රාදේශීය පාලකයාට ඉතා විශාල භූමි භාගයක් අයත්ව පැවති බව පෙනී යයි. භූමිය විශාල වූ නිසාම පාලන කටයුතු පහසුවෙන් පවත්වාගෙන යෑම උදෙසා ඒ ඒ ප්රදේශයන් තුළ ඔහු පවත්වාගෙන ගිය පාලන මධ්‍යස්ථානය පසුකාලීනව රජ්ජුරු බණ්ඩාර දේවාල බවට පත් බව සිතිය හැකිය.

පුරාවිද්‍යාත්මක ඉතිහාසයට අනුව ක්‍රිස්තු පූර්ව 88 ත් 76 අතර කාලයේ දී වලගම්බා රජු ආක්‍රමණිකයන්ගෙන් සැඟවී රුහුණු දේශයේ ජනතාවගේ සහයෝගය ලබා ගනිමින් සේනා සංවිධානය කළ තැනක් ලෙස මෙම ලෙන පිලිබඳව සඳහන් වේ.

කැලෑවෙන් වැසී තිබූ මෙම ලෙන් විහාරය සොයාගැනීම පිළිබඳව අපූරු ජනප්‍රවාදයක් පවතී. 1834 වර්ෂයේදී පමණ ගැමියෙකු ගොවිතැන් කටයුතු සඳහා ගීතබා කන්දට ගොස් ඇත. ඒ අවස්ථාවේදී විශාල අලංකාරවත් ගෝනෙකු ඔහු ඉදිරියට පැමින ඔහු දෙස බලාගෙන සිට ඇත. එසේ බලා සිට ගොවියාට පසුපසින් පැමිණීමට හැකි අයුරින් ගමන් කරමින් අවසානයේ විශාල බුදු පිළිමයක් සහිත ලෙන ඉදිරියේ නතර වී ඇත. එතෙක් කල් ගැමියන් වනාන්තරේ එවන් ලෙනක් පිළිබඳ දැන සිට නැත. ගැටබරු රජමහා විහාරය නිර්මාණය වී ඇත්තේ ඉන් අනතුරුවය.

ගැටබරු දෙවියන් පිලිබඳ වත් ජනශ්‍රැතියක් වේ. කතරගම දෙවියන් තාරක අසුරයා විනාශ කිරීමෙන් පසු මිනිස්සුන්ගේ වැරදි උදෙසා දඬුවම් දීම නවතා දැමූ බවත් ඒ කටයුත්ත ගැටබරු දෙවියන් වෙත භාර දුන් බවත් සඳහන් වේ. එතැන් පටන් රජ්ජුරු බණ්ඩාර දෙවියන් මිනිසුන්ගේ වැරදි උදෙසා දඬුවම් දෙමින් ප්‍රදේශයේ ජන ජීවිතය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යෑමට උපකාර වූ බවත් කියැවේ. මේ හේතුවෙන් රුහුණේ පුංචි කතරගම යන අන්වර්ථ නමින් ගැටබරු දෙවොල හැඳින්වේ.

වර්තමානයේ වෙන විට කඳු මුදුනට ගමන් කිරීමට පඩිපෙල් යොදා සකස් කොට ඇති අතර ලෙන් විහාරය ද යම් නවීකරණයකට ලක් කොට ඇත. ලෙන තුළ ඉපැරණි දහ අටරියන් බුදු පිලිමය පවතී. දෙපසින් විෂ්ණු දේව ලක් හා රජ්ජුරුබණ්ඩාර දෙවොල පිහිටා ඇත.

කඳුමුදුනේ චෛත්‍ය සහ ඝණ්ඨා කුළුණ පසුකාලයේ සාදා ඇති අතර පහතරට තෙත් කලාපීය පරිසර පද්ධතියකින් මෙම කඳු ශිඛරය වැසී පවතී. පහතරට වනාන්තර තුළ සිටින සතුන් වර්ග මෙම වනාන්තරය තුලත සිටින බව ඒ පිළිබඳ තතු දත් ගැමියෝ පවසති.

කඳු මුදුනට ළඟාවීමට පෙර බුදුන් වැද අවසන් වූ පසු භාවනාවේ සිටින මා හට කඳු මුදුනේ රන් පැහැ විහිදුවමින් ධ්‍යන වඩන ඉරියව්වෙන් වාඩි වී සිටින බෝසත් පෙනුමක් සහිත රුවක් දැකගත හැකි විය. මගේ මුවින් එකවරම කියවුනේ බෝසත් දෙවිකෙනෙක් යනුවෙනි. මා එයට පෙර එවන් රුවක් දැක තිබුණේ නැත.

මෙම සිදුවීමෙන් පසු කඳු මුදුනට ගමන් කළ අපට ලෙන තුළ ඇති රජ්ජුරු බණ්ඩාර
රූපය දැක ගත හැකි විය. මා පහලදී භාවනාවෙන් දුටු රුව හා මෙම රූපයේ මුහුණුවර බොහෝ සමාන විය. එසේ නම් මා දැක ඇත්තේ රජ්ජුරු බණ්ඩාර දෙවියන් ය.
අප පැමිණෙන පෙරමග දෙස දෙවියන් කඳුමුදුනේ සිට බලා සිටින අයුරු මා දැක ඇති බව මට දැන් අවබෝධ වේ.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close