සංචාරය

යක් හකුවේ දෙමහල් ලෙන් විහාරය - මානියම්ගම

සීතාවක රාජධානියේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන්නේ මානියම්ගම රජ මහා විහාරයයි. ඇළ මාර්ග දෙකකට මැදිව ගිරි දුර්ග ජල දුර්ග වන දුර්ග වලින් ආරක්ෂා වු ඉපැරණි හෙළ රාජධානි සංකල්පය මත ගොඩනැංවී ඇති මෙම විහාරය සීතාවක ප්‍රදේශයේ ඇති දර්ශනීය මෙන්ම ආරක්ෂිතම ස්ථානයයි.

අවිස්සාවේල්ල පනාවල මාර්ගයේ කිලෝමීටර් තුනක් පමණ ගිය විට මානියම්ගම කීර්ති ශ්‍රී රජමහා විහාරයට පිවිසිය හැකිවේ. මෙම විහාරය පිහිටා ඇත්තේ යකහටුවාව කඳු පන්තියේය. ” යකහටුවාව ” යන නම නිර්මාණය වී ඇත්තේ ” යක් හකුව ” යන වචනය තුළින් යැයි විශ්වාසයක් පවතී.

මෙම ලෙන් විහාරයේ ආරම්භය ද වලගම්බා රජු ගෙන් සිදු වී යැයි සඳහන් වේ. ක්‍රිස්තුපූර්ව 103 -76 කාලයේදී ද්‍රවිඩ සේනා අනුරාධපුරය ආක්‍රමණය කිරීමෙන් පසු ඉන් පලා ආ වලගම්බා රජු මෙම ලෙන් තුළ සැඟවී සිට සේනා සංවිධානය කර ගනිමින් යළි අනුරාධපුරයට පහරදී රාජ්‍ය බේරාගත් බව සඳහන් වේ. රාජ්‍යත්වයට පත්වීමෙන් පසුව මෙම ලෙන් විහාරය ඉදිකර පූජා කළ බව ඉතිහාසයේ සඳහන් වේ.

නාග හිසක් ආකාරයෙන් නිර්මාණය කොට ඇති මෙම ලෙන ස්වාභාවික නිර්මාණයක් නොව කෘතිමව නිර්මාණය කරන ලද්දක් බව හොඳින් අවබෝධ කොට ගත හැකි වේ. එසේම බුදුගෙය නිර්මාණය කිරීම උදෙසා ඉදිරියෙන් බැඳ ඇති බිත්තිය අඩි තුනකට වඩා ඝනකමකින් යුක්ත වන අතර තොරන් දෙකකින් හා ඇතුළුවීමට සහ පිටවීමට වෙනම දොරටු දෙකක් ලෙස සකසා ඇත.මෙය බැලූ බැල්මට රජ මාලිගාවක ප්‍රධාන පිවිසුම හා සමවේ. බුදු ගෙයක බිත්තියක් මෙතරම් ඝනකමට නිර්මාණය කළ යුතුද යන්න තරමක් සිටිය යුතු කාරණාවකි.

විහාරයේ ආරම්භය පිළිබඳ ඇති ලිඛිත සාධකයන් එසේ වුවත් මෙම ප්‍රදේශයේ ආදි ජනාවාස පිළිබඳ ඉතිහාසය වසර 30,000 කටත් එහාට දිව යයි. මෙම කඳුවැටිය ආශ්‍රිතව පවතින ලෙන් ඇසුරෙන් කරන ලද අධ්‍යයනයන් තුළ ප්‍රාග් ඓතිහාසික මානව සාධක බොහොමයක් ලැබී ඇත.

එසේම මෙම ප්‍රදේශය පුරා රාම රාවණ කථාපුවත ට සමගාමීව යෙදෙන නාමයන් සහිතව ස්ථානයන් බොහොමයක් දැකගත හැකිවේ. යමි ජනශ්‍රුති යන්ත්‍ර අනුව සීතාවක යන නම නිර්මාණය වී ඇත්තේ ද රාම සීතා කතා පුවත මුල්කොට ගනිමිනි.

මානියම්ගම රජ මහා විහාරය දෙමහල් ලෙන් විහාරයකි. වර්තමානයේ දී එහි ඉහළ මාලයේ පුස්තකාලයක් දක්නට ඇත. සීතාවක රාජසිංහ සමයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ මෙම විහාරය දැනුම ගබඩාවක් වී යැයි පැවසේ.

අතීත පාලනය තුළ කන්ද උඩ රට දක්වා වූ ප්‍රධාන ගමන් මාර්ගය වූයේ සබරගමුව හරහා වැටී තිබූ මාර්ගය යි. එය හැඳින්වූයේ ” සිංහල පාර ” යන නමිනි. එයට හේතු වූයේ මෙම මාර්ගය තුළින් වෙනත් ආක්‍රමණික හමුදාවන්ට ගමන් කිරීමට නොහැකි වීමයි.

සීතාවක රාජසිංහ රජුගේ පියා වූ මායාදුන්නේ රජුට සීතාවක රාජ්‍යය ගොඩනැඟීම උදෙසා මග පෙන්වන ලද්දේ මානියම්ගම විහාරවාසී භික්ෂූන් යැයි විශ්වාසයක් පවතී. එයට හේතුව 15 – 16 සියවස් වන විට තුන් කෝරළේ ප්‍රබලම ආගමික ස්ථානය ලෙස පැවතියේ මෙම විහාරය වීමයි.

ටිකිරි කුමරු කුඩා කල සිට හැදී වැඩී ඇත්තේ මෙම විහාරය ඇසුරු කොට ගෙන ය. මායාදුන්නේ රජුට හා බිසව වූ සත්සිය වරිගේ සුමනා හට දරුවන් තිදෙනෙකු විය. මහා රදගුරු බණ්ඩාර , තිඹිරිපොලේ මහා රදගුරු බණ්ඩාර, සහ සන්නාහ බණ්ඩාර යනු ඔවුන් දෙදෙනාය. ටිකිරි කුමරු මායාදුන්නේ රජුගේ දරුවකු නොවන බවද ඉතිහාසයේ යම් මතයක් පවතී. සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය නම් ඉපැරණි ග්‍රන්ථයේ මේ පිළිබඳ යම් ඉඟි මතු කොට දක්වා ඇත.

මෙම විහාරයේ ප්‍රධාන ලෙන දිගින් අඩි 164 ක් ද පළලින් අඩි 70 ක් පමණ වෙයි. එම ලෙන තුළ බුදුගෙය සංඝාවාසය මුළුතැන්ගෙය දාන ශාලාව චෛත්‍ය දේවාල සහ පුස්තකාලයද නිර්මාණය කොට ඇත. මෙයට අමතරව ඉපැරණි ගල් ළිඳක්ද මෙම ලෙන තුළම දැකගත හැකි වේ.

සීතාවක රාජසිංහ යුගයට අයත් ලිඛිත සාධකයන් බොහොමයක් සුරැකිව පැවතුන මෙම විහාරයේ ය.එහෙත් 1993 වසරේ දී පරිසරයේ තෙතමනය සහ වේයන් විසින් කා විනාශ කර දැමීම හේතුවෙන් පැරණි පුස්කොළ පොත් බොහොමයක් විනාශ වී ගොස් ඇත.

මෙම කඳුවැටියේ අනෙක් පස ඇති රජ ලෙන නම් විශාල ගල් ලෙනෙහි ක්‍රිස්තු පූර්ව යුගයට අයත් බ්‍රාහ්මීය අක්ෂර දැකගත හැකිවේ.

සීතාවක රාජසිංහ රජුට අයත් දිගටි හැඩයෙන් යුත් කාලතුවක්කුවක් අදටත් මෙම විහාරයේ දක්නට ඇත.

මෙම කඳුවැටියේ මුදුනේ බැලුම් ගලක් අතීතයේ පිහිටි බවට සාධක පවතී. මෙම කඳුවැටියේ මුදුනේ සිට සමස්ත සීතාවක රාජධානිය ම නිරීක්ෂණය කිරීමට හැකියාව පැවතීම මෙය ආරක්ෂක අතින් ඉතා වැදගත් මෙහෙයක් ඉටු කළ ස්ථානයක් යැයි සිතීමට කරුණකි.

සීතාවක රාජසිංහ රජු මහා සංඝරත්නයට දානයකට තම මාළිගාවට වැඩම කරවා දන් පිරිනැමීමට උත්සාහ කරන අවස්ථාවේදී මහා සංඝයා වහන්සේලා තම පාත්‍රය මුනින් අතට නෑ වීම හේතුවෙන් රජු භික්ෂූන් වහන්සේලා සමග උරණ වූ බව ඉතිහාසයේ සඳහන් වේ. එලෙස කිරීමට හේතු විමසූ විට භික්ෂූන් සඳහන් කොට ඇත්තේ පියා මැරූ පුතෙකුගෙන් දානය ගැනීම තමන් ප්‍රතික්ෂේප කරන බවයි. එයින් උරණ වූ රජුන් භික්ෂූන් වහන්සේලා 129 සීතාවක ගඟේ කණා මැදිරි වල නම් ස්ථානයෙහි ගිල්වා මැරා දැමූ බව සඳහන් වේ. එසේම තවත් අවස්ථාවකදී එක් විහාරස්ථානයක තමාට විරුද්ධව යම් හදි හූනියමක් සිදුවන බව ආරංචි වී රාජ පුරුෂයන් සමග හොර රහසේ එම පන්සල වටකර බලන කල පන්සල තුල රජුගේ පිළිමයක් සාදා කටු කරමින් යම් හුනියමක් කරන බව දැක ඇත. ඒ අවස්ථාවේදී රජු සිය අසිපතීන්ම එහි සිටි භික්ෂූන්ව ඝාතනය කොට ඇත.

මෙම සිදුවීම් වලින් පසු රාජසිංහ රජු දිගින් දිගටම භික්ෂූන් හා වෛරයෙන් කටයුතු කොට ඇත. ප්‍රදේශයේ වෙහෙර විහාර බොහොමයක් ගිනිතබා විනාශ කිරිම, භික්ෂූන් ඝාතනය කිරීම, ආදියට අමතරව හින්දු දහම වැළඳ ගැනීමද සිදුකර ඇත.

මානියම්ගම රජමහා විහාරය පරිහානියට පත් වෙන්නේ ද ඉන්න අනතුරුවය..

වලගම්බා රජු භාවිතා කළ ලෙන් හා උමං පද්ධති සියල්ලම හෙළ යක්ෂ ගෝත්‍රිකයන්ගේ උරුමයන් වූ අතර මෙම කඳුවැටිය ආශ්‍රිතව පවතින නාමයන් පිළිබඳව සිතා බැලීමේදී මෙය ඉතා ආරක්ෂාකාරී පැරණි හෙළ රාජධානියක් පැවැති භූමියක් බව එහි යන ඕනෑම අයෙක්ට තේරෙන කරුණකි.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close