සංචාරය

දෝව රජමහා විහාරයේ කිරි ගරුඩ උමග තුලට...

බදුල්ල-බණ්ඩාරවෙල මාර්ගයේ අතර මැදට වන්නට පිහිටා ඇති දෝව රජමහා විහාරය හෙළ යුගය හා සබැඳි විහාරස්ථානයකි.

වසර ගණනාවකට පෙර බදුලු සංචාරයකින් පසුව බණ්ඩාරවෙලට පැමිණෙන අතරතුර බොහෝ පන්සල අසලින් අප ගමන් කරන විට පන්සල නැරඹීමට අපට අවස්ථාව සැලසිණි. ඉන්පසු අප එදින රාත්‍රියේ බණ්ඩාරවෙල නවාතැන් ගත්තේය. එදින රාත්‍රියේ දී නින්දෙන් මට විශේෂ පණිවුඩයක් ලැබුණි.

ඔබ දෝව පන්සලට ගියාට උමං මාර්ගය දුටුවෙ නෑ. යළි ගිහින් ඒක බලන්න.

ඇත්තෙන්ම පෙර දිනයේ අප දෝව පන්සලට ගියද අපට උමං මාර්ගයක් හෝ එවැනි දෙයක් දක්නට ලැබුණේ නැත. ඒ පිළිබඳ විශේෂිත මතකයක් පැමිණියේද නැත.

පසුදා උදේ කොළඹ ඒමට සැලසුම් කර තිබුණද යළි හරවාගෙන දෝව පන්සලට යෑමට අපි තීරණය කළෙමු.

දෝව පන්සල ද වළගම්බා රජ දවස හා සබැඳි පුරාවිද්‍යාත්මක මතයකින් බැඳී ඇති රජමහා විහාරයකි. ස්වභාවික පිහිටීමට හානි නොවන ආකාරයෙන් නිර්මාණය කොට ඇති මෙම විහාරය ඉතා දර්ශනීය වේ.මෙම විහාරයේ පැරණි නාමය ලෙස සඳහන් වන්නේ කුඹල් තිස්ස ආරිය කර විහාරය යනුවෙනි.

විහාරයට පිවිසෙත්ම කුඩාවට තැනූ පැරණි දර්ශනීය චෛත්‍යක් දැකගත හැකිවේ. ඉන්පසු දිගු පඩිපෙළකින් බෝ මළුවේ හරහා බුදු ගෙට පිවිසිය හැකිය. බුදු ගෙය නිර්මාණය කොට ඇත්තේ විශාල ලෙනක් තුළ ය.

බුදු ගෙයට පසෙකින් ස්වභාවික ගලේම ඉදිකළ අඩි තිස් හයක් පමණ උස හිටි බුදු පිළිමයක් වෙයි. එම බුදු පිළිමය අවලෝකිතේශ්වර පිළිමයකට සමාන කම් කියන අතර බාමියන් බුදු පිළිමෙ පෙනුමට බොහෝ සෙයින් සමාන වේ. මෙම පිළිමයේ දක්නට ඇති විශේෂත්වයක් වනුයේ පිළිමයේ සිවුර හෝ ආභරණ මතු වී නොපෙනීමයි.

බුදු ගෙයට පිවිසීමට ඇති බිත්තියේ ඉපැරණි මකර තොරණක් හා ගල් උළුවස්සක් දැකගත හැකිවේ. බුදු ගෙය තුල ඇති සිතුවම් මහ නුවර යුගයට අයත්ය. පසු කාලීන යුගයේ මෙම විහාරය සංවර්ධනය වී ඇති බවට එය හොඳම සාක්ෂියකි. ලෙන තුළ සැතපෙන බුදු පිළිම දෙකක් දැකගත හැකිවේ.

ලංකාවේ අන් රජමහා විහාරවල දක්නට නොමැති විශේෂ රූප දෙකක් මෙහි බුදු ගෙහි එළිය බිත්තියේ දැකගත හැකිවේ. එනම් යක්ෂයින් දෙදෙනකුගේ රූප දෙකකි. ඒ අඝෝර හා සිව වටුක යන යක්ෂ සෙන්පතීන් දෙදෙනාගේ සිතුවම්ය. මේ යක්ෂයින් දෙදෙනා බුදුදහම රකින බවට විශ්වාසයක් වෙයි. එසේම හොල යුගයේ සිටි ප්‍රාදේශීය යක්ෂ ගෝත්‍රික පාලකයෙකු ලෙසද සිවවටුකව සැලකේ.

බුදුගේ පිහිටි ලෙන හරහා පසුපසට ගමන් කළ විට දොරටුවක් දමා පිවිසීම අහුරා ඇති උමං දොර පිහිටි ස්ථානයට ගමන් කළ හැකි වේ. එය අඩි දහයක් පමණ උස අඩි දොළහක් පමණ පළල විශාල උමන් පිවිසුමකි. අඩි කිහිපයක් දුරින් ගල් බැම්මක් යොදා එය වසා ඇති ආකාරය දැකගත හැකිවේ. වර්තමානයේ දී එහි කුඩා බුදු පිළිමයක් තබා මිනිසුන් පහන් දල්වන ආකාරයක් දැකගත හැකිවෙයි.

ඉන්පසුව මහා බෝධිය අසල භාවනාවේ යෙදෙන විට මා මේ ලෙන පිළිබඳ තොරතුරු විමසුවෙමි. ඒ සමගම භාවනාවක තුළින් අශ්ව රථයකින් පැමිණි යමෙක් නංවාගෙන උමග තුළට ඇතුළු විය. එය අශ්ව රථයක් යා හැකි තරම් විශාල උමඟකි මීටර් විස්සක් පමණ ඉදිරියට ගමන් කර එක්වරම බෑවුමකින් යළි ආපස්සට හැරෙවු අශ්ව රථය වර්තමානයේ බෝගහ පිහිටන ස්ථානයට ආසන්නව පොළොව අභ්‍යන්තරයෙන් දොළ පහර හරහා ගමන් කරන්නට විය. පන්සල් භූමිය හා දොළ පහර හරහා ගමන් මග සම්පූර්ණයෙන්ම කිරිගරුඬ පාෂාණයෙන් සකස් වී ඇති බව මට වැටහුණි. එලෙස දිගට ම ගමන් කර අශ්ව රථය එක්වරම කඳු මුදුනකින් මතු විය. එතන වනාන්තර සීමාවක ගුරුපාරක් ආසන්නයේ ගලක වු උමං දොරටුවකින් අශ්ව රථය පිටතට විත් තිබුණි.

මා එතැන් සිට කඳුකරය දෙස හොඳින් බලා සිටියා. මා දුටුවේ වර්තමානයේ රාවණා ඇල්ලට ඉදිරියෙන් ඇති විශාල සානුව… ටික වෙලාවකින් පසු යලි මාව උමං මග හරහා ම යළි පන්සල වෙත රැගෙන ආවා.

අපි පන්සලෙන් පිටවෙන්න පඩිපෙළ නගිනකට පඩිපෙළ මැදදී ඉතා වයස හාමුදුරු කෙනෙක් අපි ඉදිරියට ආවා. ඒ හාමුදුරුවෝ ඇවිල්ල කෙළින්ම අප සමග කතා කළා. මම ඒ හාමුදුරුවන්ගෙන් උමං මාර්ගය ගැන ඇහුවා. ඒ හාමුදුරුවෝ මෙන්න මෙහෙම කතාවක් කිව්වා. ඔය උමං මාර්ගය ගමන් කරන්න පුළුවන් විදිහටම පැවැති යා. ජේවීපී කලබල කාලයේ මේ උමං මාර්ගය හරහා ඒ අය ගමන් කරනවා. අපේ පන්සලේ හාමුදුරු කෙනෙකුත් ඔය උමග තුළට ගියා ඒක ගමන් කරන්නේ පන්සල ආසන්නයේ තියෙන දොළපර යටින්…

මම හාමුදුරුවන්ගෙන් ඇහුවා ” හාමුදුරුවනේ පන්සල් බිමේ ඉඳන් ඇළ හරහා යන මාර්ගය කිරිගරුඩ වලින් තියෙන්නේ මම පන්සලේ භාවනා කරන කොට ඒක දැක්කා…”

හාමුදුරුවෝ එවිට කිව්වා ඔව් ඒ උමඟ දිගේ ගිය හාමුදුරුවෝ ඇවිත් කිව්වා ගඟ හරහා හදලා තියෙන්නේ කිරිගරුඩ වලින් කියලා. ඒ කොටස හරි ආලෝකමත් ලු… ඒ වගේම උඩින් වතුර ගලාගෙන යන සද්දෙ පවා ඇහෙනවලු… ආරක්ෂක අංශවලින් කියලා ජේවීපී එක ගමන්කරන නිසා උමග වහන්න කියලා. ඒ නිසා ඉස්සරහයින් ගල් බැම්මකින් එක වහලා… ඉදිකිරිම් කරල තියෙන ඉතා ආරක්ෂිතව… ඒ කියන්නේ ඕනම වෙලාවක යළි එක විවෘත කරන්න පුළුවන් විදියට “

ඉතින් අවසානයේ හාමුදුරුවන්ගේ දෙපා වැඳලා අපි කොලඹ ආවා. පුදුමසහගත දෙය එය නොවෙයි. පසුදින දැනගන්නට ලැබුණා ඒ පන්සලේ නායක හාමුදුරුවෝ අපවත් වුණා කියලා. තවත් පුදුමම දේ එය නොවේයි. අපිට කතා කරපු හාමුදුරුවෝ වසර ගණනාවක් එකතැන් වෙලා නැගිටීන්නෙවත් නැතුව ඇඳේ ඉඳලා අපවත් වෙලා තියෙන්නෙ…

පසු දවසක දොව පන්සලට ගියාම මං පන්සලේ හාමුදුරු කෙනෙක් ගෙන් මේ ගැන විමසුවා. ඒ හාමුදුරුවො කිව්ව කීයටවත් එක වෙන්න බෑ ඔය කියන දවස්වල හාමුදුරුවෝ ඇවිද්දේ නැහැ කියලා…. එතකොට තොරතුරු ටික අපිට කියන්න ආවේ හාමුදුරුවන්ගේ මනෝකාය ද ? හෙළිකළ යුතු තොරතුරු හෙළි කරන කල් උන්වහන්සේ ජීවත් වුනාද ?

මේ හැම දෙයක්ම උත්තර නැති ප්‍රශ්න නෙවෙයි උත්තර තියෙනවා. හෙළ ඉතිහාසය කියන්නේ අන්න එකට….

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close