සංචාරය

වා අරණේ සැගවුණු දෙතිස් නා ලෙණ

කොළඹ නුවර මාර්ගයේ තිහාරිය හන්දියෙන් හැරී කිලෝ මීටර් තුනක් පමණ ගමන් කලවිට වෙල්යාය මැදින් එක් පසෙකින් බලන විට පෙනේ පුප්පගෙන සිටින නාගයෙකු ලෙසින්ද තවත් පසකින් බලන විට විශාල අලියෙකු ලෙසින්ද දැකගත හැකි කළු ගල් කන්දක් දැකගත හැකිවේ.

ඒ වූ කලී ඉපැරණි ඉතිහාසයක් සහිත වාරණ රජ මහා විහාරයයි. වාරණ යන නාමය සෑදීමට හේතු වී යැයි ජනප්‍රවාදයේ එන කතා දෙකක් පවතී. පළමුවැන්න වනුයේ මෙම කඳු මුදුන පුරා වා ගස් බහුලව පැවති හෙයින් වා අරණ වාරණ වූ බවයි. අනෙක් මතය මෙම කන්ද අලියෙකුගේ ලෙසින් දිස් වන හෙයින් වාරණ නම් වූ බවයි.

වාරණ රජ මහා විහාරයේ ආරම්භය සේ සැලකෙන්නේ දේවානම්පියතිස්ස රජු බුදු දහම වැලඳ ගැනීමෙන් පසු සාසන අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිකල වෙහෙර විහාර අතර වාරණ රජමහා විහාරය ද ඉදි වූ බවය. දේවානම්පියතිස්ස රජු විසින් කටාරම් සහිත ලෙන් 32 සකසා සංඝයා වහන්සේලා වෙත පූජා කළ බව එහි සඳහන් සෙල් ලිපියේ දක්නට ඇත.

ඉන්පසු වළගම්බා රජ සමයේ වලගම්බා රජු මෙම ලෙන් තුළ වසර දහතුනක් සැඟවී සිටි බවත් පසුව යුද ජයග්‍රහණයෙන් පසු මෙම ලෙන් විහාරය දියුනුවට පත් කළ බවත් සඳහන් වේ.

මෙම විහාරය ඉතා දර්ශනීය විහාරයකි. කඳු පන්තියක මට්ටම් හතරක් ලෙස නිර්මාණය කොට ඇති මෙම විහාර සංකීර්ණය සංඝාවාසය සිට බුදු ගෙය පිහිටි ප්‍රධාන ලෙන වෙත ගමන් කිරීම සඳහා පඩි 100 කින් යුතු පඩිපෙලක් නැග යා යුතුය.

බුදුගේ පසුකොට චෛත්‍යය පිහිටා ඇති කඳු මුදුන වෙත තවත් එතරම්ම පඩි ප්‍රමාණයක් නැග යා යුතුය. කඳු මුදුනේ ද ලෙන් බොහෝ ප්‍රමාණයක් දැකගත හැකිවේ.

විහාරය පිහිටි කඳු ප්‍රදේශය ඖෂධ වනයකින් යුක්තය. එය ඈත ඉතිහාසයේ සිටම ඖෂධ වනයක් ලෙසින් පැවතීම තුල මෙම විහාරය හා බැඳුණු හෙළ වෙදකම හා යම් සම්බන්ධතාවක් ඇතැයි සිතිය හැකිය.

බුදු දහම පැමිණීමට පෙර හෙළ පාලන ඒකකය තුළ ප්‍රධානතම නාග පාලන එකකය පිහිටා තිබුණේ වාරණ ගල්ලෙන් මුල්කොට ගනිමිනි. එය කොතරම් දියුණු පාලනය ඒකකයක් වීද යන්න අවබෝධ කොට ගත හැකි වනුයේ මෙහි ඇති ආරක්ෂිත ස්වභාවය සහ ලෙන් ප්‍රමාණය අවබෝධ කොට ගැනීමෙනි.

අනෙක් කරුණ සෑම ලෙන් විහාරයක් තුලම අප දුටුවේ නාග සංකේතය කඳුමුදුනෙන් පැහැදිලිව දැකගත හැකිවේ.නාග සංකේතයට විරුද්ධ දිශාවෙන් ගල් කුල දිස්වන්නේ පියඹා යන උකුස්සෙක් ලෙසටය.

කදු මුදුනට පිවිසි විට ප‍්‍රදේශයම දැකගත හැකි බැලුම් ගලක් ලෙසින් මෙය ඉතා ආරක්ෂා කාරී පිහිටීමකින් යුක්තය.

වර්ථමානයේ විහාරයට ඉදිරියෙන් කුඹුරු පැවතියද ඈත අතීතයේදි මෙය ආරක්ෂිත දිය අගලක් නොවුවා යැයි සිතිය නොහැකිය.

බුදු ගෙය තුළ දක්නට ඇති කුඩා කවුලුවකින් ඇතුලු බුදු ගෙය දැකගත හැකි ලෙසින් පැවතීම තුළ මෙය ආරක්ෂිත උපක‍්‍රමයකට යෙදුවක් බව සිතිය හැකිය. එහිදී සිතිය හැක්කේ විහාරය ඉදිකිරීමට පෙරද මෙම බිත්ති තිබෙන්නට ඇති බවය.

වාරණ යන නාමය ග්‍රාම නාමයක් ලෙස ඇති වූවක් නොවන අතර එය ජන විවහාරය තුළින් ඇති වූ නාමයක් බව පැහැදිලිවම පෙනී යයි.

වාරණ පද පෙරළියක් තුළ යම් ජයග්‍රහණයක් හැඳින්වීම උදෙසා යොදාගත් නාමයක් පසුකාලීනව සමාජගත වී ද යන්න සිතා බැලිය යුතුය. මා එලෙස පැවසූයේ රාවණ රජුට විරුද්ධව පැමිණි රාම හමුදාවට උදව් කළ විභීෂණ පාර්ශවයේ මුල්ම මධ්‍යස්ථානය මෙය වූ නිසාය.

රාවණ රජුට වාරණය පැනවූ තැන පසුකාලීනව වාරණ යන නමින්ම හැදින් වුවා විය හැකිය.

කඳු මුදුනට ආසන්නව විවෘත පෙදෙසේ දක්නට ඇති කළුගල් කුළු සිතාගත නොහැකි ආකාරයට දියවී බේරුණු ස්වභාවයක් දක්නට ඇත. එය අධි තාපයක් මත මත හෝ වෙනත් ක්‍රමවේදයක් මත කෘතිමව ඇති වූ තත්ත්වයක් ද යන්න සිතා බැලිය යුතුය. මේ හා සමානම තත්ත්වයක් රාවණ ගුහාව ආශ්‍රිතව දැකගත හැකි වේ. රාවණ ගුහාව ආශ්‍රිත පරිසරයේ කලු ගල් උනු වී ගොස් වීදුරු බවට පත් වූ ස්ථානයන් පැවතීම තුල ඒවා යම් අධි තාපයක් හරහා සිදු වී ඇතැයි අනුමාන කළ හැකි වේ.

කෙසේ වෙතත් වාහන යනු ඉතා අලංකාර පරිසරයක් මෙන්ම ඉතාම නිදහස් පරිසර පද්ධතියකින් යුතු රජමහා විහාරයකි.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close