කෙස්වැටිය කපා හල නෙරවන ගල් ලෙන
කුකුළුවා විහාරය හා බැඳුණු කෛය රාජ්‍යය පිලිබදවත් එහි බිදවැටිම පිළිබඳවත් පෙර ලිපියක සඳහන් කළා.
රජ පවුලේ අවසානය සිදු වූ ආකාරය පිළිබඳ කලකිරීමට පත් පවරා කුමරිය මාලිගාව අතහැර ගිය බව සියල්ලටම මතක ඇති…. අද අපි යන්නට උත්සහ කරන්නේ එදා කෙස් වැටිය කපා බවුන් වඩන්නට තෝරාගත් ලෙන සොයා ගැනීම උදෙසාය.
භාවනාවෙන් ලද තොරතුරු මත කලවාන මතුගම මාර්ගයේ කිලෝමීටර් හතක් පමණ ගමන් කරන විට වර්තමානයේ සුමන ගල්ලෙන් විහාරය ලෙස නම් කරන ලද අතීතයේ නෙරවන ගල්ලෙන ලෙස ද මැදි යුගයේදී කෙස් වැටිය ලෙසද හැඳින්වූ ලෙන් විහාරයට පැමිණිමට අපට හැකිවිය.
මෙම ගල්ලෙන ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවයන ඉතිහාසයක් සහිත ගල් ලෙනකි. ආචාර්ය දැරණියගල මහතා 40 දශකයේ දී මෙහි කළ කැණීම්වලින් ප්‍රාග් ඓතිහාසික මානවයා භාවිතා කළ ගල් මෙවලම් බොහොමයක් සොයාගත් බවත් ඒවා අදටත් රත්නපුර කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති බවත් අපට දැනගන්නට ලැබුණි.
කෛය මාලිගා සීමාවට කඳු දෙකකට එහා කුකුලේ ගඟට ආසන්නේ පිහිටා ඇති මෙම ලෙන ආරක්ෂිත පිහිටීමක් සහිත ස්ථානයක් සේ සැලකිය හැකිය.
මාලිගාවෙන් පිටමං වූ පවරා කුමරිය වර්තමානයේ චෛත්‍යය පිහිටා ඇති ගල් තලාව මතට පැමිණ තම දිගු කෙස්වැටිය තම අසිපතින් කපා දමා කෙස් වැටියත් අසිපතත් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කොට තමන් ඇඟලා සිටි රාජකීය යුද ඇඳුම් ගලවා දමා යෝගී ස්වරූපයෙන් මෙම ලෙන තුල බවුන් වඩා ඇත.
ඇයගේ අසිපත නෙරවන ගල්ලෙනට ආසන්න ස්ථානයක නිදන් කොට පැවති බවත් පසු කාලීනව එය නිදන් හොරුන්ගේ ග්‍රහණයට අසුවූ බවටත් ජනප්‍රවාදයන් පවතී.
පවරා කුමරියගේ හොඳම සේවිකාව වූ අංගු යක්ෂ ගෝත්‍රිකයන් විසින් පැහැරගෙන ගොස් සිංහරාජයට මායිම්ව ඇති ගල් ගුහාවක සිර කර තැබූ බවත් පසුකාලීනව එය අංගු ලෙන ලෙස ව්‍යවහාර වූ බවත් පැවසේ.
වර්තමානයේ සුමන ගල්ලෙන් විහාරය ලෙස දියුනුවට පාත්‍රවී ඇති නෙරවන ගල්ලෙන බොහෝ ඉදිකිරීම් තුලින් ජනාකීර්ණත්වයට පත් ව ඇත. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා පිඩු සිගා වඩින ආකාරයත්, සුජාතා කුමරිය බුදුරජාණන් වහන්සේට කිරිපිඬු පූජා කරන ආකාරයත් ගල්තලාව මත අවට ප්‍රදේශයට ම දිස් වන ආකාරයෙන් නිර්මාණය කර ඇත.
ප්‍රදේශය උසම ස්ථානය ලෙසින් පවතින ගල් තලාව මුදුනේ ගම්මානයටම පෙනෙන ලෙස චෛත්‍යක් නිර්මාණය කොට ඇත.
නෙරාවන ගල්ලෙන තුළ පසුකාලීනව බුදුගෙයක් ගොඩනඟා ඇති අතර වර්තමානය දක්වාම එහි වතාවත් සිදුකරනු ලබයි.
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර