සංචාරය

අප්පුහාමිගේ අහස් නවයේ පාලම

ඇල්ල පසුකර දෙමෝදර දක්වා ඇති යන දුම්රිය මාර්ගයේ හමුවන Nine arches නැතහොත් අහස් නවයේ පාලම ලංකාවේ පමණක් නොව විදේශීය සංචාරකයන් අතර ද බොහෝ ප්‍රසිද්ධියට පත් ස්ථානයකි.

අඩි සියයක් පමණ උසින් හා අඩි තුන්සියයක් පමණ දිගින් යුත් ආරුක්කු නවයකින් යුතු මෙම පාලම සුදු පාලන සමයේ ඉදි වූවකි. බදුල්ල දක්වා දුම්රිය මාර්ගය නිර්මාණය කිරීමේදී ඇල්ල හා දෙමෝදර අතර ඇති කොටුවල නම් ප්‍රදේශයේකඳු දෙකක් අතර පාලමක් යෙදීමට අවශ්‍යතාවයක් මතු විය. මේ සඳහා සැළසුම්කොට තිබුණේ යකඩ පාලමක් බවට මතයක් පවතී. වංගුවක් සහිත ව පාලම නිර්මාණය කළ යුතු වීම මෙහි දිග මත යකඩ පාලමක් යෙදීම අපහසු කටයුත්තක් විය. මේ හේතුවෙන් පාලම නිර්මාණය කළ සුදු ඉංජිනේරුවා දැඩි ගැටලුවකට මැදි විය.

වැලිමඩ ප්‍රදේශයේ උපන් අප්පුහාමි නම් ගැමියෙකු ෙතනට අවශ්‍ය වනුයේ මෙවන් ආකාරයේ පාලමක් යයි පවසා එය තැනීමට සහය වූ බව ජනප්‍රවාදයක් පවතී. අප්පුහාමි සිංහල කම්කරුවන්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවත් දුම්රිය මාර්ගය තැනීමේ දී ආරක්ෂක පැති බැමි නිර්මාණය කරමින් හා කළුගල් සිදුරුකර උමං තනමින් පිරිස මෙහෙයවූ බවත් කියවේ. පහළම නිර්මාණය කිරීම පිළිබඳ ගැටලුව මතු වූ පසු සුදු ජාතික ඉංජිනේරුවරයා අප්පුහාමිගෙන් මෙතනට කළ හැකි දෙයක් පවතීද කියා විමසූ විට තමන්ට සේවකයන් ලබා දෙන්නේ නම් පාලමක් ඉදිකළ හැකි බව අප්පුහාමි පැවසූ බව ජන ව්‍යවහාරයේ පවතී. සේවකයින් ලබා දුන්නද පාලම තැනීම පිළිබද වැඩි විශ්වාසයක් ඉංජිනේරුවරයා හට නොවූ බැවින් ඒ උදෙසා වැටුප් ලබා නොදෙන්නැයි යෝජනාකර පැවති බවද කියවේ.

කෙසේ හෝ සේවකයන් සමග අප්පුහාමි
මඩ වගුරක් ලෙසින් පැවති මෙම සානුව මතට කඳු මුදුනේ වූ ගල් කඩා පෙරළා මඩ සමඟ කවලම් කොට සවිමත් අත්තිවාරමක් නිර්මාණය කොට ඒ මත තනි කළුගලෙන් මෙම පාලම නිර්මාණය කොට ඇත.

අප්පුහාමි ගේ උත්සාහය හා දැනුම මත ආරුක්කු නවයකින් යුත් පාලමක් නිර්මාණය කරගත හැකි විය. එහෙත් ඒ මතින් දුම්රිය මාර්ගයේ යෙදුව ද දුම්රියක් රැගෙන යා හැකි ද යන්න පිළිබඳ සුදු ජාතිකයන්ට සැකයක් ඇති වූ කළ තමන් ගොඩනැඟූ පාලම පිළිබඳ තමන්ට විශ්වාස බවත් කෝච්චිය ගමන් කරන අතරතුර තමන් පාලම යට නිදාගෙන සිටින බවත් පවසා කෝච්චිය පැමිණෙන විට පාලම යට සරමක් එළා ඒ මත අප්පුහාමි නිදාගත් බව පැවසේ.

පාලම සාර්ථක වීම පිළිබඳ සතුටට පත් ඉංජිනේරුවරයා අප්පුහාමි ව වැළඳගෙන සතුට ප්‍රකාශ කළ අතර සේවකයින්ට නියමිත ආකාරයෙන් වැටුප් ගෙවීමට නිර්දේශ කොට ඇත. එසේම ඉංජිනේරුවරයාගේ ඉල්ලීම මත දුම්රිය දෙපාර්තමේන්තුවෙන් රිදී කාසි පිරි මලු අටක් තෑගි ලෙස අප්පුහාමිට ලබාදී ඇත.

එම තෑගි තනිවම ලබානොගත් අප්පුහාමි ඉන් අඩක් වැය කොට එවකට පැවැති වටිනා මෝටර් රථයක් ඉංජිනේරුවරයාට තෑගි ලෙස ලබාදී ඇත. එසේම තමන් සමග එක්ව පාලම තැනීමට වෙහෙසෙන සේවකයින් ජීවත් වූ පෙල්ලවින්න හා එරබද්ද යන ගම් දෙකේ මිනිස්සුන්ට ආහාර වේලක් හා රිදී කාසිය බැගින් බෙදා දුන් බව සඳහන් වේ.

සුදු පාලකයින් විසින් මරා දැමුණු හෙලයාගේ නිර්මාණශීලිබව තාක්ෂණික නිපුණත්වය මතුකර පෙන්වු තවත් එක් ස්ථානයක් ලෙස ආරුක්කු නවයේ අහස් පාලම පෙන්වා දිය හැකිය.

ආරුක්කු නමයෙ පාලම බලන්නට යන සංචාරකයින්කෝකෝච්චියක් පාලම පසුකොට යන ආකාරය නැරඹීමට පැය ගණනක් ඒ ස්ථානයේ රැඳී සිටිති. එයට හේතුව එය ඉතා අලංකාර දර්ශනයක් වීමයි. සයුර ගමන් කරන නාවිකයා ගොඩබිමක් දැකීම තම වාසනාවේ සලකුණක් ලෙස සලකන්නා සේ ම ආරුක්කු නමයේ පාලම බලන්නට පැමිණි මොහොතේ කෝච්චියක් ගමන් කිරීම එවන් හා සුභ දෙයක් ලෙස සංචාරකයෝ සලකති.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close