සංචාරය

කහඳ ගලින් සෑදු ආයුධ හමු වූ රාවණ ලෙන

බණ්ඩාරවෙල සිට ඇල්ල නගරය පසුකර කිලෝමීටරයක් පමණ ඇල්ල වැල්ලවාය දෙසට ගමන් කරන විට දකුණු පසට දැඩි නැග්මක් සහිත පටු මාර්ගයක් හමුවෙයි එය රාවණ විහාරය දක්වා වූ මාර්ගය යි. වාහන දෙකක් මාරු විය නොහැකියි දැඩි අවදානම් සහිත මෙම මාර්ගයේ කිලෝමීටර් එකහමාරක් පමණ ගමන් කළ යුතුය.

පුරාවිද්‍යාත්මක කියවීමට අනුව ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී වලගම්බා රජු විසින් මෙම ලෙන් විහාරය ඉදිකොට ඇත.රාවණ විහාරය පිළිබඳව පෙර සංචාරයකින් කරුණු හෙලි කල බව ඔබට මතක ඇති ඒ නිසා විහාරය පිළිබඳ මා මෙහිදී සටහන් නොකරමි. විහාරයට පිවිසීමට මීටර් කිහිපයකට කලින් රාවණ ලෙන වෙත යෑමට ඇති පියගැටපෙළ හමු වෙනවා. කෙසේ වෙතත් හාමුදුරුවන්ගෙන් අවසර නොගෙන රාවණ ලෙන නැරඹීම උදෙසා ගමන් කළ නොහැකියි.

පැහැරගෙන එනු ලබන සීතා කුමරිය මෙම ලෙන තුළ සඟවා සිටි බවට ජනප්‍රවාදයක් පවතී. එය රාවණ ඉතිහාසය තුළට සම්බන්ධව ඇති බොහෝ ස්ථානවලට ගොතා ඇති කතාවක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.

රාවණ පුරාණ විහාරයේ සිට කිලෝමීටරයකට ආසන්න දුරක් කඳු වැටියේ මුදුන දක්වා ගමන් කළ යුතු වේ. දහවල් කාලයේ දැඩි රශ්මිය පවතින මෙම කඳුවැටිය තරමක් වැසි සහිත කාලවලදී නම් සෞම්‍ය පරිසර තත්වයක් පවතී යැයි සිතිය හැකිය. කෙසේ වෙතත් රාවනා ලෙන දක්වා යන ගමන පරිසරය විඳීමට නම් කදිම ගමනකි. කදු මුදුනට යන තෙක්ම පසුපසින් රාවණ ඇල්ල ඉදිරියෙන් ඇති මහා නිම්නය හා කඳු වැටි මවන දර්ශනය මනස්කාන්තය.

රාවණ ලෙන දක්වා යන ගමන විනෝදයට මුල්තැන දීම වෙනුවට නිශ්ශබ්දව යා යුතු ගමනක් ලෙසින් පැවසිය යුතුය. එයට ප්‍රධානම හේතුව මෙම භූමිය තුල බඹර වද බොහොමයක් දැකගත හැකි වීමයි. බඹරුන් යනු අපේ පැරණි හෙළ ආත්ම භවට ඇති විශ්වාසය තවදුරටත් සනාථ වන කරුණක් ලෙසින් මෙය හැඳින්විය හැකි වේ.

අඩි 50ක පමණ උසකින් හා පළලකින් යුතු මෙම ලෙන ඉතා ආරක්ෂිත පිහිටීමක් රාවණ ලෙන තුල පවතින බවත් එහි පිවිසීමට පෙර ඒ දෙස බැලූ විට හොඳින්ම අවබෝධ කරගත හැකිවේ. පොළෝ මට්ටමේ සිට අඩි විස්සක් කට වඩා වැඩි උඩකින් ලෙන පිහිටා ඇත. වර්තමානයේ දී එයට යකඩ පඩි පෙළක් යොදා තිබුණද එදා එය පොළෝ මට්ටමට ඉහළින් පැවති බව සිතිය හැකිය.

රාවණ ලෙන පිළිබඳව සෑහීමකට පත්විය හැකි පුරාවිද්‍යාත්මක ගවේෂණය සිදු වී ඇති ද යන්න ගැන ගැඹුරින් සිතා බැලිය යුතුව ඇත. මා එලෙස පවසනුයේ 1949 වර්ෂයේ හා 1985 වර්ෂයේ දී මේ පුරාවිද්‍යාත්මක කැණීම් සිදුකළ ද එහි අවසන් නිගමනයන් සම්බන්ධයෙන් ඔහුනොවුන්ද සෑහීමකට පත්නොවන බව ට විවිධ මතවාදයන් පවතී.

පළමු ගවේෂණයේ දී පූර්ව ශිලා යුගයට අයත් ශරීර අස්ති කොටස් , තිරිවාන හා කහද යන පාශාණ උපයෝගී කරගනිමින් නිර්මාණය කර ගත් ආයුධ , වර්ණ ගැන්වූ මැටි බඳුන් හමුවී තිබේ. ලෙන තුළින් සොයාගත් අස්ථි කොටස් වල ගුරුගල් ආලේප කොට තැන්පත් කොට තිබීම විශේෂ ලක්ෂණයකි. දෙවන පුරාවිද්‍යා ගවේෂණය සාර්ථක නොවුණු අතර එයට හේතුව ලෙසින් පවසා ඇත්තේ පළමු ගවේෂණයේ අවිධිමත්භාවය තුළ දුරුව සාධක විනාශවී ගොස් ඇති බවය.

වර්තමානයේ දී බැලූ බැල්මට ලෙන සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති ආකාරයක් දැකගත හැකිවේ. පස් වලින් කඩා වැටුණු ගල් වලින් හා වවුලන්ගේ අසුචි වලින් මෙම ලෙන සම්පූර්ණයෙන්ම ගොඩවී ඇත. මෙහි අභ්‍යන්තරයෙන් උමං මාර්ග දෙකක් පවතින බවත් එහි එක් මාර්ගයක් දෝව පන්සල දක්වා ගමන් කරන බවත් අනෙක් මාර්ගය නුවරඑළිය දක්වා ගමන් කරන බවටත් ජනශ්‍රුතියක් වේ.

දෝව පන්සලලේදි මා ලත් අත්දැකීම පෙර ලිපියකින් සඳහන් කළ බැවින් මගේ වැටහීමද මෙය රාවණ මහ මාලිගාවේ පිවිසුම උදෙසා වූ සංකීර්ණ වූ උමං ජාලයේ දෝවේ පිවිසුම හා සම්බන්ධව පැවැති උමං මාර්ගයක් බවයි.

මෙහි දැන ඉදිරියෙන් ඇති මහා ආවාටය මහා මාලිගාව පිහිටි භූමිය හා සම්බන්ධ ව පවතින්නට ඇත. රාවණ ලෙන අවට ඇති ගල් හොඳින් නිරීක්ෂණය කළහොත් ඒවා අති තාපයට ලක් ව උණුවී ගිය ස්වභාවයක් ඇති බව දැකගත හැකිවේ. එවැනි තත්ත්වයක් කිසිසේත්ම ස්වභාවික තත්ත්වයන් තුළ ඇතිවිය නොහැකිය. එය සිදුවිය හැක්කේ උල්කාපාතයක් කඩා වැටීම හෝ යම් අධි විකිරණශීලී පිපුරුමක් තුළින් පමණක් බව මගේ විශ්වාසයයි. මෙම ගල් උණු වී යන්නට නම් රාම රාවණ යුද්ධය තුළ ඇතිවී යැයි කියන පරමාණුක පිපුරුම් මෙයට හේතු වී තිබිය යුතුය.

මා කලින් කියූ ආකාරයට මහා මාලිගය පුපුරා දැමූ මහා පිපිරුම් තුන හරහා මෙම ප්‍රදේශය ද පුපුරා යන්නට ඇත.

ඇල්ල ප්‍රදේශය සංචාරකයන්ගේ පුරවරයක් ලෙස නම් කරන්නටත් වැඩි සංචාරකයන් ප්‍රමාණයක් හා ගවේශකයින් ප්‍රමාණයක් පැමිණෙන්නට හේතුවී ඇත්තේ රාවණා ඉතිහාසය හා මෙම ප්‍රදේශය බැඳී පැවැතීමයි. එය පදනම් කරගනිමින් හෝ මෙම ස්ථානවල නිසි ගවේශනයක් හා මේ ස්ථාන නිසිආකාරයෙන් දැක බලා ගැනීමට හැකිවන අයුරින් උමන් මාර්ග සංවර්ධනය කිරීම කළ යුතුය.
එසේ කිරීම රාවණ යුගය විනාශ කර දැමීමක් ලෙස කෙනකුට සිතෙන්නට පුළුවන.. විනාශ වී යෑම සිදු වනුයේ තහවුරු කිරීමට වඩා තහවුරු කර නොතිබෙන තාක් බව හොදින් අවබෝධ කොට ගත් විට ඔහුනගේ අදහස වෙනස් වනු ඇත.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close