සංචාරය

ගල් වඩුවාගේ දෑතින් සමාධි ගත කළ බුදු පිළිමය

අනුරාධපුර වන්දනාවේ යන සෑම කෙනෙක්ම පාහේ දැක වැඳ පුදා ගැනීම උදෙසා සැදැහැ සිතින් යන ස්ථානයක් ලෙස සමාධි බුදු පිළිම වහන්සේ දැක්විය හැකිය.

සමාධි බුදු පිළිමේ වූ කලී හෙළ ගල්වඩුවාගේ දක්ෂතාවය සමස්ත ලෝකයටම රැගෙන ගිය අද්විතීය නිර්මාණයකි. අප මෙය කළු ගලකින් කළ ඉදිකිරිම යැයි ව්‍යවහාර කලද මෙය සත්‍ය වශයෙන්ම හුණුගල් මිශ්‍රිත පාෂාණ වර්ගයකින් ඉදිකරන ලද පිළිමයකි.

සමාධි බුදුපිළිමය නිර්මාණය වන්නට ඇත්තේ 4වන සියවසේදී පමණ යැයි විශ්වාස කළ ද එහි නිශ්චිත ඉදිකිරීම පිළිබඳ තොරතුරු නොපවතී.

මෙම පිළිමයෙන් බුදුරජාණන් වහන්සේ සමාධියට සමවැදී සිටින ආකාරය නිරූපනය වන බව එක් පිරිසකගේ මතය වන අතර තවත් පිරිසක් ඉදිරිපත් කරන මතය වනුයේ මෙහි දෑස අග හරහා අත්ල දෙසට යොමු කොට සිටින අයුරින් නිර්මාණය කිරීම හරහා ආනාපානසති භාවනාවේදී හුස්ම ධාරාව දෙස බලා සිටින ආකාරය මෙමගින් නිරූපණය කොට ඇති බවයි. කෙසේ වෙතත් මෙම පිළිමයේ පාද පිහිටා ඇති ආකාරය වීරාසන මුද්‍රාව ලෙස හඳුන්වයි. අත් පිහිටවා ඇති ආකාරය සමාධි මුද්‍රාව ලෙස හැඳින්වේ.

1886 වසරේ දී ආසනයෙන් ගැලවී බිම පතිත වී තිබූ මේ පිළිමය සොයාගන්නා අවස්ථාවේ දී එහි නහය පළුදු වී තිබූ අතර පළමු ප්‍රතිසංස්කරණයේදී ප්‍රමාණාත්මකව නහය දිගින් වැඩි ආකාරයට සකසා තිබුණි. පසුකලෙක යළි එය නිවැරදි කොට වර්තමානයේ පවතින ආකාරයට සකස් කරනු ලැබිණි. මෙහි දෙවන වර සකස් කිරීම සිදුකර ඇත්තේ රත්මලානේ පරමධම්මචේතිය විහාරයේ භික්ෂූන් වහන්සේ කෙනෙකු විසින් වීම විශේෂත්වයකි.

සමාධි බුදුපිළිමය පිහිටවා තිබි ඇත්තේ බෝධිඝරයක් තුළ ය. එම බෝධිඝරය ක්‍රිස්තු වර්ෂ 276-303 අතර රජකළ මහාසේන රජු විසින් ඉදිකළ බවට ඉතිහාසයේ සඳහන්ව ඇත. පුරාවිද්‍යාත්මක කැණීම් වලින් මෙම බෝධිඝරය මතු කරගෙන ඇති අතර එහි ඉදිකිරීම් ඉතා ක්‍රමානුකූලව පැවතීම තුල එකල ඉතා දියුණු ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණයක් පැවති බවට සාධකයක් යැයි පුරා විද්‍යාත්මක මතයයි.

මෙම බෝධිඝරය තුළ බෝධිය වටා සිව් දිශාවන් බලාසිටින ආකාරයට මෙවන් පිළිම වහන්සේ හතරක් පිහිටා තිබෙන්නට ඇතැයි සැලකේ. එසේ වුවත් දැනට හමුවී ඇත්තේ මෙම පිළිමය පමණි.

ඉතා සියුම් ආකාරයෙන් පවතින මෙම පිළිමය අතීතයේදී වර්ණ ගන්වා තිබූ බවට සාධක පවතී.ශරීර වර්ණයන් හා සිවුර වර්ණයන් අනුව වර්ණ ගන්වා තිබූ පිළිමය කාලගුණික විපර්යාසයන් හේතුවෙන් තනි වර්ණයකට ලක්ව පවතී.

සමාධි බුදුපිළිමය වැඩ සිටින්නේ අභයගිරි විහාරයට අයත් භූමිය තුළය. එහෙත් සමාජගතවී ඇති මතය වනුයේ සමාධි බුදුපිළිමය වැඩ සිටින්නේ මහමෙව්නාව තුළ බවය. මහමෙව්නාව අයත් වනුයේ මහා විහාරයටය. මහා විහාරය බවට පත් වන්නේ අතීත මහමෙව්නා උයන වන අතර වරින් වර පත්තු රජවරු මහා විහාරය උදෙසා අයත් භූමි සීමාවන් වෙන් කොට දී ඇත.

සමාධි බුදු පිළිමය දෙස නිසලව බලා සිටින්නෙකුට බුදුවරයකු තුළ ඇති මහා නිසල බව හා ගැඹුරු බව අවබෝධ කොට ගත හැකි වේ යැයි යන්න මගේ හැඟීමයි. එසේම යමෙකුගේ සිත සමාධිගත කර ගැනීමට අවශ්‍ය නම් මෙම පිළිමය සරල මගක් ඇති කර දෙන බව පැවසිය හැකිය.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close