සංචාරය

සිතාවක සොහොනේ ලියවුණු ආදරයට පලිගත් උණ කටුව

සීතාවක රාජසිංහ යුගය වු කලී අවසන් වරට ලංකාව උතුරු ප්‍රදේශය හැර එක් පාලකයෙකු යටතේ පැවති අවසන් වකවානුවයි. 15 වන සියවසේ සමෘද්ධිමත්ම යුගය වූ සීතාවක රාජසිංහ යුගය අවසන් වන්නේ ළඟම සිටි මිනිසුන්ගේ සතුරුකමක ප්‍රතිඵලයක් ලෙසින් යැයි කවුරුත් දන්නා කරුණකි.

එදා පරංගීන් දණ ගැස්සූ අසහාය පාලකයෙකු වූ සීතාවක රාජසිංහ රජු අද අවිස්සාවේල තල්දූව ගුරුගල්ල මාර්යගය අයිනේ වැතිර සිටින බව දකින කාගේත් නෙතට කඳුලක් උනනු නොඅනුමානය.

සීතාවක රාජසිංහ රජුගේ සොහොන යනුවෙන් කුඩා පුවරුවක් මාර්ගය අයිනේ දක්නට ඇත. එතැන් සිට විමසිලිමත්ව බලන්නෙකුට තරමක් ඈතින් වට කරන ලද ගල් කණු කිහිපයක් දැකගත හැකිවේ. ඒ වූ කලී 15 වන සියවසේ ලෝකයට අභියෝග කළ පරංගින්ද දණ ගැස්සූ සීතාවක රාජසිංහ රජුගේ සොහොනයි.

1596 දී පෘතුගීසි කොනප්පු බණ්ඩාරගේ සහය ඇතුව උතුරු දෙසින් කන්ද උඩරට ආක්‍රමණය කිරීමට සූදානම් වූ මොහොතේ එයට විරුද්ධව සීතාවක රාජසිංහ රජු සටන් මෙහෙයවීය. නමුත් බලන දුර්ගය පසු කර යෑමට රාජසිංහ රජුට හැකි වූයේ නැත. එම සටනින් පරාජයට පත් වූ රජු යළි සීතාවක කරා පැමිණෙන විට පෙතන්ගොඩ රාජකීය උයනට පැමිණි විට අසූ පිටින් මඩ වලකට වැටී දකුණු පාදයේ උණ කටුවක් ඇනුණු බවත් එය විස වී රජු මරණයට පත් වූ බවත් ඉතිහාසයේ සඳහන් වේ.

එකල්හි ලියැවුනු මානියම්ගම පුස්කොළ ග්‍රන්ථයේ හා ශෛලේන්ද්‍රසීංහ නම් පුස්කොල ග්‍රන්ථයේ සඳහන් වන පරිදි නුවර සටනින් පැරදුනු සීතාවක රාජසිංහ රජු පසු බසින විට තම පුත්‍ර තනතුරේ හැදුනු රාජසූරිය නැමැත්තාගේ පිරිස රජුගේ පා වලට පහර දුන් බවත් එමගින් දකුණු කකුල තුවාල වූ බවත් සඳහන් වේ. මේ පහරදීමට හේතුව වන්නේ දොඩම්පේ ගණිතයා ගේ දුවවු මල්වතී කුමරිය හා බැඳුනු සිදුවීම් පෙළයි.

රාජසුරිය කුමරු හා පෙමින් වෙලී සිටී මල්වතී කුමරියව දුටු රාජසිංහ රජු ඇය කෙරෙහි සිතක් පහල වී ඇයව මාලිගයට රැගෙනවිත් බිසෝ තනතුරේ තබාගත් බවත් ඇය අකාලයේ මිය යන බවත් ඉතිහාසයේ සඳහන් වේ. රාජසූරිය කුමරු මල්වතී කුමරියගේ පියා වූ දොඩම්පේ ගණිතයා රජු හා උරණ ව සිටි මුත් එය නොපෙන්වා වෙලාවක් එනතුරු ඔහු ළඟින් සිට ඇත.

යුද්ධයෙන් පැරදී පසුබසින රජුට පහර දෙන්නේ මේ වෛරය සංසිඳවා ගැනීම උදෙසාය. දොඩම්පෙ ගණිතයා විසින් මතුරා විස බඳින ලද්දේ මෙම පහරදීමෙන් ඇති වූ තුවාලයට බව පුස්කොළ ග්‍රන්ථයන්හි සඳහන් බව ඓතිහාසික සීතාවක ග්‍රන්ථයේ සඳහන් වේ.

මෙම ඓතිහාසික ග්‍රන්ථයන්ට අනුව රාජසින්හ රජු ගේ තුවාලයට පේදුරු තුමා නම් කිතු දහම වැළඳ ගත් පුද්ගලයකු ප්‍රතිකාර කර ඇත. ඔහු විවිධ විස වර්ග යොදා තලතෙලෙන් කකාරවා එය තුවාලයට බැඳ ඇත. සිංහල පැය දහයක් ගත වෙද්දී රජුගේ ශරීරය පුරා විෂ පැතිර යෑමත් සිංහල පැය දෙසිය විස්සක් ගත වෙද්දී විෂ පැතිර යාම කෙතරම් වීදයත් සම ගැලවී යන්නට විය. මෙම තත්ත්වය වඩා දරුණු වන්නට හේතු වූයේ දොඩම්පේ ගණිතයා විසින් මතුරා කරන ලද විස බැඳීමයි.

පෙතන්ගොඩ උයනට පැමිණි රජු ශරීරයේ විස උග්‍රවීම හේතුවෙන් මරණයට පත්විය. පෙතන්ගොඩ උයනේ සිට රජුගේ සිරුර මඟුලක බහා කැලණි ගඟ දිගේ සීතාවක මාලිගයට රැගෙන ආ බව ජනශුථියේ සඳහන් වේ. එහෙත් තවත් මතයක් වන්නේ කැලණි ගඟ දිගේ අඟුලක් මගින් රැගෙන දේහය සීතාවක ඔය හරහා රැගෙන විත් ගුරුගල්ල ආසන්නය සීතාවක රජුගේ සොහොන් ඇති ස්ථානයේ සොහොන් කළ බවයි.

ශරීරයේ විෂ පැතිරීම කොතෙක් වීදයත් සිරුර ඇල්ලීමට පවා කෙනකු ඉදිරිපත් නොවූ අතර අඟුල පිටින්ම රජුගේ මිනිය මිහිදන් කළ බවටද ජනශ්‍රැතියක් පවතී.

එහි සත්‍යතාවක් ඇතැයි කියාද සිතිය හැකිය. සීතාවක මාළිගයට ආසන්නයේ රජුගේ සොහොන ඉදි නොකොට මාලිගා සීමාවෙන් එපිට ඇළ මාර්ගයක් ආසන්නයේ රජෙගේ සොහොන ඉදිකිරීමට හේතු වූයේ එය විය හැකිය.

ඉතිහාසය පුරා ශ්‍රෙෂ්ඨ පාලකයන් අතින් සිදුවූ යම් යම් වැරදි මා තමා පසුපස පැමිණෙන බවට ඇති හොඳම සාක්ෂියක් ලෙස සීතාවක රාජසිංහ රජුගේ මරණය දැක්විය හැකිවේ.එසේම හෙළ ඉතිහාසය පුරාම සෑම ශ්‍රේෂ්ඨ යුගයක් ම නිමාවට පත්කර ඇත්තේ මාලිගාව තුළින්ම බව මේ සිදුවීම තුළින් ද මතුකර දැක්විය හැකිය.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close