සංචාරය

පළමු මුස්ලිම් ආක්‍රමණය වැළකූ තනිවැල්ලේ දෙවියෝ

දෙවියන් බිහිවන්නේ ක්‍රියාවෙනි. අප රට තුළ දතම ක්‍රියාකලාපය හේතුවෙන් දේවත්වයෙන් වැඳුම් පිදුම් ලබනා බොහොමයක් දෙනා වෙති. ඒ අතරතුර රජවරුන් ප්‍රාදේශීය පාලකයන් මෙන්ම සාමාන්‍ය මිනිසුන් ද වෙති. මහසෙන් දෙවියන්, ගලේ බණ්ඩාර දෙවියන්, මහලොකු මෑණියන්, රාජකීය ලේ සහිත වූවන් ලෙසින් දක්වාලිය හැකි අතර රංවල දෙවියෝ යනවා කැලණි ගඟ ආසන්නයේ ජීවත් වූ සාමාන්‍ය මිනිසෙකි.

තනිවැල්ලේ දෙවියෝ ද තම ක්‍රියාකලාපය තුලින් ම මිනිසුන් ගේ වැදුම් පිදුම් වලට ලක්ව දේවත්වයට පත් වූ දෙවි කෙනෙකි. සාමාන්‍යයෙන් ඉතිහාසයේ පාලකයෙකු වූ ජනතාවගේ ආදරයට පත්ව දේවත්වයෙන් වැදුම් පිදුම් ලබන්නට නම්ඒඒ පාලකයා රට සශ්‍රීක කළ ආගම පෝෂණය කළ ජනතාව සුඛිත මුදිත කළ පාලකයෙකු විය යුතුය. තනිවැල්ලේ දෙවියෝ දේවත්වයට පත් වන්නේ එවන් තත්ත්වයක් තුළ නොවේ. එයට හේතු වන්නේ වෙනස්ම කාරණයකි.

ඉතිහාසය පුරා වරින් වර ඉංග්‍රීසි ලන්දේසි පෘතුගීසි සොලී හා චෝල ආක්‍රමණයන්ට ලංකාව මැදිවු බව කවුරුත් දන්නා කරුණකි. එහෙත් ලංකාව මුස්ලිම් ආක්‍රමණයකට ලක් වූ බව දන්නේ ඉතා සුළු පිරිසකි. කෝට්ටේ රාජධානියේ ස්වර්ණමය යුගය සේ සැලකෙන වීර පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේ හලාවත ප්‍රදේශය ලංකාවේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් ලෙසින් පැවතුණු බව පෙනී යයි. මෙය කාලය වන විට පෘතුගීසීන් ලෝක වෙලඳාම අත්පත් කර ගනිමින් සිටි යුගයකි. එසේ වුවත් වීර පරාක්‍රමබාහු රජු පෘතුගීසීන් හා ගනුදෙනු කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබිණි . ඒ වන විට හලාවත හා ඉන්දියාවේ වෙළද ඒකාධිකාරය මුස්ලිම්වරු සතුව පැවතුණි. ආසන්නතම ප්‍රධාන වෙළෙඳ නගරය වූයේ දකුණු ඉන්දියාවේ‍ කායල්පට්ටනය නම් ඉතා දියුණු මුස්ලිම් වෙලද නගරයයි . එවකට එම නගරය අසාර් නම් පාලකයෙක් යටතේ පාලනය විය. ඔවුන්ගේ ප්රධාන වෙළඳාම සිදුවූයේ පෘතුගීසීන් සමග ය.

ලංකාවේ පාලකයා පෘතුගීසින් හා වෙළෙඳ ගිවිසුම් ප්‍රතික්ෂේප කිරීමත් සමග කදිරායන නම් මුස්ලිම් ආක්‍රමණිකයෙකු විශාල සේනාවක් සමඟ ඉන්දියාවේ කායල්පට්ටන් මුස්ලිම් වෙළඳ නගරයේ සිට හලාවතට පැමිණියේය. මෙසේ පැමිණි පිරිස තම බලය යොදවමින් මුතු කිමිදීමටත් මේ සඳහාම සඳහා රැස්කර ඇති බඩු භාණ්ඩ සහ ඇතුන් බලහත්කාරයෙන් ඔවුන් සතුකර ගැනීමටත් කටයුතු කර ඇත.

කෝට්ටේ පාලකයා වූ වීර පරාක්‍රමබාහු රජු මෙම මුස්ලිම් ආක්‍රමණය මැඩපැවැත්වීම භාරදී ඇත්තේ එවකට එම ප්‍රදේශ පාලනය පවරා දී තිබු තනියවල්ලභාහු කුමාරයාට සහ ඔහුගේ සොහොයුරා වූ සකල කලා වල්ලභ කුමාරයා හට ය.

තනිය වල්ලභාහු කුමාරයා හා සකල කලා වල්ලභ කුමාරයා යනු වීර පරාක්‍රමබාහු රජුගේ යකඩ දෝලිය නැතහොත් දෙවන බිසවගේ දරුවන් දෙදෙනාය. දෙවන බිසව යනු ප්‍රධාන බිසවගේ නැගණිය යැයි සැලකේ.රටේ පාලනය ස්ථාවරව පවත්වාගෙන යෑමේ අරමුණින් තම දරුවන්ට රාජ්‍ය කොටස් පාලනය කරගෙන යෑමට පැවරීම කෝට්ටේ රජු ගේ අදහස විය. තනියවල්ලභ කුමරු මාදම්පේ ප්‍රදේශය ත් සකල කලා වල්ලභ කුමරු උඩුගම්පල ප්‍රදේශය පාලනය කළ බව ඉතිහාසයේ සඳහන්ව ඇත.

තනියවල්ලභ කුමරු ඔහු අති දක්ෂ රණ ශූරයකු මෙන්ම අශ්වාරෝහකයෙකු බව ජනප්‍රවාදයේ සඳහන් වේ. රාජාවලියට අනුව කටු පිටි මාදම්පේ ප්‍රදේශයේ රජු ලෙස කටයුතු කළ තනියවල්ලභ කුමරු සැමවිටම සුදු ජටාවක් හිස පැළඳ සිටි බව කියවේ. එසේම ප්‍රදේශය පුරා සුදු අසකු පිට නැඟී අධික වේගයෙන් ගමන් කළ බව ජනප්‍රවාදයේ වෙයි.

හලාවත ප්‍රදේශයේ සිදුවු මුස්ලිම් ආක්‍රමණයත් සමග වීර පරාක්‍රමබාහු රජුගේ අණින් සහෝදරයන් දෙදෙනා තම සේනා සමඟ ගොස් ආක්‍රමණිකයන් පරාජය කොට තම බලය ස්ථාපිත කොට ගෙන ඇත.

එම සටනෙන් පසු 1518 දී පෘතුගීසීන් කොළඹ කොටුවේ ඔවුන්ගේ හමුදාවේ ආරක්ෂාව යටතේ වෙළෙඳ ගබඩාවක් හා බලකොටුවක් ඉදි කරන්නට වූ අතර එයට විරුද්ධව ඒ වන විට කෝට්ටේ පාලකයාව සිටි විජයබාහු රජුවද පොලඹවා ගනිමින් තනිය වල්ලභ රජු විශාල සිංහල හමුදාවක් රැගෙන ගොස් පෘතුගීසීන් හා සටන් කළ බව කියවේ. පෘතුගීසීන්ට විරුද්ධව ලංකාවේ සිදු කෙරුණු පළමු සටන මෙයයි.

මෙම සටන් අතරතුරම තම ප්‍රදේශය සංවර්ධනය වෙනුවෙන් කුඩා වැව් ගණනාවක් ඉදි කරන්නට තනිය වල්ලභ කුමරුට හැකිවිය. වර්තමානයේ දී ද ප්‍රදේශයේ ජල අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනෙන්නේ මෙම වැව් ය.

කොළඹ පුත්තලම මාර්ගයේ මාදම්පේ නගරයට ආසන්නයේ දක්නට ඇති තනිවැල්ලේ දේවාලය වෙන්ව ඇත්තේ මරණින් පසු දේවත්වයට පත්වූ තනිය වල්ලභ රජු නමිනි. දේවාලය ඉදිරියේ විශාල අස්සයෙකුගේ රූපයක් ඉදිකර ඇත්තේ එම දේවාලයේ ය. දේවාල බිමේ එක් පසෙකින් විශාල නුග ගසක් දැක ගත හැකිවේ. මෙම නුගරුක පිළිබඳව ඇලපාත මුදලිගේ කවි වල ද ගජමන් නෝනාගේ කවි වල මෙන්ම විදේශිකයන්ගේ ලිය කියවිලි වල ද සටහන්ව ඇති බව දැකගත හැකි වේ.

තම ප්‍රදේශය ආක්‍රමණිකයන්ගෙන් ගලවා ගනිමින් කෝට්ටේ පාලකයා යටතේ ම පවත්වාගෙන ගිය තනිය වල්ලභ රජුගේ මරණය සම්බන්ධයෙන් මතවාදයන් කීපයක් පවතී.

ඉන් එකක් වන්නේ රජුගේ බිසව රූපයෙන් අගතැන්පත් ඉතා දැහැමි තැනැත්තියකි. රජු මෙන්ම බිසවද එකිනෙකාට ආදරෙන් විසූ බව ඉතිහාසයේ සඳහන්ව ඇත. මේ අතරතුර ඇයගේ රූපයට වශිකෘත වු රජුගේ ප්‍රධාන ඇමතිවරයා ඇයව කෙසේ හෝ නතුකර ගැනීමට විවිධ උපා යොදා ඇත. මෙය අවබෝධ කරගත් බිසව මේ රජුට සැලකල හොත් ප්‍රධාන ඇමැතිවරයාට අගතියක් සිදුවන බව අවබෝධ කොටගෙන උපායෙන් එය මගහැර වීය. හලාවත සටන ඇති වනුයේ මේ අතරතුරදීය. සටනින් ජයගෙන ඒ බව සැළ කිරීමට රජුන් ඇතුළු පිරිස කෝට්ටේ රජු බැහැ දැකීමට ගොස් ඇත. එකල පැවති සම්ප්‍රදාය අනුව යුද්ධයක් ජයගත් විට සුදු කොඩියක් රැගත් පණිවුඩකරු මාලිගාවට පැමිණෙන අතර යුද්ධය පරාජය වූයේ නම් කළු කොඩියක් රැගත් පණිවිඩ කරුවෙකු මාලිගාවට පැමිණෙයි. යුද ජයග්‍රහණයෙන් පසු ඉක්මනින් තම බිසව ට මේ බව දැනුම් දිය යුතු බව සිතූ තනිය වල්ලභ රජු තම ප්‍රධාන ඇමතිට මේ පිළිබඳව මාලිගාවට දැනුම් දෙන ලෙස පවසා ඇත. තම යටි සිතේ වූ අභිප්‍රාය ඉටුකර ගැනීමට අවස්ථාවක් උදා වූ බව සිතා තමා සමග ගිය පිරිසට පසුව එන ලෙසත් තමා බිසවට විහිළුවක් කිරීමට සූදානම් බවත් පවසා කළු කොඩියක් රැගෙන මාළිගාවට ගොස් ඇත. ඔහු බලාපොරොත්තු වී ඇත්තේ දුකට පත්වන බිසවව සනසවමින් තම අභිප්‍රාය ඉටු කර ගැනීමටය. එහෙත් සිදුවී ඇත්තේ වෙනස් දෙයකි. තම සැමියා මිය ගියා නම් තමාට ද ජීවත් වීමෙන් ඵලක් නැති බව පවසා වේගයෙන් දිව ගොස් මාලිගාව අසල වූ තනිපිටි වැවට පැන සියදිවි නසාගෙන ඇත. කෝට්ටේ සිට ජයග්‍රාහීව පැමිණි රජුට මේ පුවත සැලවීමෙන් පසු කම්පාවට පත්ව තම වස්තුව තනි පිටි වැව ආසන්නයේ නිදන් කොට එහි ආරක්ෂාවට තම දරුවාගේ ගෙල සිය අතින් ම කපා දමා තමා ද සිය දිවි නසාගත් බව ජනප්‍රවාදයේ වෙයි.

දෙවන මතය වනුයේ තමන් යුද්ධයට ගිය අවස්ථාවේ දී පෘතුගීසීන් විසින් තම රූමත් බිරිඳව පැහැරගෙන යෑම හේතුවෙන් රජු සියදිවි නසා ගත් බවයි.

ඉතිහාසයේ සිදුවීම් දෙස බලන කල තනියවල්ල බාහු රජුගේ වඩා සාර්ථක අවසානය ලෙසින් සිතිය හැක්කේ ඊලග සිදුවීමයි. තනියවල්ල බාහු රජුගේ නැගණියකගේ පුත්‍රයෙකුවු කෝට්ටේ ව්‍යාඝ්‍රයා නමින් ප්‍රසිද්ධියට පත් වීදිය බණ්ඩාර කුමරු කෝට්ටේ බුවනෙකබාහු රජුගේ ප්‍රධාන සෙන්පතියා විය. ඒ වන විට කෝට්ටේ සිටි ප්‍රබලම රණශූරයා වූයේ වීදිය බණ්ඩාර කුමාරයා ය. මේ අතරතුර සීතාවක මායාදුන්නේ රජුගේ පුත්‍රයා වූ ටිකිරි කුමරු එලෙසින්ම ප්‍රබල රණශූරයකු විය. වීදිය බණ්ඩාර හා සීතාවක රාජ්‍ය අතර යම් ඝට්ටනයක් පැවති අතර තනිය වල්ලභ රජුගේ රාජ්‍ය හරහා යම් සේනාවක් ටිකිරි කුමරුට සහය දැක්වීමට ගමන් කළ බවට ඇති වූ සැකය මත වීදිය බණ්ඩාර කුමරු තනිය වල්ලභ රජ මාළිගාවට පැමිණ ඒ පිළිබඳව විමසා ඇත. ඒ වන විට මහලු වියේ සිටි තනිය වල්ලභ රජු එය විමසන්නට තමන්ට ඇති අයිතිය කුමක්දැයි විමසූ විට වීදිය බණ්ඩාර කුමරු එක් අසිපත් පහරකින් රජුගේ ගෙල සිඳ දැමූ බව ජනප්‍රවාදයේ වේ යි. ඉන්පසු කෝට්ටේ රාජයටම මාදම්පේ ප්‍රදේශයද ඈදා ගෙන පාලනය කොට ඇත. තනිය වල්ලභ රජුගේ අවසානය මෙය වෙන්නට ඇතැයි සිතන්නට හැකි තවත් එක් කාරණයක් වනුයේ වීදිය බණ්ඩාර කුමරු පසුකාලීනව වීදිය බණ්ඩාර තනියවැල්ල යන නාමය භාවිතා කිරීමයි.

මාදම්පේ ප්‍රදේශයේ ම මාළිගාතැන්න නමින් තනිය වල්ලභ රජුගේ මාළිගාව පැවැත්වූයේ යැයි විශ්වාස කරන තැනක් පවතී. එහිද විශාල නුග ගසක් පවතින අතර වර්තමානයේ දී ද තනිවැල්ලේ දෙවියන් නමින් එහි පහන් දල්වන මිනිසුන් දැක ගත හැකිවේ.

ප්‍රධාන මාර්ගය අසන්නයේ ඇති තනිවැල්ලේ දේවාලය සංවර්ධනය කොට ඇත්තේ 1850 පමණය. එනම් රජු මියයාමෙන් පසු ඉතා ආසන්න කාලයෙදීම මිනිසුන් රජුව දේවත්වයෙන් පුදා ඇති බවයි. එහි ඉදිරියෙන් සාදා ඇති අශ්ව රූපය සම්බන්ධයෙන් ජනප්‍රවාදයක් වෙයි. මාදම්පේ ප්‍රදේශයේ ජීවත්වූ වු හෙට්ටි ව්‍යාපාරිකයෙකු අසුන් දෙදෙනකු බැඳි කරත්තයකින් දේවාලයේ ඉදිරියෙන් ගමන් කරන විට එක් විටම අශ්වයන් කුලප්පු ව ව්‍යාපාරිකයාව බිම ඇද දමා කරත්තය ඇදගෙන වැව දෙසට දිව ඇත. දෙවන වරද අසුන් දෙදෙනා කරත්තය සමග පනිපිටිය වැවට පැන ඇත. ව්‍යාපාරිකයා ජීවිතය බේරාගෙන ඇත්තේ ඉතා අපහසුවෙනි. කෙසේ හෝ පසුදිනක හීනෙන් දර්ශනය තනිවැල්ලේ දෙවියෝ දේවාලය ඉදිරියේ අශ්ව රුවක් තනන්නයි පවසා ඇත. ව්‍යාපාරිකයා විසින් ලීයෙන් තනන ලද අශ්ව වර්තමානයේ අශ්ව පිලිමය ඇති ස්ථානයේ සවිකොට ඇත. අද දක්නට ඇති පිළිරුව නිර්මාණය කොට ඇත්තේ එම ලී පිලිමය මැදි කොට ය.

වර්තමානයේ දී ද තනියවැල්ල දෙවියන්ගේන් ප්‍රදේශයේ ජනතාවට මහත් අස්වැසිල්ලක් ලැබෙන බව එයට බාරහාර වන මිනිසුන් දෙස බලන විට සිතේ. එසේම එතුමා කරවූ වැව් වලින් පෝෂණයවන වෙල්යායවල ගොයම් පීදෙත්ම එම කුඹුරු මතින් සුදු ජටාවක් පැලඳීමට අසුපිට නැගි තනිවැල්ලේ දෙවියන් ගමන් කරන ආකාරය දුර මිනිසුන් බොහෝ සිටිති.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close