හෙළයාගේ අද්විතීය වාරි තාක්ෂණයෙන් ඉදිකළ කුට්ටම් පොකුණ
අභයගිරිය කියන්නේ හෙළ ඉතිහාසයේ සන්ධිස්ථානයක් කියන එක ටිකෙන් ටික මතුවන කතාවක්… අද මම යන්න හදන්නේ අභයගිරි විහාර භූමියට ම සම්බන්ධ තවත් එක් ස්ථානයක් වෙත.. ඒ තමයි කුට්ටම් පොකුණ…
අතීත හෙළයාගේ වාරි තාක්ෂණ හැකියාව මොනවාට මතුකර පෙන්වන ස්ථානයක් ලෙස කුට්ටම් පොකුණට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්… අභයගිරි බිමේ විශාල හා කුඩාපොකුණ හැට පහකට වඩා පැවති බව පොතපතේ සඳහන්ව ඇත. පොකුණු මෙතරම් ප්‍රමාණයක් පවතින්නට නම් අභයගිරිය මුල් කොට ගනිමින් භික්ෂූන් වහන්සේලා අතිවිශාල ප්‍රමාණයක් වැඩසිටින්නට ඇත. මක්නිසාදයත් ලිඛිත ඉතිහාසයට අනුව මෙම පොකුණු තැනී ඇත්තේ භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතාවයන් වෙනුවෙනි.
පොකුණු දෙකක් එකට පිහිට තිබීම යන අර්ථය මුල්කරගනිමින් කුට්ටම්පොකුණ යන නම සෑදී ඇතැයි එක් මතයකි. කුට්ටම් පොකුණ ඉදිවන්නට ඇත්තේ කුමන කාලේ කෙසේද යන්න පිළිබඳ පූර්ව නිගමනයකට එළඹ නැති වුවත් අභයගිරි විහාරය හා සමකාලීනව මෙම පොකුණු ඉදිවන්නට ඇතැයි සැලකේ. පුරා විද්‍යාත්මක මතය වනුයේ අටවන නවවන සියවස අතර මෙය ඉදි වන්නට ඇති බවයි.
පොකුණු දෙකම අඩි පනස් එකක් වූ සමාන පළලින් නිර්මාණය කර ඇතිමුත් දිගින් එකිනෙකට වෙනස් වේ. විශාල පොකුණ අඩි 132ක් දිගු වන අතර කුඩා පොකුණේ දිග අඩි 92 කි. විශාල පොකුණේ ගැඹුර අඩි 17.9 ක් වන අතර කුඩා පොකුණේ ගැඹුර අඩි 14කි.
පොකුණු දෙකටම වෙන වෙනම යෙදූ පඩිපෙළවල් දැකගත හැකි අතර ඒවායේ පඩි ගණනේ අසමානතාවක් පවතින අතර විශාල පොකුණ තුළ පඩි විස්සක් ද කුඩා පොකුණ තුළ පඩි දහ අටක් ද දැකගත හැකිවේ. පඩිපෙළ ආරම්භ වන්නේ විශාල පුන්කලස් දෙකක් අසලිනි. පුන්කලස තුළින් සශ්‍රීකත්වය සංකේතවත්වේ. මෙතෙක් හමුවී ඇති පුන්කලස් අතුරෙන් ඉතා අලංකාර ම හා ගෞරවාන්විත පෙනුමකින් යුත් පුන්කලස සේ සැලකෙන්නේ කුට්ටම් පොකුණේ ඇති පුන්කලසයි.
පඩිපෙළ යොදා ඇති ආකාරයට හා පොකුණ පිහිටීම අනුව සිතීමට හැකි කාරණාවක් වනුයේ භික්ෂූන් වහන්සේලා පඩි පෙළ මත වාඩිවී යම් බඳුනකින් ජලය ගෙන තම ශරීරය පිරිසිදු කරගන්නට ඇති බවයි.
කුඩා පොකුණ ආසන්නයේ ඇති විශේෂිත ඉදිකිරීමක් වෙයි. එය ලෝක ශිෂ්ටාචාරයේම දැනට මතුකර පෙන්වන්නට හැකි හෙලයාගේ ජල පෙරුම් තාක්ෂණය ජීවමානව පවතින ස්ථානය යැයි පැවැසිය හැකිය.මෙය කුඩාවට සැකසූ බිසෝ කොටුවක් ආකාරයට නිර්මාණය වූවකි.
භූගත නල මාර්ගයෙන් කුඩා පොකුණට පැමිණෙන ජලය එතනින් පෙරී රොන් මඩ ඉවත් වී නල මගින්ම කුඩා පොකුණටත් එතනින් නළ මගින් විශාල පොකුණට පැමිණෙන ලෙස සැකසී ඇත.
කුඩා පොකුණෙන් ගලා එන ජලය විශාල පොකුණට එක් වන්නේ මකර මුවක් තුළින් ගලා එමෙන්ය. ලෝක ශිෂ්ටාචාරයේ චීනය හා මායා ශිෂ්ටාචාර තුළ භූගතව ගලා එන ජලය මකර මුව තුළින් ගලා යන ආකාරයෙන් සකසා ඇති ස්ථාන දැකගත හැකිවේ. මෙහි දී මතු වන කාරණාව වනුයේ හෙළ නිර්මාණ ශිල්පියා හා ලෝක ශිෂ්ටාචාරය එකට බැඳුණේ කෙසේද යන්නය.
පඩිපෙළ දිගේ පොකුණට පිවිසෙන ස්ථානයේ සඳකඩපහණක් දැකගත හැකිවේ. කුට්ටම් පොකුණේ දක්නට ඇති සඳකඩපහණ තා විශේෂිත බව පුරා විද්‍යාත්මක මතයයි. මෙහි ඇති සඳකඩ පහණ ආකාරයේ සඳකඩපහණ ලංකාවෙන් හමුවී ඇත්තේ කිහිපයක් පමණි.
සම්පූර්ණයෙන්ම කළුගල් යොදා ගනිමින් ඉදි කළ හැකි මෙම පොකුණු පතුලට ද මනාසේ කැපු කළුගල් පතුරු අතුරා ඇති බව පුරාවිද්‍යාවෙන් සනාත කොට ඇත.
මෙම පොකුණු දෙකේම පවතින විශේෂත්වයක් වනුයේ නළ මාර්ගයෙන් ජලය පිරවීම කිරීම මෙන්ම ජලය ඉවත් කිරීමට ද වෙනම නල මාර්ග පද්ධතියක් පැවතීමයි.
පෙරමියන්කුලම වැව හා සම්බන්ධ නළ ජල පද්ධතියක් ඇත් පොකුණ හා සම්බන්ධව පවතින බවට පුරාවිද්‍යාත්මක සනාථ කිරීම් පවතින හෙයින් අපට සිතන්නට හැක්කේ ඇත් පොකුණ හා බැඳුණු භූගත නල පද්ධතියක් අභයගිරි විහාර බිමේ ඇති සියලු පොකුණු හා සම්බන්ධව පවතින බවය.
අභයගිරිය වූ කලී ආධ්‍යාත්මික සංවර්ධනය පමණක්ම හෙළයට දායාද කළ ස්ථානයක් නොවන බව අවබෝධ කරගන්නට ඇති සාධක අතුරින් මේ එකක් පමණි.
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර