සංචාරය

සුදු පාලකයින් දණ ගැසූ රාවණ රණබිම

බොල්තුඹේ සමන් දේවාලය බොහෝ ප්‍රසිද්ධ දේවාලයක්. බොල්තුඹේ සමන් දේවාලයේ සමග ප්‍රධානම සම්බන්ධ ඉතිහාස කතාව තමයි රාවණ දෙවියන්ට අයිති දඬුමොණරයක ආකෘතියක් මේ දේවාල භූමියේ තියෙනවා කියන කතාව.
දැනටත් එම රථය හා රාවණ දෙවියන්ගේ කොඩිය මේ දේවාලය තුළ තියෙන බව තමයි කියන්නේ…
බොල්තුඹේ සමන් දේවාලය පිහිටා ඇත්තේ බලන්ගොඩ සිට කිලෝමීටර් දාසයක් පමණ දුරකිනි.
සුදු පාලන සමයේ ප්‍රදේශය භාරව සිට සිටි සුදු ආධායම් පාලකයෙකු මෙම රාවණ රථය ලෙස නම් කල ලෝහ ආකෘතිය බලෙන් එලියට ගත් බවත් හෙණ පුපුරා ඔහුට යා නොහැකි ලෙස වැසි වසින්නට වූ බවත් අවසානයේ ඇතෙකුගේ පිට සුදු පාලකයාව පිටත් කර හැරි බවත් පසුව දින කිහිපයකින් ඔහු මිය ගිය බවටත් ජනප්රවාදයක් පවතී.

එහි සත්‍යතාව කුමක් වුවත් දේවාල භූමිය පිහිටි පරිසරය මනස්කාන්ත ජනකය. කඳු පන්ති කිහිපයකට මැදි වූ ඉතා රමණීය පරිසරයක පිහිටි මෙම බොල්තුඹේ සමන් දේවාලය ඉතා පැරණි ඉදිකිරීම් තාක්ෂණයන්ට අනුව සීතාවක රාජසිංහ රජුගේ උපදෙස් පරිදි ඉදිකර ඇත. දිග්ගේ සහිතව දෙවියන් උදෙසා මහල් කිහිපයකින් වූ ප්‍රාසාදයක් සහිතව ඉදිකර ඇති මෙම දෙවෙල හෙළ ඉතිහාසය සොයා යන්නන්ගේ නිරන්තර ගෞරවාදරයට පාත්‍ර වන ස්ථානයකි.

සමනළගිර මැදි කරමින් ඉදිකර ඇති ප්‍රධාන සමන් දේවාල හතරෙනි එකක් ලෙස බොල්තුඹේ සමන් දේවාලය සැලකේ. දැරණියගල සමන් දේවාලය , රත්නපුරය මහා සමන්දේවාලය , මහියංගනය සමන් දේවාලය හා බොල්තුඹේ සමන් දේවාලය මේ හතරයි . සීතාවක රාජසිංහ රජුගේ උපදෙස වී ඇත්තේ රත්නපුර මහ සමන් දේවාලයට යම් සතුරු පහරදීමක් සිදු වුවහොත් එහි දේවාභරණ බොල්තුඹේ සමන් දේවාලයට රැගෙන ආ යුතු බවයි.

මේ ස්ථානය රාම-රාවණ සටනට විශේෂ වශයෙන් උදව් කළ රණ භූමියකි. එයට හේතු වන පරිසරයක් මේ අවට පවතී. ඉදිරියෙන් දිස්වන කඳුවැටිය මාලිගා ප්‍රකාරයක් නැතහොත් කෘතිමව නිර්මාණය කරන ලද කඳුවැටියක් ආකාරයෙන් දිස් වෙයි. මාලිගා ප්‍රකාරයක් උඩ සවි කරන ආකාරයේ යම් ආරක්ෂිත ක්‍රමවේදයන් මෙම කඳු මුදුන්වල සවිකිරීමේ හැකියාව පවතී.එවිට පහලින් පැමිණෙන සතුරන්ට ඉතා පහසුවෙන් පහර දීමේ හැකියාව පවතින අතර කවාකාර ලෙස මෙම කඳු වැටි පිහිටීම තුළ ගිරි දුර්ගයක් තුළට සතුරන් සිර කිරීමේ හැකියාව ද එමඟින් ඇති වේ. මෙම ස්ථානය යුදමය අතින් ගත් කල ඉතා වැදගත් ස්ථානයක් බව පෙනී යයි.
ඉතිහාසගත තොරතුරු වලට අනුව රාවණ රජු ලක්ෂ්මණ ව මේ ස්ථානයේ දී පරාජයට පත්කොට ඇත.

රාවණ ඇල්ල ප්‍රදේශයේ පිහිටි මහා මාලිගය වෙත ගමන් කිරීමට එදා සබරගමුව හරහා පැමිණි රාම හමුදාවට ඉතා පහසුවෙන් පහර දීමට හැකි ස්ථානයක් ලෙසත් මහා මාලිගය දක්වා එම සේනාව පැමිණීම වැළැක්වීමට හැකි ස්ථානයක් ලෙසත් බොල්තුඹේ රණබිම ඉතා වැදගත් වූ බව මගේ හැඟීමයි.

කෙසේ වෙතත් බොල්තුඹේ සමන් දේවාලයට ඉදිරියෙන් ඇති දෙතනගල රාම කුමරු රාවණ රජුට පහර දීම උදෙසා තම දුන්නෙ දුනුදිය යෙදීමට තම දෙදණ පොළොවේ ගැසූ තැන යැයි මිනිසුන් පවසති. එසේ දුනුදිය යොදා රාවණ රජුට පහරදීමෙන් පසු රාවණ රජුගේ හිස කෙලින් වෙන්ව වලවේ ගං ඉවුරට පතිත වූ බවත් රාවණ රජුගේ හිස නැති කවන්ධය වත්මන් බොල්තුඹේ දේවාලය පිහිටි බිමට වැටුණු බවත් තවත් එක් ජනප්‍රවාදයකි.

වර්තමානයේ දී ද ප්‍රදේශයේ ඉදි කිරීම් ළිං පොකුණු කැණීම්වලදී ඊතලවලට සමාන ලෝහ පතුරු හමුවන අතර එසේ හමුවන ලෝහ පතුරු දේවාලයට බාර දීම එහි මිනිසුන්ගේ සම්ප්‍රදායකි. මිනිසුන්ගේ විශ්වාසය එසේ හමුවන්නේ රාම රාවණ යුද්ධයේදී සටනට යොදා ගත් ඊතල ය යන්නය.

අවට ප්‍රදේශයේ අදද රාවණ කන්ද, රාවණ කපොල්ල, සීතා ලෙන, රාස්සගල, ආදී නම්වලින් හෙළ ඉතිහාසයට සම්බන්ධ ප්‍රදේශ නාමයන් දැකගත හැකිවෙයි.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close