රනින් ලියා ධර්මය සුරුකි ආලෝක විහාරය
රන්පත්ඉරු වල ලියන ලද ධර්මය නිදන් කර සුරුකි ආලෝක විහාරය අද අපේ සංචාරයේ නැවතුමයි.
ආලෝක විහාරය යැයි කී විට ආගන්තුක වුවත් මාතලේ අළු විහාරය යැයි කී විට හුරු පුරුදු බවක් දැනෙනු ඇත.
අළු විහාරය පිහිටා ඇත්තේ මාතලේ නගරයේ සිට මහනුවර අනුරාධපුර මාර්ගයේ දඹුල්ල දෙසට සැතපුම් එකහමාරක් පමණ ගමන් කල විටය .
අළු විහාරය ඉපැරැණි ලෙන් විහාර අතරින් ජනාදරයට පාත්‍ර වූ පුදබිමකි. එයට බලපෑ ප්රධානම හේතුව වලගම්බා රජු විසින් මෙම විහාරය තුලදී එතෙක් මුක පරම්පරාවෙන් පැවත ආ ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කිරීම යි.
මෙම විහාරයේ ආරම්භය ක්‍රිස්තු පූර්ව යුගය දක්වා දිවෙන අතර දේවානම් පියතිස්ස රජු විසින් කරවන ලදයැයි සලකන සෙල්ලීපි කිහිපයක්ද දක්නට ඇත.
මහාවංශ කතුවරයා ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කිරීම පිලිබද වැඩි වැදගත් කමක් මතු කිරීමට උත්සහා නොකලද නිකාය සංග්‍රහයේ මනා පැහැදිලි කිරීමක් දක්නට ලැබේ. නිකාය සංග්‍රහය….
“මහා ස්ථවිර පරම්පරාවෙන් මුඛ පාළි වශයෙන් පැවත ආවා වූ ත්‍රිපිටක ධර්මය එක්තරා ජනපදාධිපතියක්හුගේ ආරක්‍ෂායෙන්, පන්සියයක් රහතන් වහන්සේ මාතුල නම් දනව්වෙහි අලුලෙන වැඩහිඳ පොත් සංගායනා කොට ලියවූ සේක” යනුවෙනි.
කෙසේ වෙතත් මෙම කාලය වන විට මහා විහාරික හා අභයගිරි වාසීන් ලෙස සාසනය දෙකඩ වී පැවතීම තුල කූටගත්තතිස්ස හිමියන් ප්‍රමුඛ රහතන් වහන්සේලාට පුර්ණ රාජ්‍ය අනුග්‍රහය හිමිවු බව සිතිය නොහැකිය. එවන් පසුබිමක මෙන්ම වසර දෙලසක බැමිණිටියාසායෙන්ද පර සතුරු ආක්‍රමණ හමුවේද දහස් ගණණින් රහතුන් වහන්සේලා පිරිනිවන් පාද්දී මතු පරපුර වෙනුවෙන් ධර්මය සුරුකීමට ගත් වෙහෙස ආලෝකයක් පමණක් නොව එය ස්වර්ණාලෝකයකි.
අන් ලෙන් විහාර වල හමු නොවු ලෙන් සුසානයක් මේ විහාරයේ දක්නට ඇත. මෙය ලංකාවේ බොහෝ ඈත යුගයේ දක්නට ලැබුණු චාරිත්‍රයකි.
චෛත්‍යය පිහිටා ඇත්තේ කදු මුදුනේය. එතැන් සිට බැලු විට ඈතින් පෙනෙන කදු මුදුනක රන් පැහැයෙන් දිදුලන විශාල බුදු පිලිමයක් දැකගත හැකිවෙයි.
ලෙන් විහාරයේ සිතුවම් ඉතා පැරණි ය. පහන් දැල්වීම උදෙසා ගලේ සාදා ඇති ත්‍රිකෝණාකාර සිදුරු පෙල යමි තාක්ෂණික ක්‍රමවේදයකින් මිස ගල් කටුවකින් මිටියකින් කලායැයි කියානම් සිතිය නොහැකිය.
මේ සියලු තැන් තුල දක්නට ඇත්තේ සැගව ගිය හෙල ශිෂ්ටාචාරයක නශ්ඨානශේෂයන්ය.
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර