සංචාරය

වෛද්‍ය නාථගේ පිලිරුව ඇති කුෂ්ඨරාජගල

වැලිගම මාතර මාර්ගයේ වැලිගම සිට කිලෝමීටර් එකහමාරක් පමණ දුරින් තරමක් ඇතුළට වන්නට ස්වභාවික කළුගලක නෙළා ඇති පිළිරුවක් වෙයි . එය ප්‍රසිද්ධව ඇත්තේ කුෂ්ඨරාජගල යන නමිනි.

අතීතයේදී අග්‍රබෝධි විහාරයට අයත් භූමියේ ම කෙළවරක මෙම පිළිමය පිහිටා තිබූ මුත් සුදු පාලකයන් විසින් දුම්රිය මාර්ගයේ යෙදීමෙන් මෙම පිළිමය පිහිටි කොටස හා විහාරය දෙකට බෙදුණි. මේ හේතුවෙන් කුෂ්ඨරාජගල අද වෙනම පුරාවිද්‍යාත්මක භූමියක් ලෙස පවතී.

අග්‍රබෝධි විහාරයේ ඉතිහාසය දෙවන පෑතිස් රජ යුගය දක්වා දිවයයි. අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය රෝපණය කිරීමෙන් පසු හටගත් දෙතිස් ඵල බෝධීන් වහන්සේලාගෙන් එකක් මෙම විහාරයේ රෝපණය කළ බව බෝධිවංශයේ සඳහන් වේ. එසේ රෝපණය කරන්නට නම් මෙම ස්ථානය එකල්හි විශේෂිත භූමියක්ව පැවති බව පෙනී යයි. විශේෂිත වන්නට හේතුවක් ද පවතී. එනම් මේ ආසන්නයේ පැරණි වරායක් පිහිටීමයි. මෙම ප්‍රදේශය පැරණි ග්‍රාම නාමයන් හී සඳහන්ව ඇත්තේ වැලිගම දහස් ගම් යන නාමයෙනි.

මෙම ප්‍රදේශයේ ජීවත් වූ එක් රජ කෙනෙකු ට කුෂ්ඨ රෝගයක් වැළදෙන අතර එය සුව වන්නේ නම් පිලිමයක් තනන බවට වූ භාරයක් මත මෙම පිළිමය ඉදිකල බවත් පසු කාලයේදී එය කුෂ්ඨරාජ ගල යනුවෙන් ව්‍යවහාර වන්නට වූ බව ත් පැරුන්නෝ පවසති.

පුරාවිද්‍යාත්මක කියවීම නම් ජයශ්‍රී මහා බෝධිය රෝපණය කිරීම හා සමගාමීව මෙහි අවලෝකීතේශ්වර බෝධිසත්ත්ව පිළිරුවක් ඉදි කරන්නට ඇති බවයි.

මෙම පිළිමය ඉදිකිරීම තුළ යම් විශේෂිත කාරණා ගණනාවක්ම දැකගත හැකි වෙයි. ස්වභාවික ගල හාරා පිළිමයට ආරක්ෂාව සැපයෙන අයුරින් ඉදිකිරීම තුළින් ස්වභාවික පරිසර සාධකයන්ගෙන් වන හානිය අවම වී ඇත. මෙම පිළිමයේ ඇති විශේෂත්වයක් වන්නේ පිළිමයේ ඔටුන්න හා සම වූ කොටසේ සමාධි බුද්ධ ප්‍රතිමා හතරක් දක්නට ලැබීමයි. පැරණි බෝධිසත්ව පිළිම වල සිරසේ සමාධි පිළිමයක් දක්නට ලැබීම සාමාන්‍ය කරුණක් වුවත් සමාධි පිළිම හතරක් මෙහි දක්නට ලැබීම විශේෂත්වයකි.

වල්ලිපුරම් සන්නසට අනුව අතීත ලංකාවේ පැවැති වරායවල් ආශ්‍රිතව අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිම ඉදිකර පැවති බව පෙනී යයි. ඉන් අදහස් කොට ඇත්තේ නාවිකයන්ගේ ආරක්ෂාව හා මහායානික ඇදහිලි සහිත භූමියක් බව ලෝකයට පෙන්වා දීම බව සමහරුන්ගේ විශ්වාසයයි.

කුෂ්ඨරාජ ගල සම්බන්ධයෙන් එවැනි මතවාදයන් රැසක් පවතී. මෙයට අමතරව තවත් ජනසෘති ගණනාවක්ම වෙයි. මෙම ප්‍රදේශය ආශ්‍රිතව ඉපැරණි වරාය නගරයක් පැවැති බවත් එය මුහුදට සේදී ගිය බවත් පැවසේ එසේම ම ආශ්‍රිත ප්‍රදේශයේ මාලිගාතැන්න ෙසින් හඳුන්වන ප්‍රදේශයක් වර්තමානය දක්වාම පැවති බව ඒ පිළිබඳ තොරතුරු දත් ගැමියෝ පවසති. එය බුදු දහම පැමිණීමට පෙර මෙම වරාය භාවිතාකල පාලකයන්ට අයත් බව ඔහුනගේ විශ්වාසයයි. ඒ අනුව මෙය එවකට සිටි යම් පාලකයෙකුගේ පිලිමයක් බව ඔවුනගේ විශ්වාසයයි.

කුෂ්ඨරාජ කළ සම්බන්ධයෙන් මාගේ මතය තරමක් වෙනස්ය. මෙම පිළිමයේ ඇත්තේ දේශීය හුරුව කි. ඉන්දියානු බෝධිසත්ව පිළිම ආභාෂයෙන් මිදී නිර්මාණය වී ඇති මෙම පිලීමය තුළ අප පොදුවේ දකින අවලෝකිතේශ්වර පිළිම වලට වඩා වෙනස් බවක් දැකගත හැකිවේ. එසේම මෙම පිළිමය නිර්මාණය කළ රජෙකු හෝ නිර්මාණය කළ කාලයක් පිලිබද පිළිබඳ කිසිදු ලිඛිත සාධකයක් දක්නට නැත්තේ අග්‍රබෝධි විහාරයේ බෝධි රෝපණයට පෙර සිට මෙම පිළිමය පැවති නිසා විය යුතුය.

අතීත ලංකාවේ රෝග සම්බන්ධයෙන් පැවැති විශ්වාසයන් තුළ වෛද්‍ය නාථ දෙවියන්ම තිබීම දැකගත හැකිවේ. යම් පිරිසක් වෛද්‍ය නාථ යනු නාථ දෙවියන් බවත් තවත් පිරිසක් විෂ්ණු දෙවියන්ගේ ස්වරූපයක් බවත් පවසති. එසේ වුවත් වෛද්‍ය නාථ යනු ඒ කිසිවකු නොව රාම-රාවණ සටනින් පසු විභීෂණට රාජ්‍යය භාර දීමෙන් පසු රාවණ රජු භාවිතා කල නාමයයි.
මා රාවණ ලිපි පෙළ තුළ වරින් වර මේ පිළිබඳ සඳහන් කර ඇති බව ඔබට මතක ඇති….

කුෂ්ඨරාජගල ඇති පිළිමයේ හා අනෙකුත් අවලෝකිතේශ්වර පිළිම අතර දක්නට ඇති ප්‍රධාන ලක්ෂණයක් වන්නේ උදර බන්ධනය යි. උදර බන්ධනය යනුවෙන් අදහස් වන්නේ උදරය හරහා ඇති අලංකාර ආභරණ යයි. බොහෝ බෝධිසත්ව පිළිමවල මෙය දැකගත නොහැකිය. මෙයට සමානව උදර බන්ධනයක් දක්නට ඇත්තේ දඹේගොඩ අවලෝකිතේශ්වර පිළිමයේය.

කුෂ්ඨරාජගල යනු තවත් එක් නොවිසඳුණු ඉතිහාසයක් සහිත ස්ථානයකි.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close