සංචාරය

නිදාසිටින රූමතිය සොයා රිටිගල ගියෙමු.

අපි අද යන්න බලාපොරොත්තු වෙන්නේ නිදා සිටින රූමතිය බලන්න. කවුරුද මේ නිදා සිටින රූමතිය කියලා කියන්නේ.. ඒ අන් කවරෙකුත් නොවෙයි හෙළ ඉතිහාසයේ විශ්මිත නිර්මාණයක් වූ රිටිගල කඳු පන්තියයි. නිදා සිටින රූමතිය යන නමින් මේ කඳු පන්තිය හැඳින්වීමට හේතුව වන්නේ ගුවනේ සිට මෙම කඳුවැටිය දර්ශනය වන්නේ නිදා සිටින කාන්තාවක් ආකාරයෙන් වීමයි.

රිටිගලට ළඟා වීම උදෙසා මාර්ග කිහිපයක්ම පවතී. ගලෙන්බිඳුනුවැව කැකිරාව මාර්ගයේ මහදිවුල්වැව හරහා ගමන් කරන මාර්ගය, කැකිරාව ගණේවල්පොල හරහා වූ මාර්ග ඔස්සේ රිටිගලට ළඟා විය හැකි වේ.

ප්‍රධාන ගමන් මාර්ගය වන්නේ අනුරාධපුර පොළන්නරු මාර්ගයේ මරදන්කඩවල in හැරී ගලපිටගල මංසන්ධියෙන් වමට හැරී ගමන් කළ යුතු මාර්ගයයි. අප ගමන් කළේ මේ මාර්ගය ඔස්සේය.

වෛදික යුගයෙන් පසු ඉදිකෙරෙන ගොඩනැගිලි බොහොමයක් නිදා සිටින කාන්තාවකගේ ශරීරයේ අවයව ස්ථානගත වී ඇති ආකාරය අනුව සැලසුම් කර ඇති බව පෙනී යයි. මේවා අතර මිසරයේ සොහොන් ගෙවල් මෙන්ම ඉන්දියාවේ දෙවියන් වෙනුවෙන් වෙන් වූ දෙවොල් ද ඒ අතර වේ.ලංකාවේ මෙවන් ආකාරයෙන්ම නිර්මාණය වූ කඳු වැටි තුනක් පවතින බව මා පෙරදී සඳහන් කලා.. රිටිගල කඳුවැටිය නිදා සිටින කාන්තාවක් ආකාරයෙන් නිර්මාණය වන්නේ ශක්ති ගබඩා කර ගැනීමේ වෛදික සංකල්පය උපයෝගී කොට ගනිමිනියි.

රිටිගල යන වචනය නිර්මාණය වීම උදෙසා බලපාන්නට ඇතැයි සිතිය හැකි කරුණු කිහිපයක් පවතී. පාලි භාෂාවෙන් අරිට්ඨ යනු කොහොඹ ගස හැඳින්වීම් උදෙසා යොදා ගනු ලබන වචනයකි. කොහොඹ ගසින් පිරුණු කන්ද යන අර්ථයෙන් අරිට්ඨ පබ්බත යන්න භාවිතා වූවා විය හැකිය. එසේ වුවත් වර්තමානය වන විට රිටිගල කොහොඹ ගස් බහුලව දැකගත නොහැකි වේ.

රිටි ආකාරයේ ගස් වැවුණු ගල රිටිගල වූ බවද තවත් එක් මතයකි. එසේම දේවානම්පියතිස්ස රජ සමයේ ය ශ්‍රී මහා බෝධි අංකුරයක් මෙරටට වැඩම කරවීම පිණිස රජුගේ අණින් ඉන්දියාවට පිටත් කළ අරිට්ඨ නම් අමාත්‍යවරයා ජීවත්ව හා පසුව මහණ වීඅරිට්ඨ තෙරුන් ලෙස බවුන් වැඩූ කන්ද අරිට්ඨ පව්ව ලෙස හැඳින්වූ බවත් එය පසු කාලීනව රිටිගල වූ බවත් තවත් මතයකි.

රිටිගල යනු මාගේ උපකල්පනයට අනුව අරිස්ථි පබ්බතයකි. අරිස්ථි පබ්බතයක් යනු ආරක්ෂක කන්දක් යන්නයි. අතීත ලංකාවේ ප්‍රධාන ස්ථාන කිහිපයක මෙවන් ආකාරයේ අරිස්ථි පබ්බත කිහිපයක්ම පිහිටා තිබුණි. සරලව පැවසුවහොත් වර්තමානයේ ආරක්ෂක මූලස්ථාන හා සමාන කාර්යයක් මෙම ස්ථානය මගින් සිදු කෙරුණි.

වැඩිම ජනප්‍රවාද හා බැඳී ඇති ස්ථානයක් ලෙසින් රිටිගල හැඳින්විය හැකි වේ. රාම රාවණ යුද්ධයේදී තුවාල ලබන ලක්ෂ්මණ කුමාරයාට ප්‍රතිකාරකිරීම උදෙසා හනුමාන් විසින් හිමාලයෙන් රැගෙන ආ කඳුමුදුනෙන් කොටසක් මෙහි පතිතවමෙන් මෙම කඳු වැටිය නිර්මාණය වූ බව තවත් ජනප්‍රවාදයකි.

ඈත අතීතයේ සිටම රිටිගල අවට ගම්මානවල මිනිසුන් මෙම වනාන්තරයට දැඩි බියක් දක්වයි. එයට හේතුව රිටිගල යනු යකුන්ගේ වාසස්ථානයක් යයි ඔවුන් විශ්වාස කිරීමයි. මෙම වනාන්තරය හා සම්බන්ධ බොහෝ අත්භූත සිදුවීම් පවතින බව ගැමියන් පවසති. රාත්‍රී කාලයේ තේරුම්ගත නොහැකියි ශබ්ද දේවතා එළ වලට සමාන ආලෝක අසන්නට දකින්නට ලැබෙන බවත් වනාන්තරයේ යම් යම් සීමා වලට යන ගැමියන් යකුන් දැක බය වෙන බවත් යම් මිනිසුන් යළි නො පැමිණි බවත් ගැමියෝ පවසති. දඩයමේ යන ගැමියන් පවසන පරිදි කඳු දෙකක් අතර එක් සීමාවකදී සතුන් ඉබේම අතුරුදහන් වන බවත් යම් දිනවල කඳුමුදුන් දෙකක සිට පහත්වී වනාන්තර මායිමේ ඇති වැව් වලින් යකුන් වතුර බොන බවටත් ජනප්‍රවාද පවතී.

ගෝඨයිම්බර හා රිටිගල යකුන්ගේ ප්‍රධානියා වූ ජයසේන අතර සිදුවූ සටන පැවතියේ ද මෙම රිටිගල ප්‍රදේශයේ ම බවත් එසේ මිය ගිය ජයසේන මහසෝනා බවට පත්ව මෙම කන්දේ ජීවත්වන බවත්ව වත් ජනප්‍රවාදයකි.

අරිට්ඨ පබ්බතය පිළිබඳ ලිඛිත සාධක දෙකක්ද පවතී. එකක් නම් රාමායනයට අනුව ලංකාවට ගිනි තබන හනුමාන් මුහුදට පැන ඇත්තේ අරිෂ්ඨ නම් කඳුමදුනේ සිට ය. එසේම පණ්ඩුකාභය කුමරු යුද්ධය සංවිධානය කොට ඇත්තේ අරිට්ඨ ගිරි පබ්බත නම් ස්ථානයේ සිටය.

පුරාවිද්‍යාත්මක ඉතිහාසයට අනුව රිටිගල ඇති බොහෝ ඉදිකිරීම් ක්‍රිස්තු වර්ෂ 275 ත් 301 ත් අතර මහසෙන් රජු විසින් ඉදිකර ඇත. මෙය බෞද්ධ ආරාම සංකීර්ණයක් ලෙස සැලකේ. වටකුරු හැඩයෙන් හතරැස් හැඩයෙන් නිර්මාණය කළ ගොඩනැගිලි මේ තුළ පැවත ඇති බව ඉතිරිව ඇති සාධකවලින් අවබෝධ කොටගත හැකිය.

මෙහි පවතින ගොඩනැගිලි කිහිපයකම විශේෂත්වය වනුයේ සතුන්ගේ පැමිණීම වැළැක්වීම උදෙසා ජලය මත ඉදිකර පැවැතීමයි. ප්‍රධාන ගණන්ගර ලෙසින් හැඳින්වුණු ගොඩනැගිලිවල ල අගලට අමතරව පිටින් ඇති දැවැන්ත ප්‍රකාරය මගින් අලින් වැනි විශාල සතුන්ගෙන් ආරක්ෂාව සපයා ඇති බව පෙනී යයි.

එසේම ආරම්භයේ සිට පෙත් මග ඔස්සේ මුදුනට ගමන් කරන සීමාවේ ස්ථාන තුනක පමණ පොකුණු නිර්මාණය කොට ඇත. පළමු පොකුණ විශාලවත් දෙවන පොකුණ තරමක් කුඩා වත් ඉහළම පොකුණ කුඩාම ආකාරයෙනුත් සකසා ඇත. මෙම පොකුණු නිර්මාණය කොට ඇත්තේ පායන කාලයේදී ගලින් සකස් කල පෙත් මග ඔස්සේ ගමන් කරන භික්ෂූන් පීඩාවට පත් වීම අවම කිරීම උදෙසා පා දෝවනය කරගැනීමට බව පුරා විද්‍යාත්මක මතයයි. මෙහි ගලින් ඉදි කළ ගොඩනැගිලිවලට අමතරව ලෙන් අසූවකට ආසන්න ප්‍රමාණයක් දැනට පවතින බව සොයාගෙන ඇත. දැනට හඳුනාගෙන ඇති ගොඩනැගිලි ප්‍රමාණය 143 කි.

රිටිගල දේශගුණික ස්වභාවය පිටවල පතන එමෙන්ම තත්ත්වයන් තුනකින් යුක්ත වේ. කඳුවැටියේ ඉහළ කොටස කදුකර තෙත් කලාපීය වනාන්තර ස්වභාවයකින් යුක්ත වන අතර කඳුවැටිය මැද කොටස යහපත් වර්ෂාපතනය තුළ සදාහරිත වනාන්තර ලක්ෂණ පෙන්නුම් කරයි. කඳු වැටියේ පහළ කොටස වියළි කලාපීය වනාන්තර තුළ දක්නට ඇති කටු පඳුරු හා එතරම් උස නොයන ශාක දැකගත හැකිවේ.

අනුරාධපුර නගරයේ ප්‍රධාන ජල සැපයුම් මාර්ගය වන මල්වතු ඔය ඇරඹෙන්නේද පෝෂණය වන්නේ ද රිටිගල රක්ෂිතය හරහා ය.

රිටිගල කඳුවැටිය කඳුමුදුන් කොඩි බැන්ද ගල, වෙඩි බැන්ද ගල, ඖෂධ කන්ද, පළතුරු කන්ද, ආඬියාකන්ද, ආදී නම්වලින් හැඳින්වේ. රිටිගල කඳුවැටියේ මාලිගාතැන්න නමින් හැඳින්වෙන ස්ථානයක් වේ. මාලිගාතැන්න ලෙසින් හඳුන්වන්නේ යම් මාලිගාවක් පිහිටි ස්ථානයකි. මෙහි රජ කෙනෙකු ජීවත් වූ බවට සාධක දක්නට නොමැති බැවින් අවබෝධකොට ගත යුතු සරල කාරණාව වන්නේ හෙළ යුගයේදී මෙහි යම් රජෙකුට අයත් පාලන ඒකකයක් පැවත ඇති බවයි.

රිටිගල පවතින විශේෂිත ම කාරණය වන්නේ ඉතා සියුම් ගල් පිරිද්දුම් තාක්ෂණයයි. ඉතා සියුම්ව ඔපමට්ටම් කළ ගල් පුවරු විශාල ප්‍රමාණයක් වනාන්තරය පුරා විසිර ඇති බව දැකගත හැකිවේ.

මෙය විහාරාරාම සංකීර්ණයක් ලෙස සැලකුවද මෙහි පවතින විශේෂිත ඉදිකිරීම් බොහොමයක් වෙයි. ඒවා අතර ජන්තාගරය විශේෂිතය. ජත්තාගරය යනු රෝගීන්ට වෙදකම් කරන ස්ථානයක් ලෙසින් අර්ථකථනය කළ ද එය එයට වඩා තරමක් වෙනස් ආකාරයක් ගත් කටයුත්තකට යොදා ගත් ස්ථානයකි. මෙහි රෝගී භික්ෂූන් මෙන්ම නීරෝගී භික්ෂූන් උදෙසා ද ප්‍රතිකාර කෙරී ඇති බව අවබෝධ කොටගත හැකිය. හෙළ වෙදකම තුළ පැවති කසාය සම්බාහන උණුදිය තැවීම් ආදී ශරීරයෙ නිරෝගීතාවය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යෑමට මෙම ජන්තාඝරය භාවිතා වූ බව දැනට එහි ඉතිරිව ඇති සාධක විමසා බලන විට අවබෝධ කොට ගත හැකි වේ.

අනෙක් සුවිශේෂී ම අංගය වනුයේ රිටිගල පිවිසුමේ ම දක්නට ඇති බැන්ද පොකුණ ලෙස නම්කල විශාල පොකුණයි. අක්කර දෙකක් පුරා පවතින්නට ඇතැයි සැලකෙන මෙම පොකුණ කළුගල් යොදාගනිමින් පඩියෙන් පඩිය පොකුණට බැසිය හැකි ලෙසින් සකස් කොට ඇත්තේ එහි වැඩ විසූ භික්ෂූන් වහන්සේලාට ජලයේ බැස දිය නෑමට හැකිවන අයුරිනි. සරලව ගතහොත් මෙය කුඩා වැවක් හා සමාන යයි සිතිය හැකිය. ජල ගැලුම් මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කරගත හැකි ලෙස සකස් කර ඇති මෙම පොකුණ මගින් පායන කාලයකදී වුවද ආරාම යේ ජල අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් ව පවතින්නට ඇත.

එසේම මෙහි කඳුමුදුනේ චෛත්‍ය පැවති බවට සාධක පවතී. කිසිදා නොසිදෙන ගලින් කළ ළිඳක් මෙහි වෙයි. ස්වභාවිකව ජලය ගමන් කරන පිහිලි යොදා ගනිමින් සකස් කළ වහලවල් යෙදු ගලින් කල ගොඩනැගිලි මෙහි පැවති බවට සාධක සුළු ප්‍රමාණයක් තවමත් ඉතිරිව පවතී.

රිටිගල කඳුවැටියේ උසම ස්ථානය ලෙසින් සැලකෙන කොඩිගල කන්ද කොඩි බැඳ කන්ද යනුවෙන් ද විවාහ වෙයි. සෑම පැරණි රාජධානියක් පැවති ස්ථානයකම තම රාජ්‍යයට අයත් කොඩිය රඳවා තැබූ කඳු මුදුනක් පැවතුණි. ආරාම සංකීර්ණයක් පැවැති තැනක කොඩි බැඳි කන්දක් සහ මාලිගාතැන්න පවතින්නේ කෙලෙසද යන්න සිතා බැලිය යුතු කරුණකි.

රිටිගල රක්ෂිතය තුළ ලංකාවට ආවේණික අති දුර්ලභ ශාක විශේෂ පනස් හතරක් පවතින අතර ඉන් පහක් රිටිගලට පමණක් ආවේණික වූ ඒවාය. රිටිගල අධි රක්ෂිතයක් කිරීමට ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ මෙයයි.

රිටිගල අධි රක්ෂිතයක් බැවින් සංචාරකයන්ට ගමන් කළ හැක්කේ සීමිත ප්‍රදේශයක් තුළ පමණි. ඉන් ඔබ්බෙහි අතිවිශාල පුරාවිද්‍යාත්මක සාධක විසිර පවතින බව නොරහසකි. තවමත් පුරාවිද්‍යා ඇසට අසු නොවුණු බොහෝ සාධක පවා මේ තුළ විසිර පවතින බව අමුතුවෙන් කිව යුතු නැත.

රිටිගල ලෙන් ආශ්‍රිතව පවතින සෙල්ලිපි පිළිබඳව අවධානය යොමු කිරීමේදී වත්මන් අරුතින් පරුමක , බ්‍රාහ්මණ , මහ රජ හා ස්වාමී යන අයට අයත් ලෙන් පැවත ඇති බව පෙනීයයි. ” බත වසුහ ලෙණේ ” මෙහි බත යන්නේන් අර්ථ ගැන්වෙන්නේ ස්වාමි යන අරුත විය යුතුය. ආරාම සංකීර්ණයක් ගොඩනැගීම උදෙසා එහි පෙර ජීවත්වූ බ්‍රාහ්මණ වංශිකයන් තම ලෙන් පූජා කොට ඇති බව මින් අවබෝධ කොටගත හැකිය.

මා පෙර ලිපියකින් හඳුන්වාදුන් දහඅට වංගුව අවසානයේ ඇති ඉපැරණි සංඛනාථය හා බොහෝ සමාන ලක්ෂණ වලින් යුතු තවත් එක් අරිස්ති පබ්බතයක් ලෙසින් රිටිගල හඳුන්වා දිය හැකි වෙයි. මෙය ආරක්ෂක පබ්බතයක් ලෙසින් පවත්වාගෙන යන්න ප්‍රධානම හේතුව වූයේ හෙළ යුගයේදී පළිඟු හා මාබල් යොදා ගනිමින් සකස් කළ ඉතා සංකීර්ණ තාක්ෂණික හා යුධමය උපකරණ මෙම භූමියේ සකස් කළ බව මා භාවනාව තුළින් ලත් තොරතුරකි. අදටත් මෙම කඳුවැටි පුරා පලිගු වර්ග හා මාබල් වර්ග විසිර පවතින බව සඳහන් වේ. එහෙත් මෙම භූමිය අධි රක්ෂිතයක් බැවින් මේවා පිළිබද නිසි වටහාගැනීමක් අපට කළ නොහැකිය.

මෙම ගමනේදි අම්මා ලත් අත්දැකීමක් නැවත මතක් කිරීම සැදුසුයැයි මට හැගේ….

මේ ඇය ලියු සටහනකි.

කදු මුදුනේදී මට දැහන් ගත වීමට අවස්තාව ලැබුනි.

මෙහි නියම හිමිකරු කවුද මම ඇසුවෙමි.

” මම”

මා අහියස උස් මිනිසෙක් ඔලුව වසාගෙන පිටුපස හරවා සිටිනු මම දුටුවෙමි
” මට ඔබේ මූණ පේන්නේ නෑ “මම කීවෙමි

මහ හඩින් කදු ශිඛරය ම ගිගුම් දෙන්නට සිනාසුනු ඔහු
” ඇයි ඔබ මාව දැක තියෙනවානේ මීට පෙර ”

“මම? කොහෙදිද ?”

” ඔබේ බිමට මං ආවේ ”

ඔහු මට යලිත් පෙරදා සිදුවීම සිහිපත් කර දුන්නේය

එතැන් සිට අප අතර විනාඩි 20-30 ක් පමන සංවාදයක් ගොඩනැගුනි

ඔහු යකදුරන් කියා පාන්නා සේ මගේ ඇගට කඩා නොපැන බොහොම ඉවසීමෙන් සංවරව මාගේ සියලු පැනයන්ට පිලිතුරු දෙමින් මා නොදත් බොහෝ දේ කියා දුන්නේය.
අවසන මා සෑම තැනකදී මෙන් ඔහුගෙන් පැනයක් ඇසුවෙමි

ඔබ ඔය කී සියලු දේ මා සත්‍යය යැයි පිලිගන්නේ කොහොමද?

ඔබට පල්ලම් බහිද්දී විශේෂිත පාෂාණයක් ලැබේවි. එය ඉදිරියේදී ඔබට ඇවැසි විටක මා කැදවීමට යතුරයි

මම ඔහු තදින් විශ්වාස නොකලද ඔහු කී දෙය කී තැනදිම ලදිමි.

ඔහු ජීවමාන මිනිසාට වඩා සත්‍ය ගරුක නොවන්නේද ඔහු ගැන ඇති වූ හර්දයාංගම විශ්වාස යත් ලෙන්ගතු බවත් සමගම මම ගමනාන්තය කලෙමි.

” ගුරුතුමනි ඔබතුමා මොනවත් දුටුවාද ? ”

ඔව් හැම විටම අපිට අඩි 20 ක් විතර පසුපසින් එදා ආව අම්මගෙ යාලුවා නම් ගමන පුරාම හිටියා මං දැක්කා . ඔය ඉන්නේ දැනුත් අඩි 20 ක් විතර එපිටහින්”
ගුරුතුමා කිවේ නඩයේ කිසිවෙකුටත් නෑසෙන සේ හොර රහසේය.
එසේ නම් මා අත්දුටු සියල්ල සත්‍යයකි .

ආපසූ හැරී අවසන් වරට ඔහුට ආචාර කල මා රිටිගලින් නික්මුනෙමි.

මේ තරම් සුහදශීලිත්වයක් ඇත්තෙකු යකදුරන් විසින් ලොවට විකෘති කර දක්වන්නේ ඇයි?

ඉදිරි දිනක ඔහුගෙන්ම අසා දැන ගන්නා තුරු තවමත් එය මසිතට වද දෙන ගැටලුවකි…..

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close