50 වැනි සංචාරයට ජය ශ්‍රී මහා බෝධිය වදිමු
ලිඛිත ඉතිහාසයක් සහිත ලෝකයේ පැරණිම වෘක්ෂය ලෙසින් සැලකෙන්නේ බෞද්ධයාගෙ මුදුන් මල්කඩක් වු ජය ශ්‍රී මහා බෝධිය යි. අපි බෝ ගස ලෙසින් අර්ථකථනය කළ ද සත්‍ය වශයෙන් ජය ශ්‍රී මහා බෝධිය වූ කලී ඇසතු වෘක්ෂයකි.
ජයශ්රී මහා බෝධිය වූ කලී දේවානම්පියතිස්ස රජු දවස අශෝක අධිරාජයාගේ දියණිය මෙන් ම මිහිඳු මහරහතන්බ වහන්සේගේ නැගණිය වු සංඝමිත්තා තෙරණිය විසින් රැගෙන ආ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේදී පිටදුන් ජයසිරි මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ අංකුරයකි.
ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී යාපා පටුනෙහි මාදගල් වරායට රුගෙන ආ ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ පිළිගැනීමට දේවානම්පියතිස්ස රජු කර වටක් මුහුදේ බැස ගිය බව කියවේ. ඒ එදා රජවරුන් තුළ පැවැති භක්තියයි.
එසේ රැගෙන ආ බෝධීන් වහන්සේ මහමෙව්නා උයනේ රෝපණය කළේය. බෝධි වංශයේ සඳහන් වන ආකාරයට එසේ සිට වූ සැනින් ආශ්චර්යක් පාමින් අෂ්ඨඵල බෝධීන් පැන නැගී ඇත. එසේ හටගත් බෝධීන් 8 ලංකාවේ දිශා අට තුළ රෝපණය කර ඇත.
දඹකොලපටුන , තන්තිරිමලේ , ථුපාරාමය , කසුන්ගිර වෙහෙර , පඨමක සෑය , සෑගිරිය , කතරගම , සදගිරිය එම ස්ථාන අටයි.
අෂ්ඨ පලයන් හටගැනීමෙන් පසු දෙතිස් පලයන් ඇතිවූ බවත් ඒවා ලංකාවේ ස්ථාන තිස් දෙකක රෝපණය කළ බවත් බෝධිවංශයේ සඳහන් වේ. එම බෝධීන් දෙතිස් ඵල බෝධීන් නමින් හැඳින්වේ.
බුදුදහම යනු දර්ශනයක් මිස ඇදහීමක් නොවන බව සමහරුන්ගේ තර්කයකි. එහෙත් බෝධියේ ඉතිහාසය බුදු හිමියන් වැඩ සිටි යුගය දක්වා දිව යන බව බෞද්ධ සාහිත්‍යය පරිශීලනය කිරීමේ දී පෙනී යයි.
බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ නොසිටින විට උන්වහන්සේ ව දැකබලාගැනීමට දුර බැහැර සිට පැමිණෙන මිනිසුන් උදෙසා වන්දනාමාන කිරීමට යමක් ඇවැසි බව ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේට දැන්වූ විට බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ ඉදිරිපිට බෝගසක් සිට වන්නට උපදෙස් දුන් බව බෞද්ධ සාහිත්‍යයේ දැකගත හැකිවේ. ඉන්පසු එසේ පැමිණෙන මිනිසුන් බුදුරජාණන් වහන්සේට දක්වන ගරු සැලකිලි එම බෝධියට සිදු කළ බව සඳහන් වේ.
සංඝමිත්තා තෙරණිය ජය ශ්‍රී මහා බෝධිය රැගෙන ලංකාවට පැමිණීමට පදනම් වූ සමාජයීය කාරණාවන් කිහිපයක්ද පවතී. එහි මූලිකම අවශ්‍යතාවය වූයේ ලංකාවේ මෙහෙණි සසුන පිහිටුවීමයි. සංඝමිත්තා තෙරණිය සමග තෙරණියන් 11 පැමිණි බව සඳහන් වේ. මෙසේ පැමිණි තෙරණියන්ගේ මුල් වීම මත ලංකාවේ මෙහෙණි සාසනය පිහිටුවන වන අතර ප්‍රථමයෙන්ම දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරා සේ සැලකෙන මහානාග රජුගේ බිසව වූ අනුලා බිසව හා පන්සියයක් තරුණියෝ ගිහිගෙය අතහැර පැවිදි වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
ජය ශ්‍රී මහා බෝධිය ලංකාවට රැගෙන එන අවස්ථාවේ බෝධි වන්දනාව හා සබැඳි කාර්යයන් ඉටු කිරීම උදෙසා 18 කුලයක් රැගෙන ආ බව කියැවේ.
ජයශ්‍රී මහා බෝධිය භාරව සිටින්නේ කළු බණ්ඩාර නම් දෙවි කෙනෙකි. බණ්ඩාරවරු යනු හෙළ දෙවිවරු බව අප දන්නා කරුණකි. කළුබණ්ඩාර දෙවියන් සම්බන්ධව බොහෝ මතවාදයන් පවතී. ඒවා කෙසේ වෙතත් කළුබණ්ඩාර දෙවියන් යනු බෝධිය ආරක්ෂාවට මෙන්ම ජය ශ්‍රී මහා බෝධිය වැඳ පිහිට ඉල්ලන මිනිස්සුන්ගෙ අදහස් ඉටු කරන දෙවියකු ලෙසද ප්‍රසිද්ධය.
ඇසතු යන්න අශ්වත්ථ යන නාමයෙන් බිඳී ආ පදයක් යැයි විශ්වාසයක් වෙයි. වෛදික සම්ප්‍රදායන් තුළ ද අස්වත්ථ වන්දනය නම් වන්දනා ක්‍රමයක් පවතී. එය බෝධි වන්දනය හා සමානය.
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර