සංචාරය

තරු අතරට මැදිව හෙළ විරුවන් බිහිකළ යුදගනාව

වැල්ලවාය මොනරාගල මාර්ගයේ වැල්ලවාය සිට කිලෝමීටර් දාසයක් මොනරාගල දෙසට ගමන් කළ විට යුදගනාව ග්‍රාමය හමුවේ. පළාතේ ඇති විශාලතම පැරණි දාගැබ පිහිටා ඇත්තේ එහිය.

ක්‍රිස්තුපූර්ව දෙකේ දී පමණ දුටුගැමුණු රජු තම සොහොයුරා වූ සද්ධාතිස්ස කුමරුට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන අතර ඔවුන් දෙදෙනා අතර යුද්ධය සිදුවූ අංගනය යන නම මුල්කොට ගනිමින් යුධගනාව යන නම සෑදුනු බව ජනප්‍රවාදයේ වේ. එය එක් මතයක් පමණි. හෙළ යුධ ඉතිහාසයේ මහා සන්ධිස්ථානයක් ලෙස සැලකෙන යුදගනාව වූ කලී අතීත රණකාමී සෙබළ බලමුළු යුධයට ගැළපෙන සේ තැනූ රණබිමකි.

දුටුගැමුණු කුමාරයා හා සද්ධාතිස්ස කුමරු අතර ඇතිවූ සටනට හේතු වූයේ කාවන්තිස්ස රජුගේ මරණයෙන් පසු ාජ්‍යත්වය උරුම වන්නේ කාටද යන ගැටලුවයි. කාවන්තිස්ස රජුගේ මරණය සිදු වන මොහොත වන විට දුටුගැමුණු කුමරු මාලිගය අතහැර ගොස් මාගම්පුරයේ සිට එළාර හා සටන් කරන්නට සැලසුම් සකස් කරමින් පසුවිය. කාවන්තිස්ස රජුගේ මරණයත් සමග දුටුගැමුණු කුමරු රාජ්‍යත්වයට පත් වේ යැයි සැක සිතූ සද්ධාතිස්ස කුමරු රාජ්‍ය ගෞරවය සංකේතය ලෙසින් එලෙස සැලකූ කාවන්තිස්ස රජුගේ බිරිඳ වූ විහාර මහා දේවිය හා මගුල් හස්තියා කඩොල් ඇතු රැගෙන දිගාමඩුල්ලට පලාගියේය.

එළාර හා සටන් කරන්නට සමස්ත ජාතියේම කැමැත්ත තමන් වෙත ලබාගත යුතු බව අවබෝධ කරගත් දුටුගැමුණු කුමරා තම මව වූ විහාර මහා දේවිය හා කඩොල් ඇතු තමන් වෙත එවන මෙන් පණිවිඩ කිහිපයක් ම තම සොයුරා වෙත යවා ඇත. එහෙත් ඒ කිසිවකට වත් ප්‍රතිචාර නොදැක්වූ බැවින් අවසානයේ සද්ධාතිස්ස කුමරුට විරුද්ධව ුද්ධ ප්‍රකාශ කරන්නට සිදුවිය.

ඔවුන් දෙදෙනා අතර සටන් සිදු වුයේ යුදගනාව නම් ග්‍රාමයේ බවට මා පෙර කී ලෙසින් ජනප්‍රවාදයක් පවතී. සද්ධා තිස්ස කුමරුගේ සේනාව පරාජයට පත් කරන දුටුගැමුණු කුමරුට බියෙන් පලා යන සද්ධාතිස්ස කුමරු භික්ෂූන්ගේ මැදිහත්වීම තුළ ජීවිතය බේරගන්නා අතර අවසානයේ සහෝදරයන් දෙදෙනා සමගි වේ. මෙම යුද්ධයෙන් පසුව සහෝදර බැඳීම් බිඳවැටීම හා පවුලේ ගැටුම් පිළිබඳ ඇති වූ කලකිරීම මත සද්ධාතිස්ස කුමරු විසින් මෙම දාගැබ ඉදිකළ බව කියවේ.

ඌව පළාතේ විශාලතම දාගැබ ලෙසින් ඉදි කරන්නට සැළසුම් කළ යුදගනාව දාගැබ අතරමග නවතා ලන්නට සද්ධාතිස්ස කුමරුට සිදුවූයේ එළාර රජු පරදා අනුරාධපුරේ කිරුළු පළදින දුටුගැමුණු කුමරු හදිසියේ රෝගාතුර බවට පත්ව තම සොහොයුරාට අනුරාධපුරයට පැමිණෙන ලෙස කැඳ වූ බැවිනි.

සද්ධාතිස්ස කුමරු අතරමග නවතා දැමූ යුදගනා වෙහෙර පසු කාලයේ මහා පරාක්‍රමබාහු රජු විසින් ද රාජාධි රාජසිංහ රජු විසින් ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ද වරින් වර වැඩිදියුණු කළ බව ඉතිහාසයේ සඳහන් වේ.

මෙම දාගැබ මහා පරාක්‍රමබාහු රජු තම මව වූ රත්නාවලී බිසවගේ භෂ්මාවශේෂ තැන්පත් කොට ඉදි කළ බවටද පිළිගැනීමක් වෙයි. පුරා විද්‍යාත්මකව මෙම මතයන් වලින් සත්‍යය කුමක්දැයි සනාථ කොට නැත්තේ මෙම දාගැබේ නිවැරදි කාල නිර්ණයක් සිදුකොට නොමැති බැවිනි.

යුදගනාව නාමය හා මෙම ප්‍රදේශය දුටුගැමුණු කුමාරයා ගේ අනුරාධපුරය ජය ගැනීම උදෙසා යන ගමනේ ප්‍රධාන සන්ධිස්ථානයක් සේ සැලකේ. සේනාවට අවශ්‍ය සියලු යුධ ආයුධ මෙම ප්‍රදේශය මුල් කොට ගනිමින් සකස් කළ බව ත් ප්‍රධාන කඳවුරක් මෙම ප්‍රදේශයේ පැවති බවත් කියවේ. එසේම සෙබළුන් උදෙසා යුද පුහුණුව ලබාදීම සිදු වූයේද මෙම ප්‍රදේශය තුළය.

දැදිගම පිහිටි පැරණි වෙහෙර හා පොළොන්නරුවේ දෙමළ මහා සෑය ඉදි වී ඇත්තේ යුදගනා ආකෘතිය හා සමානව ම ය. මෙම දාගැබ් තුනම තරමක් සමකාලීන යුගයේ ඉදිවූ දාගැබ් යයි සිතිය හැකිය.

දාගැබි ඉදිරියෙන් ඇති බුදු ගෙය තුළ ඉපැරණි බුදු පිළිම කිහිපයක් දැකගත හැකිවේ. නුවර යුගයට අයත් පිළිම ගේ සම්ප්‍රදාය තුළ ඉදිකර ඇති බව පුරාවිද්‍යාත්මක අදහස යි. ඇල්ල රක්ඛිතාකන්ද විහාරයේ ඇති පිළිම හා සමාන පෙනුමෙන් යුත් පිළිබඳ යුදගනා විහාරගෙය තුල ද දැකගත හැකිවේ.

මෙහිදී තවත් හෙළි කළ යුතු සුවිශේෂී කාරණාවක් වේ. මහියංගන දාගැබ කිරිවෙහෙර දාගැබ ැැැැැැ මැද ඉදිකළ යුදගනාව දාගැබ යන දාගැබ් ත්‍රිත්වය පිහිටා ඇත්තේ ගීසා පිරමීඩ පිහිටා ඇති රටාවට අනුගත වන අයුරින්ය. මෙතැනදී භෞතිකවාදී නගන පොදු ප්‍රශ්නයක් ඇත. එහෙට මෙහෙට කරකවා තැන් තුනක් සමපාත කර ගත හැකි බවයි. එහෙත් බුද්ධිමත්ව යමෙක් මෙහි පිහිටීම සිතා බලන්නේ නම් එයට වඩා ගැඹුරක් දැකගත හැකිවනු ඇත.

මහියංගනය හා කිරිවෙහෙර යනවා බුදු හිමියන්ගේ පාද ස්පර්ශය ලත් භූමි දෙකකි. යුධගනාව යනු නිවැරැදි කාල නිර්ණයකට ලක්නොවූ දාගැබකි. ඉතින් මට අවශ්‍ය වන්නේ තවත් සිතන්නට මානයක් විවර කර දීම ය.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close