තරු වළල්ල

සංඝාසනයට එරෙහි වුවහොත් සිංහාසනය අනතුරේ

මෙම ලිපිය 2014 වර්ෂයට පෙර රන්දිව පුවත්පතේ පලවු ලිපියකි.

ජන්මියකුගේ උපන් මොහොතේ ග‍්‍රහ පිහිටීම අනුව ගොඩනගනු ලබන කේන්දර සටහන තුළින් එම පුද්ගලයාගේ ජීවිතය ප‍්‍රධාන කොටස් දොළසකට බෙදා ඒ ඒ කොටස නියමාකාරයෙන් විමසා බැලීම හරහා ඒ ඒ බෙදීම තුළ පවතින ගැටලූ සහගත තත්ත්වයන් හඳුනාගැනීමට මෙන්ම ඒවාට පිළියම් යෙදීමටත් අවස්ථාව උදාකර ගත හැකිවෙයි.

ලෝකායතන ජ්‍යොතිෂ්‍යයට අනුව විශ්ව කේන්දරය හරහා ලෝකයම මූලික විග‍්‍රයකට ලක් කළද වඩා වැදගත් වන්නේ එම රටවල් පිළිගන්නා
කේන්දර සටහන විග‍්‍රහ කර ගැනීමයි. මක්නිසාද යත් පැහැදිලිවම පැරැණි සමාජයේදී හෙළ ජ්‍යොතිෂ්‍ය යනු රටක් පාලනය කිරීම උදෙසා යොදාගත් ක‍්‍රමවේදයක් වීමය.

රටක් පාලනයේදී නිසි ලෙස ජ්‍යොතිෂ ක‍්‍රමවේද පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් ගැටලූවලින් තොරවූ ඉතා සාර්ථක පාලනයක් ගෙනයෑමට අවස්ථාව උදාවෙයි.

මෙය සරලව තේරුම් කරන්නේ නම් කේන්දරය තුළ සිටින ග‍්‍රහයන් නව දෙනාගෙන් පාලකයන් පමණක් නොව පරිපාලනයේ ඒ ඒ අංශ නිවේදනය කරන්නන්ද නම් කර පැවතීමයි.

රවිගෙන් රජුද, චන්ද්‍රගෙන් රටේ කාන්තාවන්ද, කුජගෙන් හමුදාව හා පොලීසිද, බුධගෙන් ශිෂ්‍යයන් හා අනුගත වන්නන්ද, ගුරුගෙන් රටක උගතුන් හා රජයට උපදෙස් දෙන්නන්ද, සිකුරුගෙන් කලාකාමීන් මෙන්ම රජුට විරුද්ධ පාර්ශ්වයද නියෝජනය කරයි.

එසේම රාහු සහ කේතු ජායා ග‍්‍රහයන් දෙදෙනකු වුවත් කේන්දරය තුළ බල දෝලනය උදෙසා තීරණාත්මක බලපෑමක් අතිකරන රාහුගෙන් පාලකයන්ට එරෙහිව කි‍්‍රයාත්මක වන රහස් සංවිධාන හා කේතුගෙන් ආගමික නායකත්වයන්ද විග‍්‍රහ කරයි.

අවසන් වශයෙන් මේ සියලූ නියෝජනයන් යථාර්ථයක් බවට පත්වීමට ප‍්‍රධාන වශයෙන්ම බලය ලබාදෙන ජනතාව නිවේදනය කරන්නේ ශනිගෙනි.

මෙම ග‍්‍රහ නියෝජනයන් පිළිබඳ හොඳින් සලකා බලන්නේ නම් මෙහි ඇත්තේ දේශපාලන සමාජයක සියලූ පාර්ශ්වයන්ය. එසේ නම් ජ්‍යොතිෂ්‍ය තුළින් පුද්ගලයකුගේ ජීවිතය පාලනය කිරීම මෙන්ම රටක් පාලනය කිරීමද කළ හැකිය.

වර්තමානයේ රටක පාලනය යන වචනය පිළිබඳ කතාකළ සැණින් අපේ සිතට නැගෙන්නේ රජු, පාලක පක්ෂය හා විපක්ෂය යන කණ්ඩායම් තුනයි.

ලංකාවේ පාලක පක්ෂය නිවේදනය වන්නේ කේන්දරයේ දසවැනි භාවයෙනි. දසවැනි භාවය යනු වෘශ්චිකයයි. වෘශ්චිකයට අධිපතියන් දෙදෙනෙකි. එක් අධිපතියකු කුජ වන අතර අනෙක් අධිපතියා කේතුය. එනම් දසවැනි භාවයේ කි‍්‍රයාකාරිත්වය උදෙසා බලය සපයන්නේ මේ ග‍්‍රහයන් දෙදෙනාය යන්නය.

මේ ග‍්‍රහයන් දෙදෙනාගේ ගති ලක්ෂණයන් එකිනෙකට බොහෝ සෙයින් සමාන බව ජ්‍යොතිෂ්‍යයේ ‘කුජවත් කේතු’ යන්නෙන් දක්වා ඇත. එනම් කුජගේ ජවය, බලය, වෛරය, පීඩනය ආදී වූ සියලූ ගති ලක්ෂණයන් කේතු තුළද පැවතීමයි. කුජගේ හා කේතුගේ පවතින විශේෂත්වය වන්නේ කුජ ඉහළින් ලැබෙන උපදෙස් මත සියල්ල එළිපිට සිදුකරද්දී කේතු තමන්ගේ අභ්‍යන්තරය තුළ සියල්ල ගොනුකර ගනිමින් ඉතා ගුප්ත හා සූක්ෂ්ම ලෙස කටයුතු කිරීමයි.

එක්වරම ලංකා කේන්දරයේ පාලක පක්ෂයට බලය සපයන ග‍්‍රහයන් පිළිබඳ අදහස් දැක්වීමට හේතු වූ කරුණක්ද ඇත. එය නම් දේශපාලනයෙන් භික්ෂුන් ඉවත් කළ යුතුය යනුවෙන් මතුවෙමින් පවතින කතාබහයි. කහ සිවුර ලාංකේය ජන විඥානයේ නායකත්ව ලකුණ බවට පත්වන්නේ වසර 2600කටත් පෙර සිටය.

භික්ෂුව යනු පැරැණි ගමේ සිවිල් ප‍්‍රධානියාය.

අප පෙරදී ග‍්‍රහ දේශපාලනය තුළ භික්ෂුව නිවේදනය කරනු ලැබුවේ කේතුගෙනි. එනම් අප පැවසූ පරිදිම කේතු තුළ කේතුගේ ගුප්ත බව, දැනුම, ආධ්‍යාත්මික ශක්තිය මෙන්ම කුජගේ ජවය, නායකත්වය, මෙහෙයවීම, ආවේගශීලීත්වයද කැටිවී පවතී.

එනම් පැරැණි ගමේ භික්ෂුව තුළද ඒ සියලූ කරුණු කාරණා හොඳින්ම ගොනුවී පැවතුණු බව අතිශයොක්තිය නොවේ. ඉතිහාසය තුළ සියලූ කැරැලිවල මූලිකත්වය ගෙන කි‍්‍රයාකරන්නට භික්ෂුන් නිරායාසයෙන් ඉදිරිපත් වන්නේ ඒ නිසාය. ගමක ආධ්‍යාත්මික ගුණ වගාව මෙන්ම ගමේ සාමය පවත්වාගෙන යෑමේ නිල නොවන බලය පැවතියේදී භික්ෂුව වෙතයි.

සුදු අධිරාජ්‍යවාදී පාලන ව්‍යුහය අප රටට හඳුන්වාදෙන තෙක්ම රාජ පාලනය තුළදීද භික්ෂුවට හිමිවූයේ විශේෂ ස්ථානයකි. බොහෝ විට රාජ්‍ය විචාරීම සිදුවූයේ භික්ෂුව වෙතිනි. ඒ සියල්ලටම වඩා භික්ෂුව නොසලකා හැරි රජවරුන්ට වැඩි කාලයක් රජ පුටුවේ රැඳී සිටින්නට අවස්ථාව උදාවූයේද නැත.

මේ ඉතිහාසගත තොරතුරු වුවද නිදහසින් පසු තත්ත්වය තුළද පාලක පක්ෂය උදෙසා භික්ෂුවගේ බලපෑම දැඩි ලෙසම කි‍්‍රයාත්මක වූ බව හොඳින්ම පෙනී යන්නකි.

කුම්භ ලග්න ලංකා කේන්දරයේ පාලක පක්ෂය නිවේදනය කරනු ලබන වෘශ්චික ලග්නයට බලය සපයන ග‍්‍රහයන් දෙදෙනා කුජ හා කේතු නම් සරලව සිතිය හැකි කාරණය වන්නේ පාලක පක්ෂයේ බලය රැඳී පවතිනුයේ හමුදා බලය හා ආගමික බලය මතය යන්නයි. ආගමික බලය ලෙසින් අපට හඳුනාගත හැකි ප‍්‍රධානම සාධකය වනුයේ බෞද්ධ පදනමක් තුළ භික්ෂුව නම් සාධකයයි.

එනම් වත්මන් පාලකයන් රැකගත යුතුද වෙනස් කළ යුතුද යන්න තීරණය කිරීම වඩා ලෙහෙසියෙන් තීරණය කිරීම කළ හැක්කේ භික්ෂුවට හා හමුදාවට යන්නය.

රජු හා ව්‍යවස්ථාදායකයට වඩා ජනතාව අතර සිවිල් බලයක් පවතිනුයේ භික්ෂුවටය. භික්ෂුව දේශපාලනයට පිවිසීමට හේතුවන්නේද මෙම සිවිල් බලයයි. භික්ෂුව දේශපාලනයෙන් ඉවත් කිරීම යනුවෙන් මෙතැනදී අදහස් කරන්නේ ඡුන්දය ඉල්ලීම හා පක්ෂ දේශපාලනයෙන් ඉවත් කිරීමය. එය නීතිමය රාමුව තුළ කළ හැක්කක් වුවද ප‍්‍රායෝගික නොවන්නකි. එය පාලක පක්ෂය තමන්ගේම ගෙල තම අතින් මිරිකා ගැනීමට සමාන තත්ත්වයකි.

එය සරලව පැහැදිලි කළහොත් පාලක පක්ෂය නිවේදනය කරන වෘශ්චිකයට බලය දෙන ග‍්‍රහයන් දෙදෙනාගෙන් කුජගේ බලය පමණක් ලබාගෙන කේතුගේ බලය ඉවත් කර දැමීම හා සමාන තත්ත්වයකි.

එය දේශපාලනික වශයෙන් තීරණය කළ හැක්කක් වුවත් ප‍්‍රායෝගිකත්වය තුළ සිදුවන්නක් නොවේ.

නිදහසින් පසු දේශපාලන ලෝකයේ භික්ෂුව ප‍්‍රමුඛ පංච මහා බලවේගය මතින් බලයට පැමිණ භික්ෂු සාධකය මතින්ම රාජ්‍යත්වය අතහැර ජීවිතයද අහිමිකර ගත් රාජ්‍ය නායකයකු පිළිබඳ මතකයක්ද අපට ඇත. ඒ එස්. ඩබ්ලිව්. ආර්.ඞී. බණ්ඩාරනායකය. මෙය කුමන්ත‍්‍රණයක් හෝ වෙනත් ඕනෑම කාරණයක් විය හැකිය. එහෙත් වැදගත් දෙය මෙතැනට මුල්වන්නේ භික්ෂුවක් වීමය.

එක්වරම භික්ෂුව දේශපාලනයට පැමිණීම පිළිබඳ විරෝධී මතයක් ගොඩනැගෙන්නේද පාලක පක්ෂයට එරෙහිව මතුවන භික්ෂු බලය නවතා දැමීමේ පියවරක් ලෙසින් යැයි පැවසුවහොත් එහිද වරදක් නැත.

මේ මොහොත තුළ ලංකා කේන්දරයේ පුණ්‍යස්ථානය නැතහොත් පන්සල තුළ රාහු, ශනි හා කේතු යන තිදෙනාම තැන්පත්ව සිටියි.

ශනි යනු ජනතාව නියෝජනය කරන්නා වීමත් රාහු යනු රජයට විරුද්ධ කුමන්ත‍්‍රණකාරි බලවේගයන් නිවේදනය කරන්නා වීමත් කුජ රජුගේ අණ කි‍්‍රයාත්මක කරන සෙන්පතියා වීමත් තුළ මේ මොහොතේදී සිදුවන තත්ත්වය අවබෝධ කරගැනීම එතරම් අපහසු කාර්යයක් නොවේ.

එනම් පන්සල හරහා පිබිදෙන ජනතා බලය පාලනය කිරීමේ අවශ්‍යතාවක් පාලක පක්ෂයට මතුවී තිබීමය.

මෙය වත්මන් පාලනයට එරෙහි වන මාදුළුවාවේ සෝභිත නම් භික්ෂු සාධකය නවතාලීමේ අවශ්‍යතාවක් වීමටද පුළුවන. එය දේශපාලනික අවශ්‍යතාවක් හෝ බලය පවත්වාගැනීමේ අවශ්‍යතාවක් මිස ග‍්‍රහ දේශපාලනය හරහා බලය සපයන දේශපාලන පරිසරයට අදාළ යහපත් තීරණයක් නොවේ.

එයට හේතුවන සාධකයන් පිළිබඳ අපි කලින් පෙන්වා දුන්නෙමු.

මේ මොහොත තුළදී තේරුම් ගත යුතු කාරණා දෙකක් ඇත. භික්ෂුව නියෝජනය කරන කේතු රටක දියුණුව, වර්ධනය වෙනුවෙන් නව
ඇරැඹීමකට ජවය දෙන තුන්වැනි භාවයේ රැඳී පැවතීම තුළ භික්ෂු සාධකය එක් තැනකට එක් වන්නේ නම් නව ධර්මිෂ්ඨ රාජ්‍යයක් ගොඩනැංවීම ඉතා පහසු කාර්යයකි.

දේශපාලන බලයට වඩා අනාදිමත් කාලයක සිට සිවිල් බලයක් සහිත භික්ෂුවට මුල පුරන්නට වඩා ජනතාව රැගෙන යෑම ඉතා පහසුවෙන් කළ හැකි වෙයි. එසේම තවත් එක කාරණයක් ඇත. පුණ්‍යස්ථානයේ ශනි හා කුජ වක‍්‍ර වීමත් සමග පුණ්‍යස්ථානයේ ක‍්‍රියාවන් පිළිබඳ පසුවිපරමක් කරන්නට විශ්වය අවස්ථාව නිර්මාණය කරයි.

මේ මොහොත තුළ දේශපාලනය කරන හාමුදුරුවරු ගැන කතාබහක් මතුවන්නේ ඒ නිසාය. ඉදිරි මාසයෙන් පසු මෙම කතාබහ  විසිවී යෑමට ඉඩකඩ පවතී.

එසේම ජ්‍යොතිෂ්‍යය යනු බුදුදහමට අනුව තිරස්චීන විද්‍යාවකි. එනම් අතහැර දැමිය යුත්තකි.

මෙය අතහැර දැමිය යුත්තක් ලෙසින් නම් කරනුයේ වෙන කිසිවක් නිසා නොව එය පැරැණි අර්ථ ක‍්‍රමය නිසාය. එනම් භික්ෂු සිවිල් බලය අතික‍්‍රමණය කළ හැකි ක‍්‍රමවේදය ජ්‍යොතිෂ්‍යය තුළ ඇති නිසාය.

පසු සටහන

මාදුලුවාවේ සෝභිත හිමි මුල්වීමෙන් ගොඩනැගුනු ජන බලවේගය තුළින් එතෙක් පැවැති පාලනය පෙරලා දැමු බව සියල්ලෝ දන්නා කරුණකි.

එහෙත් අවසානයේ තමන්ද කුමන්ත‍්‍රණකාරී බලවේගයන්ට අසුවු බව උන්වහන්සේ අවබෝධ කර ගන්නාවිට ” ආප්පේ කරවුණා මහත්තයෝ” යැයි කීම හැර කල හැකි දෙයක් ඉතිරිව නොතුබුණි

මෙය අදටත් වලංගු කරුණකි. පාලකයා මෙය අවබෝධ කර ගන්නේ නම් තම බලය ඉතා හොදින් පවත්වා ගත හැකි වනු ඇත.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close