තරුවළල්ල

ඔබත් කලේ ඒ වරදමද ?

වැරදුන තැන මිනිස්සුන්ට තමන්ගේ ජීවිත දිහා ආපහු හැරිලා බලන්න කියලා දුන්නා. මේ සිදුවීමත් එහෙම හැරිලා බලපු මනුස්සයෙක් තමන්ගෙ ජීවිතේ වැරදුණු තැන ගැන වුණු පසුතැවීමක්….

එක්තරා කාන්තාවක් ආශ්‍රමයට පැමිණෙන්නේ ඇගේ ස්වාමියා දරු දෙදෙනා සමග ඇයව තනි කොට වෙනත් ස්ත්‍රියක් සමග හොරරහසේ පිටමං වී යාමෙන් පසුව. මේ සිදුවීමෙන් පසුව ඇය බොහොම අසරණ වෙනවා ඒ වන විට ඔවුන් කරමින් තිබුණ ව්‍යාපාරය අඩපණ වෙන තත්ත්වයටම ඇවිත්. බොහෝ ණය තුරස් ඇතිවෙලා. මේ සියල්ලටම බිරිඳ වගඋත්තර කාරයෙකු කොට සැමියා පලා යනවා.

කිසිදු ආදායමක් නැති ඇය දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු , ජීවත්වීම, ණය ගෙවීම මේ හැමදෙයක් තුළම වගකීමෙන් බැඳෙනවා . ඇයට හව්හරණක් වන්නේ තමන්ගේ පියා පමණයි . පියා සතියකට වරක් දරු දෙදෙනා හා ඇයට ආහාර පිරිමසා ගැනීම සඳහා යම් මුදලක් දෙනවා.

කෙසේ හෝ ඇයට විශ්වය විසින් ආශ්‍රමය කරා පැමිනෙන්නට පාර කියා දෙනවා. ආශ්‍රමයෙ අම්මා ඇයට බෙහෙවින් අනුකම්පා කරනවා  ඒ ඇය පියා දමා ගිය දරුවන් දෙදෙනාගේ වගකීම කෙසේ හෝ ඉටු කරනවා කියන හැඟීමෙන් දිරියෙන් කටයුතු කරන බවක් ඇය තුළින් දකින්නට තිබුන නිසා

කිසිදු හව්හරණක් නැති ඇගෙන් ශාස්ත්‍රීය කාරණා උදෙසා ගුරු පඬුරු ලැබීමට ආශ්‍රමයට සදාචාරාත්මක හැකියාවක් නෑ. මේ නිසාම  එතැන් පටන්ඇගේ සියලු කාරණා උදෙසා ආශ්‍රමය ඇයට පිහිටවන්නේ ගුරු පඬුරු වත් නොලබා.

ඉතින් පියවරෙන් පියවර දීක්ෂා මග දිගේ  ඇයත් උඩට රැගෙන එනවා. තබන්න ඕන පියවර ගැන වගේම ගන්න ඕන තීරණ ගැන ටිකෙන් ටික මග පෙන්වමින් අනාගතය වෙත පිය මනින්වා

ඇගේ භූමිය තුළ විශාල වශයෙන් වාස්තු ගැටලු පවතිනවා. ඒ වගේම හදි හූනියම් ගැටළුවලට, කර්මයේ පීඩාවන් වලට මේ හැම දේකටම ටිකෙන් ටික පිළියම් සිදුවෙනවා

ඉතිං ගැටළු ගොඩක ආපු මේ දරුවා ඒවයින් නිදහස් වෙද්දි ව්‍යාපාරයට මුල පුරනවා. පොඩියට පටන් ගන්න ව්‍යාපාරය ටිකෙන් ටික දියුණු වෙනවා.

ඇය පියුමක් පිපෙන්නාක් මෙන් දිනෙන් දින පිපෙනවා දැන් ඇය හොඳ ව්‍යාපාරිකාවක් ඒ බව මමත් අම්මත් එදිනෙදා ඇය ගැන භාවනාවෙන් දකින දේ තුළින් අවබෝධ කොට ගන්නවා ඒ වගේම පාළුවට ගිය ඇගේ සහ දරුවන්ගේ ශරීර කූඩු කහ පාටින් බබළමින් ොදු ප්‍රවාහන සේවයක් වෙනුවට තමන්ගේම රථ වාහන වල අයිතිය දරමින් ඇය ටිකෙන් ටික ජීවිතය ජයගන්න වා

යන්න ඕන පාර යහපත් උනාම ළමයින්ට නිදහසේ යන්න දීලා ආශ්‍රමය ඔහුන්ව අත අරිනවා. ඒ කියන්නේ ආශ්‍රමය ඔවුන් මත යැපෙන්නේ නැහැ කියන එක… හැබැයි පුරුද්දක් තියෙනවා එහෙම ස්වාධීන වෙන ළමයි හැම දෙයක්ම අම්මගෙන් අහල කරන්නෙ. ඒකට හේතුව තමයි තමා හරි වැරැද්ද තේරුම් ගන්නවට වඩා ගුරුවරයෙක්ගෙන් යමක් අහල දැනගන්න එක වඩා සුදුසු නිසා.

මෙන්න මෙතනදී ඇය එතෙක් ආපු ගමන් මාර්ගය  ටිකෙන් ටික වෙනස් කරනවා. ඇගේ ව්‍යාපාරය සම්බන්ධයෙන් ආශ්‍රමයෙන් උපදෙස් ගත්තත් ක්‍රියාත්මක කරන්නේ ඇයට අවශ්‍ය දෙය… ගුරුවරයාට පුළුවන් මාර්ගය පෙන්නන්න විතරනෙ…

ඉතිං ඔහොම කාලයක් ගෙවිලා ගියා……. ටික කාලයක් යද්දි ඇයට අමතක උනා ඇය කතා කරන්නේ සියලු දේ මනසින් දකින්නට පුළුවන් ගුරුවරයන් දෙදෙනෙකුට බව. ඇගේ ස්වභාවය ටිකෙන් ටික වෙනස් වුණා . ඇය ඇගේ ආදායම පිළිබඳ දිගින් දිගටම ආශ්‍රමයට මුසාවන් කියන්නට පටන් ගත්තා ඇගේ ආදායම පිළිබඳ කිසිවිටෙක අම්මා හෝ මා ප්‍රශ්න කර නැහැ එය ආශ්‍රමයට යන එන දරුවන් දන්නවා නමුත් ඇයට වුවමනා වුණේ තවමත් ආර්ථිකමය ස්ථාවරත්වයක් නැති බව හඟවමින් තවදුරටත් මෙතෙක් රැගෙන ආ මාර්ගය තුළ ම මාව ඉදිරියට රැගෙන යාවි ය කියන පරමාර්ථයෙන් ආශ්‍රමය නොමඟ යවන්නට………..

සියල්ල මනසින් දකින ගුරුවරයෙකුට දරුවෙකගේ මෙම හැසිරීම කිසිවිටෙක ප්‍රියමනාප නෑ. එතනදි ඇය ගුරුවරයාගේ දැකීම පවා අභියෝගයට ලක් කරනවා. ඇයට අමතකයි ඇය පළමුවෙන් ආශ්‍රමයට පැමිණි දින කොහෙන්දෝ සොයාගෙන පැමිණි මුල්ම ගුරු පඬුර මා ප්‍රතික්ෂේප කරන්නේ ඇගේ ගෙදර ඒ මොහොතේ බත්  හට්ටිය මා මනසින් දුටු නිසා බැවින් බව…..

ව්‍යාපාරික ම ය වශයෙන් යම් මට්ටමකට පැමිණෙන ඇය ව්‍යාපාරික කටයුතු උදෙසා ස්වාමියා විසින් පෙර ලබාගෙන තිබූ ණය වර පත්‍ර උදෙසා නීතිමය වශයෙන් බැඳී සිටින්නියක් බැවින් පළමුව එකී ණයවර වලින් නිදහස් වන ලෙස ආශ්‍රමය මගින් ඇයට උපදෙස් දුන් නමුත් ඇය හිස වනා පිළිගන්නා බවක් දැක්වූවද ඒ සඳහා හදවතින්ම සුදානම් නැති බවක් දකින්නට ලැබුණා

ව්‍යාපාරය ආරම්භයේදී ව්‍යාපාරය තුළ පැවතිය යුතු ලිපි ලේඛන පවා අම්මා ඇයට කියා දුන්නා ඒ සියල්ල සකස් කළ බව ඇය සනාථ කළ නමුත් ඇය ආශ්‍රමයේ උපදෙස් ගරු නොකොට ගමනක් යන බව මට මෙන්ම අම්මාටද  දකින්නට ලැබී තිබුනා නමුත් ඇගේ පෞද්ගලිකත්වයට උවමනාවට වඩා අතපෙවීම යුක්තිසහගත නෑ ඒ නිසා අම්මා නිහඬ වුණා

ව්‍යාපාරය තුළින් ලැබෙන ආදායම ඇය කිසිදු කළමනාකාරීත්වයකින් තොරව හසුරුවන බව අපට දකින්නට ලැබුණා. ණය ගෙවීම පසෙක තබා ආදායමට වැඩියෙන් වියදම් කරන්නට ඇය පෙළඹුණා. ඇගේ ජීවන රටාව වෙනස් වෙමින් ඇයට අලුත් ආකාරයේ සමාජ පන්තියකට අවතීරණ වීමට අවශ්‍ය වුණා. ණය ගෙවීම සහමුලින්ම අමතක උනා. දිනෙන් දින ඇය ආශ්‍රමයේ අම්මාගේ හිත පරීක්ෂාවට ලක් කරමින් දිගින් දිගටම මුසාබස් කියන්නට වුනා .

ඉඩම් වාහන ගෙවල් දොරවල් අලුතෙන් මිලදී ගනිද්දී ඇය දිනපතා ම කීවේ තවම ඔළුව උස්සගන්න බෑ යන වචනයයි

ඇයට අමතක උනා ඇය මේ කියන්නේ සියල්ල දකිනා ගුරුවරුන්ට බව

සැමදා උදෑසන වන්දනාවෙන් පසුව පුරුදු පරිදි ආශ්‍රමය වටා බැඳුණු දරුවන්ට පොදුවේ අම්මා වෙතින් ලැබෙන ආශිර්වාදය ඇයට නොලැබී යන්නට මෙය හේතුවක් වුණා.එතෙක් පුරුද්දට මෙන් ඇසුණු ඇගේ නම ඉන්පසුව මට ඇසුණු දිනක් මතකයේ නැතිවුණා

කාලයක් ඇවෑමෙන් අද උදෑසන ඇය යළිත් ආශ්‍රමයට කතා කරනවා
ඒ තුළ ගැබ් වී තිබුණේ මහා අඳෝනාවක් අම්මාගේ හිතෙන් ඇය කොතරම් දුරස්වීද යත් ආශ්‍රමයේ දුරකථනයට ඇගේ අංකය පවා තහංචි පනවා තිබුණා

එබැවින් ඇය නන්නාඳුනන අංකයකින් ආශ්‍රමය අමතන්නේ මහා අඳෝනාවක් සමඟ දුරකතනයට සවන් දුන්නේ මම. ඇය එක්වරම මහ හඬින් හඬන්නට පටන් ගත්තා

”      අනේ  ගුරුතුමා මට සමාවෙන්න මම මහා පව්කාරියක් අම්මටත් ගුරුතුමාටත් කළ වැරදි මට පටිසන් දුන්නා…… දෙවියෝ බුදුන් වගේ මට පිහිට වෙච්ච ගුරුතුමාටයි අම්මා ටයි මම කියපු කරපු බොරු හැමදේම ඇත්ත බවට පත්වුණා මම ආයේම හිඟන්නෙක් වුණා….. අනේ ගුරුතුමා මට සමාවෙන්න මට දැන් ගුරුතුමාගේයි අම්මගෙයි හැර වෙන පිහිටක් නෑ. ඊයේ මගේ පුතා ජීවිතේ නැතිකරගන්න හැදුවා . අපි ආයෙම ලෝකෙටම ණයකාරයෝ වෙලා . හැම දෙයක්ම හිර වෙලා… වටේටම ණයවෙලා.. ගෙවා ගන්න මාර්ගයක් හොයමින් වෙහෙසෙනවා. මට තියන ප්‍රශ්නේ  තමයි මං කිසිම නාස්තියක් කළේ නෑ ….. මාව මෙහෙම හිර  වුනේ ඇයි කියන එක…

මා ඇය සමඟ ටික වෙලාවක් කතා කළා මට තේරුණා ඇයට වැරදුණ තැන ……..

එහෙත් මා කිසිවක් කීවේ නෑ ඇයට කතා කරන්නට ඉඩ හැර මා නිහඬ වුණා ඇයටම කතා කරන්නට ඉඩ හැරියා. දිගු කතාවකින් පසු ඇය  එක්වරම මෙසේ කියන්නට පටන් ගත්තා

“ගුරුතුමා ට බොහොම පිං ගුරුතුමා එක්ක කතා කරගෙන යද්දි මට තේරුනා මට වැරදුණ තැන”

බිස්නස් එක පටන් අරගෙන මාස කිහිපයක් යද්දි මට හිතුනා සල්ලි හොඳට එන හින්දා සතියකට දවසක් අනුන්ගේ වාහනයක ගිහිල්ලා බඩු ගේනවට වඩා හොඳම දේ මට කියල පොඩි ලොරියක් ගන්න එක කියලා.
ඉතින් මං එක ආශ්‍රමයට කතා කරලා ඇහුවා. ඒක දැම්මම කරන්න එපා කියලා අම්මා ඒ වෙලාවේ මට උපදෙස් දුන්නා.

එත් මට හිතුනේ සල්ලි හොඳට එන වෙලාවේ , මාසෙට ලක්ෂ හය හතක් අතගාන මට ලක්ෂයක විතර ලීසින් එකක් ගෙවා ගන්න එක මහා දෙයක් නෙවෙයි කියලා. ඒ හින්ද මම ලොරිය ගත්තා. මං ඒක අම්මට කිව්වෙ නෑ.

මට එදා හිතුණේ නෑ ලක්ෂ ගණන් සල්ලි ආවට ඒක මගේ ලාභ නෙවෙයි කියලා.. මාසේ ගානේ මගේ වියදමටයි වාහනයේ ලීසිනුයි වලට සල්ලි බිස්නස් එකෙන් අදින්න ගත්ත ගමන් ටිකෙන් ටික හිර වෙන්න පටන් ගත්තා. ලාභයෙන් නෙවෙයි ඒ සල්ලි ගන්ඩ වුනේ බිස්නස් එකෙන්… මට අමතක උනා මහත්තයා ඉන්න කාලේ දීපු චෙක් වලට අත්සන් කරලා තිබුණෙ මම. ඒව ඔක්කොම return වුණා. ඒ අය අපට කාලය දුන්නෙ පිළියම් කරන අතරතුර දෙවියෝ පිහිට වෙලා වගේ. ඒත් බිස්නස් එකේ සල්ලි එද්දි …. මට මතක් වුණේ නෑ ඒ අයගේ සල්ලි ගෙවන්න තියෙන බව.

මම ලොරිය අරන් ටික දවසක් යද්දී ඒ අය මගේ පස්සෙන් ආවා පරණ ගනුදෙනු මතක් කරමි න් . මම ඒ අයගෙ සල්ලි ගෙවන්න අම්මා හදලා දුන්න  සැලසුම්  වෙනුවට එකපාර ණය ටික ගෙවන්න ඕනේ කියල හිතලා සල්ලි වගයක් පොලියට ගත්තා. ඒක ගෙවාගන්න බැරුව බැංකුව ඕඩී කලා. ඊට පස්සේ ආපු ආදායම ඔක්කොම බැංකුවේ පොලියට හිර වුණා

මට දැන් තේරුණා ගුරුතුමා මට වැරදුනේ කොහෙද කියලා මම වාහනය ගන්නද එපාද කියලා ආශ්‍රමයෙන් අහපු වෙලාවේ කියපු වචන ටික මට අදටත් මතකයි….

මම කරේ ඒ වරද ? පලවෙනි මාස දෙක තුන කොහොමහරි ලීසින් එක ගෙව්වා. එතනින් පස්සෙ ටික ටික මට තේරෙන්න ගත්තා බිස්නස් එක හිර වෙනවා කියලා. ඊට පස්සේ මම එහෙන් මෙහෙන් ණය ගත්තා. දැන් හැරිලා බලද්දි හැම දෙයක්ම පටලැවිලි ගොඩක්.. දැන් මේක ලියාගන්න තැනක් පේන්නේ නෑ. අන්තිමට මම හිතුවා වාහනය විකුණනවා කියලා. වාහනය විකුණ ගන්න උත්සහ කරනවා ඒත් ඒක විකුන ගන්ඩත් බෑ.”

මේ කතාව බොහෝ දෙනාට හොඳ පාඩමක් විශේෂයෙන්ම තමන්ගේ ව්‍යාපාර වල යෙදෙන අයට . ඇතැම් දරුවන්ට හිතෙනවා ඇති කිසිම ව්‍යාපාරයක් නොකරන අම්මයි ගුරුතුමා යි ව්‍යාපාර වලට උපදෙස් දෙන්නෙ කොහොමද කියල. ඒක තමයි ගුරුවරයාගේ මනසින් දැකීම කියන්නේ. ඔබ පැමිණෙන්නේ උපදෙස් ගන්න ඒ උපදෙස් ඔබේ රාමුවට නොගැලපේ නම් එය පසෙකලා ඔබ ඔබේ රාමුවට වැඩ කරයි . වැරදුනදා ඔබට ගුරුවරයා සිහිවේ

මතක තබාගන්න

අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීමෙන් පලක් නැත…..

හැම කෙනෙක්ම කරන වරද තමයි, බිස්නස් එකක් පටන් ගත්ත ගමන් මාස දෙක තුනක් යද්දි ලොකු වාහනයක් ගන්න එක එහෙමත් නැතිනම් ගෙයක් ඉඩමක් ගන්න එක ඒගොල්ලො හිතනවා දැන් මට හොඳට සල්ලි එනවා නේ කියලා ලීසින් කරන එක…. හැබැයි ඒ අයට අමතක වෙනවා මේ සල්ලි ඇත්තටම තමන්ට අයිති නැති බව… සල්ලි ගොඩක් විදිහට පේන්නෙ ආදායම… ලාභය කියන්නේ එකෙන් සුළු කොටසක්… අවම වසර දෙකක්වත් යනකං ඒ එන ලාභය ව්‍යාපාරය තුළට ම නැවත ආයෝජනය කලොත් තමයි ඒ ව්‍යාපාරය ස්ථාවර වෙන්නේ…. හැබැයි කවුරු හරි ඒ ව්‍යාපාරයෙන් මුදල් එලියට අදිනවා නම් ඒ ව්‍යාපාරය ටික ටික කඩා වැටෙන්න පටන්ගන්නවා.

ව්‍යාපාරය කුමක් වුවත් ඒක හරියට කරනවා නම් එයින් ආදායමක් එනවා. හවසට ලාච්චුවට වැටෙන සල්ලි ටිකවත් බැංකුවට වැටෙන සල්ලි ටිකවත් තමන්ට අයිතියි කියල කෙනෙක් හිතුවොත් වරද තියෙන්නේ අන්න එතන….

ඒ විතරක් නෙවෙයි. තමන් ව්‍යාපාරයක් පටන් ගත්ත බව ඇත්ත… හැබැයි අල්ලපු කඩේ කෙනා ප්‍රාඩෝ එකක යනවා කියලා තමන්ට මරුතියක් වත් තියෙන්න ඕනේ කියලා හිතුවට කමක් නෑ හැබැයි ව්‍යාපාරය පටන් අරන් මාස දෙක තුනක් යද්දීම ඒක ගන්න ගියොත් එතන ලොකු වරදක් කරගන්නවා…

අනිත් එක තමයි. බොහෝ අය තමන් ව්‍යාපාරයක් පටන් ගත්ත ගමන් හිතන දෙයක් තමයි, මම මේකෙ බොස් ඒ හින්දා මම වැඩ කරන්න නරකයි. ඒකට සේවකයෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න ඕනේ කියලා හිතන එක… බොස් කෙනෙක් වෙන්න හිතන එක බොහොම හොඳ දෙයක්… නමුත් ව්‍යාපාරය ස්ථාවර වෙනකන් තමන්ට කරන්න පුලුවන් හැමදේම තමන් කළ යුතුයි. තමන්ට කළ නොහැකි ම කොටසට පමණයි සේවකයෙක් ගන්න ඕනේ… මොකද සේවකයෙක්ට කවදාවත් ්‍යාපාරය ගැන දුකක් එන්නෙ නෑ… ඒක වැටුනොත් තමන්ට තරම් රිදෙන්නෙත් නෑ. අනෙක් කාරණාව තමයි, සේවක වැටුප විදියට එළියට යන කොටස අඩුවෙන්නේ තමන්ට හිමිවන ලාභයෙන්… අවුරුද්දක් දෙකක් යනකන් තමන් මහන්සි වෙලා වැඩ කළොත් රුපියලකින් හරි ලාභය වැඩි වේවි.

මේ සියල්ලටම වඩා තවත් එක වැදගත්ම දෙයක් තියෙනවා. තමන් යම් කෙනෙක්ගෙන් උපදෙසක් ගන්නේ තමන් ඉන්න ස්ථාවරය ගැන යම් අසමබරතාවයන් තියෙනවා නම්… තමන් උපදෙස් ගන්න කෙනා පිළිබඳ තාර්කිකව හිතලා ඒ උපදෙස ප්‍රායෝගික නම් ඒක ක්‍රියාත්මක කරවන්න. තමන් තමන්ගේ මතයට පමණක් ම නං වැඩ කරන්නේ , කාගෙන්වත් උපදෙස් ගන්න යන්න එපා.

අනික් එක තවත් දෙයක් තියෙනවා. යමෙක් මගපෙන්වන්නේ සද්භාවයෙන් නම් තමන්ගේ ජීවිතය හංගන්න උත්සාහ කරන්න එපා. එහෙම වුනොත් එතැනදිත් විශ්වය තමන්ව පසුගාමී කරනවා.

දීක්ෂා ගුරු

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74 

5 4 votes
Article Rating
guest

2 Comments
Inline Feedbacks
View all comments
Kolitha gayan Muhandiram
Kolitha gayan Muhandiram
April 19, 2021 9:48 pm

Godaaak watina upadeshayak🙏🙏🙏

Waruna Jayasuriya
Waruna Jayasuriya
April 20, 2021 8:18 am

🙏🙏🙏

Translate »

You cannot copy content of this page

2
0
Would love your thoughts, please comment.x
()
x