රාවණ වංශිකයෝ

පොරොන්දම් ගලපන්න පෙර කියවන්න

මේ උදාවූයේ වසරේ මංගල කාලයයි. රබන් සුරල් හඬ මැදින් විවාහ මංගල්‍යයන් සෑම ගමකම දැකගත හැකි වන කාලයයි. වසරේ මුල් කාලය මෙන්ම මාර්තු මාසයද මංගල කාලය සේ සැලකේ.

විවාහය තරුණියකගේ සිතේ රැුඳුණු විශාල බලාපොරොත්තුවකි. ආදරවන්තයන්, ආදරවන්තියන් සියල්ලන්ගේම අවසන් බලාපොරොත්තුවත් එක් කැදැල්ලක් තුළ කූඩුවීමයි. එක් පිරිසක් ආදර සබඳතාවන් හරහා විවාහ වෙද්දී තවත් පිරිසක් යෝජනා හරහා විවාහ වීමද සිදුවෙයි. බොහෝවිට විවාහය යන වචනයට පෙර මවුපියන්ගේ මුවින් පිටවනුයේ පොරොන්දම් ගැළපීමය. ආදර සබඳතා මෙන්ම විවාහ යෝජනාද ස්ථිර වීමට බොහෝවිට මෙම පොරොන්දම් ගැළපීමද හේතුවකි.

පුරාණ ලංකාවේ කසාදය යනුවෙන් වචනයක් පැවතියේ නැත. කසාදය යනු පෘතුගීසින්ගෙන් අපට ලැබුණකි. ‘කසා’ යනු පෘතුගීසි බසින් නිවස යන්නයි. ‘කසාදෝ’ යනු ‘ගෙයක් නඩත්තු කරන්නා’ යන්නයි. කසාදෝ යන්න ‘කසාදේ’ යන්නට ව්‍යවහාර විය. ඊට පෙර හෙළයේ පැවතියේ පවුල් දෙකක් අතර යම් එකඟතාවක් මත සිදුවන අවාහ-විවාහ වීමකි.

වර්තමානය වනවිට පෘතුගීසි, ඉංග‍්‍රීසි, ඉන්දියානු ක‍්‍රම මිශ‍්‍ර කර හෙළ කුල සිරිතට අනුව යැයි සිතමින් විවාහ මංගල්‍ය පවත්වා, පතිකුල චාරිත‍්‍ර-වාරිත‍්‍ර සිදු වේ. එහෙත් අසූවේ දශකයෙන් පසු උපන් බොහෝ තරුණ තරුණියන්ගේ විවාහ ජීවිත බොහෝසෙයින් බිඳවැටී ඇති බව සමාජය දෙස බැලූ කල පෙනීයන කරුණකි. විවාහ ජීවිත කෙටි කාලයකින් බිඳ වැටීම ඉදිරි කාලය තුළ තවදුරටත් වර්ධනය වෙමින් පවතින ගැටලූවකි.

කොතෙක් දුරට පොරොන්දම් ගැළපුණත්, මෙසේ විවාහ බිඳවැටීමට බලපාන හේතු සාධකයන් දැකගත හැකිවෙයි. මෙයට ජ්‍යොතිෂ්‍ය විද්‍යාත්මකවද බලපාන හේතුසාධක පවතී.

සාම්ප‍්‍රදායික ජ්‍යොතිෂ්‍යය තුළ පොරොන්දම් විස්සක් පවතින අතර, ඉන් එකොළොස් පොරොන්දම හා අට පොරොන්දම ලෙස කොටස් බෙදීමක් පවතී. මෙහිදී පෙර කල පොරොන්දම් ගැළපීම ලෙස ජ්‍යොතිෂ්‍යවේදියා හරහා සිදුකෙරුණේ ඒ ඒ පුද්ගලයා තුළ පැවති දුර්වලතා හඳුනාගෙන, ඒවායින් විවාහ ජීවිතයේදී ඇතිවිය හැකි ගැටලූ මඟහැරගන්නා ආකාරය අවබෝධ කරදීමයි. විවාහයකට එළඹෙන දෙදෙනකු වෙනස් පරිසරයන් දෙකක තනිකඩ ජීවිතයකට හුරුව සිටි අය වන බැවින්, එක්ව පවුලක් ලෙස කටයුතු කිරීමේදී එකිනෙකාට නොගැළපෙන තත්ත්වයන්ට මුහුණදීමට සිදුවෙයි. පොරොන්දම් විස්ස යනු එක්ව කටයුතු කිරීම උදෙසා ගළපා ගතයුතු තත්ත්වයන්ය.

අද ජ්‍යොතිෂ්‍යවේදියා ළඟට පොරොන්දම් ගළපා ගැනීමට යන්නේ විවාහවීමට අපේක්‍ෂා කරන තරුණ තරුණියන්ගේ මවුපියන්ය. ඔවුහු පුවත්පත් මංගල දැන්වීමක් හරහා ගෙන්වාගනු ලබන කේන්ද්‍ර සටහන් මිටියක් ජ්‍යොතිෂ්‍යවේදියාට කේන්ද්‍ර ගැළපීම සඳහා ලබාදෙයි. ජ්‍යොතිෂ්‍යවේදියාද පරිගණකය හරහා පොරොන්දම් ගැළපීමේ කටයුත්ත සියයට ප‍්‍රතිශතයක් හරහා ලබාදෙයි. එම පොරොන්දම් 55%කට වඩා ගැළපීම වැඩිනම් එම විවාහය අනුමත කරනවා විනා එහි නොගැළපෙන ලක්‍ෂණ 45%ක් ඇති බව තේරුම් නොගනියි. පෙර ජ්‍යොතිෂ්‍යවේදීහු මෙම නොගැළපෙන 45% තුළ ඇතිවන ගැටලූ හා ඒවා අවම කරගත හැකි ආකාරයද පෙන්වා දුන්හ.

මෙය අපට සරලව මෙලෙස තේරුම්ගත හැකිවෙයි. යම් පොරොන්දම් ගැළපීමකදී යෝනි පොරොන්දම හරහා බලනුයේ දෙදෙනාගේ ලිංගික ජීවිතයේ ගැළපීමයි. යම් පිරිමියකු අධික කාමාශාවකින් පසුවේ නම් හා ස්ත‍්‍රිය තුළ කාමාශාව පිළිබඳ හැඟීමක් නොමැති නම්, එම පොරොන්දම නොගැළපෙයි. එවන් අවස්ථාවකදී ජ්‍යොතිෂ්‍යවේදියා ඒ ගැන අදාළ පාර්ශ්ව දෙකටම අවබෝධ කරදිය යුතුවෙයි. එවිට ඔවුන්ට යම් එකඟතාවක් හරහා තම අවශ්‍යතා සපුරාගත හැකිවෙයි. නැතහොත් සිදුවනුයේ විවාහවී ඉතා ටික කලකදීම පිරිමියා අනියම් ඇසුරු සොයායෑම සහ විවාහය බිඳවැටීමයි.

වර්තමානයේදී 100%ක් පොරොන්දම් ගැළපුණද විවාහ බිඳවැටීම හා විවාහ අසාර්ථක වීම සිදුවනුයේ මේ හේතුව මතය.
අනෙක් කාරණය වනුයේ තම කේන්ද්‍රයේ හත්වැන්නාධිපතිගේ ස්වභාවය අවබෝධ කරගෙන විවාහ සබඳතාව ගෙනයෑමයි. මෙය විවාහ අපේක්‍ෂිතයන් දෙදෙනාම විසින් අවබෝධ කරගත යුතුවෙයි. උදාහරණයක් ලෙස මෙලෙස සිතන්න. හත්වැන්නාධිපති රවි නම්, පවුල තුළ ප‍්‍රධානත්වය දැරීමට ඇය හෝ ඔහු උත්සහ දරයි. එවිට එය ඔහුට එය ලබාදිය යුතුය. හත්වැන්නාධිපති සිකුරු වුවහොත් ඔහු හෝ ඇය විවාහය තුළ වැඩි බරක් දැරීමට කැමැති නොවෙයි. ශනි නම් විවාහය තුළ දැඩි විනයක් පැවතිය යුතු වෙයි. මේ ආකාරයට හත්වැන්නාධිපතිගේ ස්වරූපය අවබෝධ කරගෙන විවාහයේ සබඳතාව පවත්වාගෙන යෑම කරන්නේ නම්, ඒ තුළ බිඳවැටීම් සිදුවන්නේ නැත.

වෛදික ජ්‍යොතිෂ්‍යය තුළ විවාහය බිඳවැටීමට හේතුවන තවත් සිදුවීම් කිහිපයක් පිළිබඳ අවධානය යොමුකරයි. එහි පළමුවැන්න පෙර ආත්මයේදී විවාහයේ ධර්මතාවන් කඩාදමමින් හැසිරීමයි. මේ හරහා මේ ආත්මයේදී තම විවාහයට අනිවාර්යයෙන්ම බාධා ඇතිවෙයි. ඉන්පසු සැමියා හෝ බිරිඳගේ හිතේ සතුට, සැනසුම අහිමි කිරීම හරහා ඇතිවන සර්ප දෝෂ හරහාද විවාහයට බාධා ඇතිවෙයි. මේ හරහා සිදුවනුයේ ස්ථිර වාසස්ථානයක් තුළ පවුලක් ලෙස සතුටින් එක්ව වාසය කිරීමට බාධා ඇතිවීමයි. මෙවන් තත්ත්වයන්හිදී විවාහ වීමට පෙර මෙම ගැටලූවලට පිළියම් යෙදීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු වෙයි. මෙම දෝෂ පොරොන්දම් ගැළපීමේදී අසු නොවන බැවින් සියයට සියයක් පොරොන්දම් ගැළපුණද එම විවාහය අසාර්ථක බවට පත්වෙයි.

විවාහය තුළ දෙදෙනාගේ සබඳතාව තීරණය වනුයේ තම කර්ම ශක්තිය මතය. එය ජන්මියෙක් උපත ලද මොහොතේම පැවසිය හැකිවෙයි. තමාට ලැබෙන බිරිඳ හෝ ස්වාමියා අතර පවතින සබඳතාව ගැටලූ සහගතද, එකඟවීම්වලින් තොරද හා යහපත්ද ආදිලෙස අවබෝධ කරගත යුතුය. පොරොන්දම් ගැළපීමට වඩා කේන්ද්‍රයක මෙම සබඳතාව ගැළපීම ඉතා වැදගත් වෙයි. එක් අයකු තුළ හෝ යහපත් සබඳතාවක් පැවතිය යුතු වෙයි. එවිට එක් අයකු විවාහය අතහරිද්දී අනෙක් කෙනා විවාහය අල්ලාගෙන සිටියි.

කෙසේ වෙතත් මනාලිය නිවසට කැඳවාගෙන ඒම නැතහොත් ගෘහ ප‍්‍රවේශය ලෙස එදා හෙළ සමාජයේ සැලකූ චාරිත‍්‍රයේදී මනාලියට තම පියා විසින් පසළොස්විධ උපදෙස් මාලාවක් ලබාදුන්නේය. එය මෙසේය.

1. ඇතුළ ගිනි පිටට නොදෙන්
2. පිට ගිනි ඇතුළට නොගන්
3. දෙන්නන්ට දෙන්
4. නොදෙන්නන්ට නොදෙන්
5. දෙන්නාටද නොදෙන්නාටද දෙන්
6. සුව සේ හිඳින්
7. සුව සේ අනුභව කරන්
8. සුව සේ නිදන්
9. ගිනි පුදන්
10. ගෘහ දෙව් නමදින්
11. සැමට පළමු පිබිදෙන්
12. සැමට පසු නිදන්
13. ස්වාමියා අනුදැන සියල්ල කරන්
14. සැමියා සිත්ගත් දේ පමණක් කරන්
15. ප‍්‍රිය වචන කතා කරන්

යනු ඒ උපදෙස්ය. සාර්ථක විවාහයක් පවත්වාගෙන යෑමේ මූලික වගකීම පැරණි සමාජයේ කාන්තාවට හිමිව ඇති බව මේ අනුව පෙනී යයි. වර්තමානයේදී විවාහයට සැරසෙන තරුණිය නොව මවුපියන් හෝ මෙම උපදෙස් පිළිබඳ එතරම් තැකීමක් නොකරයි.
ග‍්‍රහ බල පොරොන්දම් සියල්ල මතින් සමාජයේ බටහිරකරණය දරාගත නොහැකි වූ පවුල් සංස්ථාව දෙදරා යමින් පවතින බව පසක් වෙමින් පවතී.

ආදරය ජ්‍යොතිෂ්‍යමය ඇසින්

වැලන්ටයින් දිනය අපේ දෙයක් නොවූවත් අපේ වන තරමටම තරුණ පෙළ එය වැළඳගෙන හමාරය. පාසල් පෙම්වතුන් පෙම්වතියන්ගේ සිට වැඩිහිටි පරපුර දක්වාම ආදරවන්තයන්ගේ දිනය සමරති. නැතහොත් ඒ පිළිබඳ කතාබස් කරති. එනිසාම වැලන්ටයින් දිනය ගෙවී එහි උණුසුමත් සමගම ජ්‍යොතිෂ්‍යමය ඇසින් ආදරය ගැන කතා කරන්නට අපි සිතුවෙමු.
වෛදික සම්ප‍්‍රදායට අනුව සෑම ජන්මියකුගේම හෙට දවස තීරණය වන්නේ ආදරය මතිනි. එයට හේතුවනුයේ හෙට යනු අනාගතය වීමය. එනිසාම කේන්දරයක පස්වැනි භාවයෙන් ආදරය ගැන කතා කරනවා සේම අනාගතය ගැනද කතා කරයි. එයින්ද පැහැදිලි වන කාරණය වන්නේ ආදරය ජන්මියකුගේ අනාගතය තීරණය කරන බවය. එය අපි මෙසේ පැහැදිලි කර ගැනීමට උත්සහ දරමු.

මිනිසකුගේ ජීවිතයේ දිශානතිය උදෙසා බලය සපයන පුරුෂාර්ථය ලෙස සැලකෙන්නේ ධර්ම ත‍්‍රිකෝණයයි. ධර්ම ත‍්‍රිකෝණය යනු විශ්වයෙන් ජන්මියා වෙත ලැබෙන ශක්තියයි. කේන්දරයක නවවැනි භාවය, පළමු භාවය හා පස්වැනි භාවය ධර්ම ත‍්‍රිකෝණය ලෙස සැලකෙයි. නවවැනි භාවය යනු කේන්දරය තුළට නැතහොත් ජන්මියා තුළට විශ්වයෙන් ශක්තිය ඇතුළුවන භාවයයි. නවවැනි භාවය තමන්ගේ පියා නියෝජනය කරන අතර ජ්‍යොතිෂ්‍යයට අනුව පියා විසින් නියෝජනය කරනු ලබන්නේ අතීතයයි.
පියාගෙන් නැතහොත් අතීතයෙන් සුබවාදී ලෙස ශක්තිය වර්තමානය වන පළමු භාවය වෙත ගමන් කළහොත් පමණක් ජන්මියාගේ වර්තමානය සාර්ථකත්වයට පත්වීම සිදුවෙයි. එනම් සෑම මිනිසකුගේම දියුණුව සාර්ථකත්වය මෙන්ම බුද්ධිමත් බවද රැුඳී පවතිනුයේ මෙම ශක්ති හුවමාරුව සාර්ථක වුවහොත් පමණි.

මෙහි ඊළඟ අවස්ථාව වනුයේ වර්තමානයෙන් අනාගතය වෙත ශක්තිය ගමන් කිරීමයි. නැතහොත් පළමු භාවයේ සිට පස්වැනි භාවය වෙත ශක්තිය ගමන් කිරීමයි. සෑම පුද්ගලයකුගේම සිතට දැනෙන ආදරය දයාව තීරණය වන්නේ මෙම භාවයන් දෙක හරහා ලැබෙන ශක්තිය මතය. පස්වැනි භාවය කොතරම් ශක්තිමත් වුවද නවවැනි භාවය හා පළමු භාවය හරහා ලැබෙන ශක්තිය බිඳවැටේ නම් ඔහු උපන්දා සිට මරණයට පත්වන දිනය දක්වාම ‘ආදරය’ යන සාධකය තුළ පීඩා විඳින්නකු බවට පත්වෙයි.

ආදරය යනු මානසික සංකල්පයකි. දරුවකුට කුඩා කල සිට ලැබෙන ආදරය තුළින් එම දරුවාගේ හැකියාවන් වර්ධනය වන බව වෛද්‍ය විද්‍යාව තුළින්ද සොයාගෙන ඇත. එනම් අප පෙර සඳහන් කළ ආකාරයට මිනිසාගේ අනාගතය ගොඩනැගෙනුයේ ආදරය නම් පදනම තුළිනි. අපි මෙය සරල උදාහරණයකින් තේරුම් ගැනීමට උත්සහ දරමු. යම් තරුණයකුට තම පිය උරුමයන් නොලැබී යෑම, පියා සමග ගැටලූ ඇතිකර ගැනීම මෙන්ම තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් හරියාකාරව ඉෂ්ට කරගත නොහැකි නම් අනිවාර්යයෙන්ම පෙර ආත්මයේ ඔහුගේ ක‍්‍රියාවන් හේතුවෙන් කේන්දරය තුළ නවවැනි භාවයට ශාප ඇතිවෙයි. ඒ හරහා සිදුවනුයේ නවවැනි භාවයේ බලය ශක්තිය බිඳවැටීමයි. එවන් අවස්ථාවල කේන්දරය තුළ ධර්ම ත‍්‍රිකෝණයේ ශක්තිය ගමන් කිරීම සිදුනොවන අතර අනිවාර්යයෙන්ම එම තරුණයාට වර්තමානය තුළ ස්ථාවර වීම උදෙසා දැඩි ලෙස වෙහෙස වීමට සිදුවෙයි. එනම් කොතරම් මුදල් ලැබුණද අනාගතය පිළිබඳ අවිනිශ්චිත බවක් ඇතිවීමයි. ඒ සමගම ජීවිත කාලය පුරාම නිවස තුළ, ආදර සබඳතා තුළ මෙන්ම විවාහය තුළදීත් තම සිතින් අපේක්‍ෂා කරන ලෙස ආදරය නොලැබී යයි. මේ හේතුවෙන්ම එම තරුණයා තම ජීවිතය ආදරය යන සාධකය මතින්ම බිඳගනියි.

මෙම බිඳවැටීම්වලට මූලිකවම හේතු වනුයේ තම ධර්මතා බිඳී යෑමයි. නවවැනි භාවය තුළ ක‍්‍රියාත්මක වන ශාප, බාධක හෝ යම් ග‍්‍රහයන්ගේ මරණකාරක වීම් හරහා එහි ක‍්‍රියාකාරිත්වය බිඳවැටීම සිදුවෙයි. ධර්මතා බිඳීයෑම හරහා සිදුවනුයේ ආදරය තුළ තමන් අපේක්‍ෂා කරන දෙය මිස අනෙක් පාර්ශ්වයේ අපේක්‍ෂා පිළිබඳ කිසිදු තැකීමක් නොමැති වීමයි. එහෙත් මෙවන් පුද්ගලයන් ඉතා දැඩි ලෙස යුතුකම් හා වගකීම් පිළිබඳ කතා කිරීමත්, තමන් ඒවා දැඩි ලෙස රකින බවත් විශ්වාස කරනු ලබයි. එහෙත් ඔවුනට කිසි දිනක යුතුකම් ඉටුකිරීම් පිළිබඳ සමාජයෙන් හොඳක් අසන්නට ලැබෙන්නේ නැත. තම ධර්මතා බිඳවැටී ඇති බව තේරුම් ගැනීමට ඇති හොඳම මිනුම් දණ්ඩ වන්නේද එයයි.

ආදර සබඳතා සාර්ථක ලෙස පවත්වාගෙන ගොස් විවාහ වීමත් සමගම හෝ විවාහය තීන්දු වීමත් සමගම සබඳතා බිඳවැටෙන අවස්ථා බොහොමයක් දැකගත හැකි වෙයි. මෙය සාමාන්‍ය සමාජය තුළදී විවිධාකාරයෙන් හේතු දැක්වීම් කළ හැකි කරුණක් වුවත් වෛදික ජ්‍යෙතිෂ්‍යය තුළ මෙයට ස්ථිර හේතු සාධකයක් පවතී. ආදරය පස්වැනි භාවයෙන් විග‍්‍රහ කෙරෙන අතර විවාහය හා විවාහය මුල් කරගත් සබඳතා නිවේදනය වනුයේ හත්වැනි භාවයෙනි. එසේම ආදරය කරන දෙදෙනකු විවාහය එක්වරම යොදාගන්නක් නොවේ. එය මාස කිහිපයක හෝ වසර කිහිපයක සිට සැලසුම් කරනු ලබයි. එවිට වෛදික සම්ප‍්‍රදායේ එන විවාහයේ නිර්වචනයට අනුව ඔවුන් විවාහකයන් බවට පත්වෙයි. ඒ තුළ ‘වසරකට වඩා වැඩි කාලයක් එකිනෙකා ගැන පමණක් සිතීම’ පමණක්ම විවාහය යන රාමුවට ප‍්‍රමාණවත් වෙයි. එය කේන්දරයක් තුළ ක‍්‍රියාත්මක වනුයේ හත්වැනි භාවයෙහිය. වර්තමානයේදී බොහෝ කේන්දරවල ආදරය හා විවාහයට බලපෑම් ඇතිකරන දෝෂ තත්ත්ව කිහිපයක් දැකගත හැකිවෙයි.

1. මංගලි දෝෂ
2. සර්ප දෝෂ
3. පිසාච බාධක
4. මරණකාරක භාවයන්

මංගලි දෝෂ, කුජ දෝෂ, භෞම දෝෂ යන සියලූ නම් හරහා පොදුවේ කතාකරන මෙම තත්ත්වය තුළින් සිදුවනුයේ විවාහය තුළ දෙදෙනාගේ සබඳතා දුරස් වීමයි. මේ හේතුවෙන් කොතරම් හොඳින් පෙම්වතුන් පෙම්වතියන් ලෙස ගතකළද විවාහය යන රාමුව තුළට පිවිසීමත් සමග දුරස්වීම් ක‍්‍රියාත්මක වීම සිදුවෙයි. මංගලි දෝෂ ඇතිවීමට කාරණා කිහිපයක් බලපාන අතර පෙර ආත්මයේදී තම කාලත‍්‍රයාට ලිංගික පීඩා සිදුකිරීම මෙන්ම බහුසබඳතාද හේතුවෙයි.
සර්ප දෝෂ හරහා සිදුවනුයේ පවුලක් ලෙස ඒකකයක් ගොඩනගා ගැනීමට බාධා ඇතිවීමයි. විවාහය යනු පවුල් ඒකකයක් බිහිකිරීම බැවින් ආදරය විවාහය දක්වා ගමන් කිරීමට අවස්ථාව ඇති නොවේ. මෙවන් දෝෂ ඇතිවීමට ප‍්‍රධානම හේතුව වනුයේ පෙර ආත්මයේදී තම පවුලේ මෙන්ම වෙනත් පවුල්වල සතුට සැනසුම විනාශකර දැමීමයි. සර්ප දෝෂ හේතුවෙන්ද ආදරය විවාහය දක්වා ගෙනයෑමට බාධා මතුවෙයි.

පිසාච බාධක යනු පෙර ආත්මයේදී මෙන්ම මේ ආත්මයේදීත් තම ක‍්‍රියාවන් හේතුකොටගෙන තමන්ට බලපෑම් ඇතිකරනු ලබන මළගිය ආත්මයන්ය. මළගිය ආත්ම වර්ග කිහිපයක් සිටී. ප‍්‍රබල ලෙස මිනිස් සබඳතා බිඳදැමීම උදෙසා බලපෑම් ඇතිකරනු ලබන්නේ භූත පිසාචයන් හා පේ‍්‍රත පිසාචයන්ය. මෙම පිසාච ආත්මයන් විසින් යම් පුද්ගලයකුට බලපෑම් ඇතිකිරීමට ඔහුගේ මනස දුර්වල කිරීම හරහා මෙම සබඳතා කඩාබිඳ දැමීම සිදුකරනු ලබයි. ආදර සබඳතා බිඳවැටීමට මෙම බලපෑම් බොහෝ සේ හේතුවෙයි.

වෛදික සම්ප‍්‍රදාය තුළදී විශේෂිත දෝෂ තත්ත්වයක් ලෙස සලකන මරණකාරක භාවයන් හරහාද ආදර හා විවාහ සබඳතා බිඳවැටීම සිදුවෙයි. මරණකාරක භාවයන් යනු ග‍්‍රහයන්ගේ බලය නැතහොත් ග‍්‍රහයා සතු කාර්යය බිඳවැටීමයි. මෙහිදී ආදර සබඳතා බිඳවැටීම උදෙසා ගුරු හා සිකුරු මරණකාරක වීම බොහෝ සෙයින් බලපෑම් ඇතිකරනු ලබයි. ගුරු අනාගතය ගෙනෙන්නා ලෙසින් පස්වැන්නට යෝගකාරක වීමත් සිකුරු සබඳතාවලට යෝගකාරක වීමත් හේතුවෙයි. මෙම ග‍්‍රහයන් මරණයට පත්වූ විට සිදුවන්නේ ආදරය විවාහයට අදාළ සබඳතා බිඳවැටීමයි.

එසේම ආදරය මතින් විවාහවී හෝ යෝජනා විවාහයක් සිදුවීම පුද්ගල අවශ්‍යතා මත සිදුකළ නොහැකි වෙයි. විවාහය තමා තුළට ගෙන එනු ලබන්නේ කෙලෙසද යන්න කේන්දරය තුළ පැහැදිලි ලෙසම සඳහන්ව පවතී. එහිදී විවාහය රැුගෙන එන්නේ උපපදය :ඹඛ* විසිනි. උපපදය යනු දොළොස් වැනි භාවයේ අධිපතියා තැන්පත් භාවයට ඇති දුර අධිපතියාගේ සිට ඉදිරියට ගැනීමෙන් ලැබෙන ස්ථානයයි. එම භාවයේ අධිපතියාගේ ස්වරූපයෙන් ජන්මියාගේ විවාහ සබඳතාව ගොඩනැගෙයි. ශුක‍්‍ර-ආදරය මුල් කරගත් විවාහයකි. කුජ-චණ්ඩිකමින් සිදු කරගනු ලබන විවාහයකි. රාහු-අතවරයක් හෝ බලපෑම් මත සිදු කරගනු ලබන විවාහයකි. බුධ-පාසල් ආදරයකි. ගුරු-උදව් පදම් සිදුකර මඟපෙන්වීම හරහා සිදුකර ගන්නා විවාහයකි. චන්ද්‍ර-කරුණාව දයාව මත සිදුවන විවාහයකි.

ඉහත ආකාරයෙන් තම සබඳතා ගොඩනැගෙන ආකාරය හරියාකාරව අවබෝධ කොටගෙන ගොඩනගාගන්නා සබඳතාවල බිඳවැටීම් බොහෝවිට සිදු නොවෙයි. මෙය අප හොඳින් අවබෝධ කරගත යුත්තකි.

ආදර සබඳතා විවාහ සබඳතා බිඳවැටීම උදෙසා පිළියම් යෙදීමේදී ඉහත තත්ත්වයන් අවබෝධ කරගනිමින් කටයුතු කළ යුතුවේ. මෙහිදී පොදුවේ සිදුකළ හැකි ශාන්තිකර්ම වනුයේ ලක්‍ෂ්මි, ක‍්‍රිෂ්ණ හා හනුමාන් දෙවියන් උදෙසා ධ්‍යාන වැඞීමයි. ඒ සඳහා ඒ ඒ දෙවිවරු උදෙසා ඇති ගයාත‍්‍රි මන්ත‍්‍ර භාවිත කළ හැකිය.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර

5 1 vote
Article Rating
guest
0 Comments
Inline Feedbacks
View all comments
Translate »
You cannot copy content of this page
0
Would love your thoughts, please comment.x
()
x