තරු වළල්ල

ශනිට ආදරය කරන්න

ජ්‍යොතිෂ්‍යය තුළ සිටින ග‍්‍රහයන් සියල්ලම අතුරින් මිනිසුන් නම ඇසීමටත් බිය ග‍්‍රහයා සෙනසුරුය.

එයට ප‍්‍රධානම හේතුව වී ඇත්තේ ලාංකේය ජ්‍යොතිෂ්‍යවේදීන් ශනි නැතහොත් සෙනසුරු පිළිබද මිනිසුන් තුළ ඇති කර ඇති අනියත බියයි.

අන් ග‍්‍රහයන්ගේ ග‍්‍රහ මාරුවීම්වලට වඩා ශනි ග‍්‍රහ මාරුවකින් පසු තමන්ට ඇති වන සුබ අසුබ පිළිබද දැනගැනීමට වඩා උනන්දු වෙයි. එයට හේතුවන්නේ ද ශනි පිළිබද මිනිසාගේ ආකල්පයයි.

විශේෂයෙන් සෙනසුරු පිළිබද ඇත්තේ දුක, වේදනාව මුසු වූ හැගීමකි. දුක් කරදර ඇතිකරමින් සිතේ සතුට සහනය බිදදැමීම සෙනසුරුගේ කාර්යය බව මිනිසුන් සිතයි.

එය එක්වරම එසේ යැයි පැවැසිය නොහැකියි.

විශ්ව කේන්ද්‍රය තුළ දසවැන්න වන මකරයේත් එකොළොස්වැන්න වන කුම්භයේත් අධිපතිත්වය දරනුයේ ශනිය. දසවැන්නෙන් තම ජීවිතයේ සාක්ෂාත් කරගැනීම් හා තම ක‍්‍රියාවන් (කර්මයන්)පාලනය කරනු ලබයි.

එකොළොස්වැන්න තමාට ලැබෙන ලාභයන් හා ආදායම්ය. මෙහි දී තේරුම් ගත යුතු සත්‍ය වනුයේ තම ජීවිතයේ සියලූ ක‍්‍රියා හා එයට ලැබිය යුතු ප‍්‍රතිඵලයන් තීරණය කිරීමේ වැඩි විශ්වීය බලය ඇත්තේ ශනි ග‍්‍රහයා සතුව බවය.

ජ්‍යොතිෂ්‍යයේ දී ශනි යනු කම්කරුවා නැතහොත් වැඩකරුවාය. ශනිට අවශ්‍යය වනුයේ වැඩ කිරීමය. වැඩ කිරීම තුළ ශනි බලාපොරොත්තු වන ප‍්‍රධාන ගුණාංගයන් කිහිපයක් පවතියි.

පළමු වැන්න නම් විනයයි. සේවකයකු තුළ උපරිමයෙන් විනයක් පැවැතිය යුතුය.

දෙවනුව ශික්ෂණයයි. සේවකයකු තුළ යමෙක් දෙන උපදෙස් ක‍්‍රියාත්මක කිරීමට නම් ඔහු තුළ හොද හැදියාවක් හා අනුගතවීමක් පැවැතිය යුතුය. ශික්ෂණය යනු එයයි.

තෙවැන්න වනුයේ කැපවීමයි. හොද සේවකයකුගේ ප‍්‍රධාන ලක්ෂණය මෙයයි. වැටුප වෙනුවෙන් වැඩ කිරීමට වඩා කාර්යය වෙනුවෙන් කැපවීම ශනි ප‍්‍රබල ලෙස අපේක්ෂා කරයි.

ඒ අනුව විනය, ශික්ෂණය හා කැපවීම එක්තැන් වූ සේවකයකුට ශනි කිසිදා දඩුවම් දෙන්නේ නැත.

ශනිගේ දඩුවම්දීම යනු ඔහුට අයත් කාල සීමාවේදී ඔහු අපේක්ෂා කරන ඉහත ගුණාංගයන් මිනිසා තුළ ඇති කිරීමයි.

විනයක්, ශික්්ෂණයක් හා කැපවීමක් නැති පුද්ගලයකු තුළ ඒවා වර්ධනය කිරීමට ඇති හොදම ක‍්‍රමය ඔහු ප‍්‍රබල ගැටලූවකට හෝ අනතුරකට ලක් කිරීමය.

උදාහරණයක් ලෙස මෙලෙස සිතන්න. කකුලක් කැඩුණු පුද්ගලයකු තුළ විනය හා ශික්ෂණය නිතැතින් ඇති වන්නේ එක්තැන් වී සිටීමට සිදුවන නිසාය. කෙසේ හෝ නැගිටිය යුතුය යන කැපවීමද ඔහු තුළ ඇති වෙයි. ඒ සෙනසුරු පාඩම් කියාදෙන විදියයි. එහි දී විනය, ශික්ෂණය හා කැපවීම සහිත පුද්ගලයකුට ඔහු කිසිවිටක දඩුවම් කරන්නේ නැත.

ශනි පිළිබද ඇති බියට ප‍්‍රධාන වශයෙන්ම හේතුවන්නේ ශනි ඒරාෂ්ඨක පිළිබද ඇති බියයි. චන්ද්‍ර සෙනසුරු ඒරාෂ්ඨකය. ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය. චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨකය, ලග්න අෂ්ඨම ඒරාෂ්ඨකය ආදී ලෙස ශනි කේන්ද්‍රයේ ගමන් කරන ස්ථාන අනුව ඇතිවන ඒරාෂ්ඨක නැතහොත් අශුභ ඵලයන් වෙනස් වන බව ජ්‍යොතිෂ්‍යය මතයයි.

ශනි දුකට අධිපතියා සේම කකුලක් කොට පුද්ගලයකුගේ සංකේතයකින් හැදින්වෙයි.

කකුලක් කොටවීමට හේතුව ලෙසින් සැලකෙන්නේ හෙළ රාවණ රජු තම පුතා වූ ඉන්ද්‍රජිත් උපදින අවස්ථාවේදී සියලූ ග‍්‍රහයන්ට එකොළොස්වන රාශියට පැමිණ සිටින ලෙස ආරාධනා කළේය. එසේ පැමිණි ග‍්‍රහයන් අතර සිටි ශනි තම වම් කකුල දොළොස්වන භාවයට දැමීම හේතුවෙන් රාවණ තම කඩුවෙන් එය කැපූ බවට ජනප‍්‍රවාදයක් පවතී.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close