විවාහය තුළ අධ්‍යාත්මික වීම

විවාහක දරුවන් වගේම විවාහ නොවූ තරුණ දරුවන් වරද්ද ගත්ත සංකල්පයක් ගැන පුංචි පැහැදිලි කිරීමක් කළ යුතුයි කියලා හිතුවා…
සමහර තරුණ දරුවෝ කතා කරලා කියනවා තමන් අධ්‍යාත්මික මාර්ගයක යෑමට උත්සාහ කරනවා කියලා … විවාහක දරුවොත් මේක අහනවා … ඒගොල්ලෝ අහන විදිය නම් ටිකක් වෙනස් … මම කසාද බැන්දා නමුත් මට ඒ ජීවිතේ ගැන හැඟීමක් නැහැ . මට ඕනේ භාවනාවක් කරගෙන මනස නිදසේ තියාගන්න … මේ ආත්මෙට රුගෙන ආපු බැඳීම ඉක්මනට ඉවර කරලා දාන්න …
හැමදෙනාම මේ කියන දේ ගැන ටිකක් හිතල බලන්න …. තරුණ දරුවෙක් කතා කරලා ඔය ටික අහපු ගමන් මම සරලවම අහන උත්තරේ ගැන නම් ගොඩ අය දන්නවා ….
ඔබට ආදායම් මාර්ගයක් තියෙනවාද ? ඔබට ගෙයක් දොරක් තියෙනවද ? ඔබට වාහනයක් තියෙනවද ?
බොහොම කලාතුරකින් තමයි ඔය දේවල් වලට ” ඔව් ” කියල උත්තරයක් එන්නේ … ඔව් කියන කවුරු හරි දරුවෙක් කිව්වොත් ඒක යහපත් මාර්ගයක් විදිහට මම දකිනවා … ඒ කියන්නේ ඔහු භෞතික සංවර්ධනය සම්පූර්ණ කරගෙන ඉවර වෙලා , ආධ්‍යාත්මික සංවර්ධනය ගැන හිත යොමු කරන්නයි හදන්නේ….. ඒත් නෑ කිව්වොත් … එතන ඇත්තටම තියෙන්නේ ආධ්‍යාත්මික සංවර්ධනයක් ගැන හෙවීමක් නොවේයි. බොහොම කලාතුරකින් තමයි ඒ අයට ආධ්‍යාත්මික සංවර්ධනයක් කරා ගමන් කරන්න පුළුවන් වෙන්නෙ…..
මොකද ගොඩක් අය අමතක කරන තැනක් තමයි , මේ කළ යුගය බව …
හොඳයි දෙවන වැදගත්ම කාරණාව… විවාහයට පත්වුණාට පස්සේ ආධ්‍යාත්මික ජීවිතයක් සෙවීම …. මම මේක නම් දකින්නේ සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතය තුළින් පලා යන්න දරණ උත්සාහයක් විදිහටයි…. මොකද බුදු දහම තුළ විවාහයක් තුළ ඉඳගෙන විවාහයේ ධර්මතාවයන් යහපත්ව සම්පූර්ණ කරන ගමන් සෝවාන් මට්ටමට ගමන් කරන්න පුළුවන් කම තියෙන බව දන්නවනේ…
මෙසේ ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන ගිහියාව දෙවියන්ගේ වන්දනයට ද සුදුසු උතුමකු වන බව ශක්‍ර දේවේන්ද්‍රයන් විසින් මනුලොව දෙසට කළ නමස්කාරය පිළිබඳ පුවතින් සනාථ වනවා .
“යෙ ගහට්ඨා පුඤ්ඤා කරා
සීල වත්තා උපාසිකා
ධම්මේන ධාරං පෝසෙන්ති
තං නමස්සාමි මාතලී”
“මාතලී යම් ගෘහස්ථ සිල්වත් උපාසකයෙක් පින් දහම් කරමින් තම භාර්යාව ධර්මානුකූ®ලව පෝෂණය කරත් නම් මම ඔහුට වඳිමි”
බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ ජීවත් වූ නකුල මාතා හා නකුල පිතා නම් යුවළ ප්‍රසිද්ධව ඇත්තේ යහපත් විවාහ ජීවිතයක් ගත කිරීම සම්බන්ධයෙන්ය . ඔවුන්ගේ ආධ්‍යාත්මික විවාහ ජීවිතය ඇගයීම උදෙසා බුදුරජාණන් වහන්සේ විසින් ම ‘පරම විසසාසිකා’ යන ගෞරව නාමයෙන් ද හැඳින්වූ බව පොතපතේ සඳහන් වේ. .
විවාහක යුවළක් තුළ සද්ධා, ශීල, චාග, පඤ්ඤා යන ගුණධර්ම එකිනෙකා තුළ සම මට්ටමකින් හෝ පවතී නම් එම විවාහය තුළ ගැටළු නිර්මාණය නොවේ. බෞද්ධ ඉගැන්වීම ද එයයි . ඒ අනුව තේරුම් ගත්ත යුතු කාරණාව වනුයේ විවාහය තුළ අධ්‍යාත්මිකත්වය සෙවීම තුළ බොහෝ විට ඇත්තේ එක් අය තුළ හෝ ඉහත කරුණු නොමැති අවස්ථාවන් තුළ අනෙකා කලකිරීමට පත්වීමයි . විවාහය කියන සමාජ රාමුවෙන් මිදීමට ඇති බිය හා ලැජ්ජාව තුළ එවිට මනස විවාහය තුළ රැඳී සිටියදීම අධ්‍යාත්මික වීමක් පිළිබඳ තර්කයක් මතුවෙයි.
සමාජය දෙස හොඳින් බැලූ විට මෙම ආධ්‍යාත්මික වීම තුළ ඇත්තේ කුමක්ද යන්න පිළිබඳ කල්පනා කර බලන්න .
මෙම තත්ත්වය නිර්මාණය වීමට හේතුවන මූලික කරුණු චතු සංවාස සූත්‍රය තුළ සදහන් වෙයි .
එයට අනුව අඹුසැමියන් වර්ග හතරකි.
01. ජවෝ ජවාය සද්ධිං සංවසති
(මළ පෙරේතයෙක් මළ පෙරේතියක් සමඟ විසීම)
කිසිදු යහපත් ගුණධර්මයක් නැති පිරිමියෙකු හා ගැහැණියෙක් විවාහ වී සමාජයට මෙන්ම තමන්ගේ පවුල තුළද පීඩා ඇති කරගනිමින් ජීවත්වීම.
02. ජවෝ දෙවියා සද්ධිං සංවසති
(මළ මිනියක් දෙව්දුවක හා විසීම)
සැමියා තුළ කිසිදු ගුණධර්මයක් නැති අතර බිරිඳ තුළ උතුම් ගුණ ධර්ම පැවතීමයි.
මෙහිදී ගුණධර්ම ගුණ ලෙස මූලිකව අදහස් කරන්නේ ලැජ්ජා බිය ආරක්‍ෂා කිරීමයි. මෙය ලෝක පාලක ධර්ම ලෙස සැලකේ.
එහිදී අනෙක් පසට ගත යුත්තේ සැමියා තුළ ලැජ්ජා බිය නැති තිරිසනෙකු හා සමාන බවය . බීරිඳට දරුවන්ට පීඩා කරන මත්පැන් පානය කරන හොර මැරකම් කරන නිවසටත් සමාජයටත් පීඩා ඇති කරන පුද්ගලයෙක් බවය .
බිරිඳ කොතරම් සුබවාදීව සැමියාට සැලකුවද හැම විටම එහි වැරදි දැකීමත් විවාහය තුළ සැමියා වෙතින් බිරිදට ඉටුවිය යුතු යුතුකම් ඉටු නොකිරීමත් මෙහිදී සිදුවේ.
මෙම විවාහය තුළ උපදින දරුවන්ට කෙසේ හෝ යුතුකම් ඉටු කිරීමට මාව නැතහොත් බිරිඳ විසින් උත්සාහ දරනු ලබයි . මෙම දරුවන් ට බොහෝ විට ජීවිතයේ යම් මට්ටමකට පැමිණේ …
03. දේවො දෙවියා සද්ධිං සංවසති
(දේව පුත්‍රයෙක් දෙව්දුවක හා විසීම)
බිරිඳ හා සැමියා යන දෙදෙනා තුළම යහපත් ගුණ ධර්ම පිහිටා තිබීමයි . පවුල තුළ මෙන්ම අවට සමාජය තුළදීද සතුටින් ගත කරයි. සමාජයට උදව් උපකාර කරයි . පිනට දහමට ලැදිය . දරුවන්ට පවුලට හොඳින් සලකයි . දෙමාපියන් රැක බලා ගනියි .
සතුටින් ජීවත්වන පවුල් තුළ ඇත්තේ මේ සබඳතාවයයි .
04. දේවෝ ජවාය සද්ධිං සංවසති
(දේව පුත්‍රයෙක් මළමිනියක් සමඟ විසීම)
දෙවැනි අවස්ථාවේ පරස්පර තත්වයයි … එනම් ගුණධර්ම සහිත සැමියෙකු කිසිදු ගුණධර්මයක් නැති බිරිදක් සමග වාසය කිරීමයි .
බිරිඳ නිතරම වැරදි ක්‍රියාවල යෙදෙන අතර, ලැජ්ජාබිය නොමැතිව කටයුතු කරයි . සරලව පවසන්නේ නම් තිදොරින්ම වැරදි සිදු කරනු ලබන තැනැත්තියකි .
මෙම පවුල තුළ උපත ලබන දරුවන්ද බොහෝ සෙයින් පීඩාවට පැමිණේයි . එහි විපාක විඳින්නට සිදුවනු ඇත. දරුවන්ගේ ජීවිත බොහෝ විට විනාශ වීම සිදුවන අතර යහපත් මාර්ගයන් නිර්මාණය කර නොගනී
මෙහිදී මා පැහැදිලි කිරීමට උත්සාහ දරන්නේ විවාහය තුළින් බොහෝ විට පලායාමට උත්සාහ දරන්න ඉහත බැඳීම් තුළ පවතිනවා. නොගැලපීම් හේතු කොට ගනිමින් බවය.
යමෙක් විවාහයට පෙර තමන්ට ලැබෙන සැමියා හෝ බිරිද ඉහත කාණ්ඩ හතරෙන් කුමකට අයත්වයද යන්න හරිහැටි අවබෝධ කර ගනු ලැබූව හොත් ඔවුන්ගේ ජීවිතවල ආධ්‍යාත්මික මාර්ගය විවාහය පිළිවෙන්නේ නිර්මාණය කර ගැනීමට හැක වේ.
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

