අපේ ගම

ගඩොල් කෝච්චියෙන් කොස් කන්දේ අතීතයට ....

ඉස්සර කොස්කඳවිල පහුකරලා අරංගල පැත්තට යද්දි කිලෝමීටරයක් විතර දිග ගල් කන්දක් තිබ්බා … අපි දකින කාලෙත් ඕක කඩනවා ඒ ගල් කන්ද රිදී විහාරය පිහිටලා තිබ්බ ගලෙන්ම පැතිරිච්ච ගල් කන්දක් … ඒක අති විශාල ප්‍රදේශක පැතිරිලා තිබ්බා .. ඒ නිසා එක එක පැතිවල අයිතිය තිබ්බේ එක එක අයට … හැම පැත්තෙන්ම මේක කඩනවා … ඉඳලා හිටලා ගල් බෝර පුපුරනවා ඇහෙනවා ….
ගෙවල් වලින් කවදාවත් මේ පැත්තට යන්න දෙන්නේ නැහැ . මොකද මේක හැම පැත්තකම වතුර පිරිච්ච මහා වලවල් තියෙනවා … මාස දෙක තුනකට සැරයක් කොහොමත් වීරකම් පෙන්නන්න යන නහයට අහන්නේ නැති එකෙක් ගිලිලා මැරුණා කියලා අහන්න ලැබෙනවා…

අපිත් ඉතින් පොඩි කාලේ කරන ලොකුම වීරක්‍රියාවක් තමයි . දෙන්නෙක් තුන්දෙනෙක් එකතු වෙලා හොරෙන් ගල්වල බලන්න යන එක.. හැබැයි කවදාවත් වතුර වලවල් වලට නම් බැස්සේ නෑ නාන්න … සමහර වතුර බලවත් තියෙනවා මෝටර් දාලා හිස් කරන…. ඒවා ගල් කන්දට වඩා ගැඹුරුයි ., හැබැයි මැදින් වල මැදට යන්න ගල් වලින්ම ඉතිරි කරපු පාරවල් තියෙනවා …. ලෝකෙ තියෙන ලොකුම වීර ක්‍රියාව තමයි ඒ දවස්වල ඒ පාර දිගේ වල ඇතුලට යන එක … හැබැයි පන බයේ තමයි යන්නේ පුපුරයිද කියලා….

බොරේ වෙඩි නූල පත්තු කරන කොට පළාත දෙදරන්න ” බෝරේ ” කියලා තුන් පාරක් කෑ ගහනවා . පළවෙනි සද්දෙ ඇහෙන කොටම පොඩි මිටි වලින් ගල් කුඩාවට කඩ කඩා ඉන්න මිනිස්සු නැගිටලා ඉක්මනින් අයින් වෙනවා . ඊට පස්සේ තමයි නූල පත්තු කරන්නේ…..

අද වගේ ඩයිනමයිට් දාන කරන්ට් එකෙන් පුපුරවන ඕන ක්‍රමවේද තිබ්බේ නැහැ . ගල් කන්ද මැදට ලණුවකින් අමාරුවෙන් නැගලා බෝර කටු කියලා කියන ගල් ඉණී වගේ එකකට මිටියෙන් ගගහා දවස් ගානක් ඒ වල අඩි හත අටක් ගැඹුරට හරනවා… ඒක ඇත්තටම ඉතා අවදානම් වැඩක් … කන්දේ මැද හාරන බෝරවලකට වෙඩි බෙහෙත් කොටලා ගොඩක් දිගට වෙඩි නූල දාන්නේ නෑ .. ඒ අය වෙඩි දල්වන්නෙත් ලණුව දෙකේ භාගයක් දුරට නැගලා… ඒක පත්තු කරලා වේගෙන් බැහැලා දුවනවා …. මෙහෙම දුවා ගන්න බැරි වෙච්ච එක්කෙනෙක් දෙන්නෙක් මැරිලත් තියෙනවා …. එක පාරක් වළක අයිති කෙනෙකුත් එහෙම පුපුරපු ගලක් ඇඟට වැටිලා මැරුණා …. ඒ අපි පොඩි කාලේ ….

කතාව පොඩ්ඩක් වෙනස් පැත්තකට ගියා .. කොහොම හරි ඔය ගල් කන්දේ උඩ මුල් කොටසට වෙන්න එරමිණියා යායක් තියෙනවා අපි වැඩිපුරම රිංගන්නේ ඕකට … කටු ඇනගෙන ඇති වෙනකන් එරමිණියා ගෙඩි කඩා ගන්නවා . එරමිණියා ගාලක් අස්සට රිංගුවා කියන්නේ අතපය තුවාල කර ගන්නේ නැතුව එන එක නම් බොරු ඒත් ඉතින් පෙරේතකම යන්නෙ නෑනෙ තුවාල වුණත් .. ඒ නිසා කොහොම හරි සාක්කු පිරෙනකම්ම කඩා ගන්නවා ….

ඔය ගල් කන්ද ගැන විශේෂ කතා ගොඩක් තියෙනවා . ජේවිපී කලබල කාලෙ ඒ අයගේ සන්නද්ධ අංශයයි මේකේ හැංගිලා හිටියා කියලා මේ කන්ද වටලනවා . ගම දෙවනත් වෙන්න වෙඩි තියාගන්නවත් ඇහෙනවා .. ඒ සිදුවීම්වලින් පස්සේ අපිට ඒ කන්ද තහනම් කලාපයක් වුණා …

ඇල්බට් පෙරේරා ගල්මෝල අද ලංකාවම දන්න නමක්නේ… ඒ කාලේ පාරේ අයිනෙන් චුට්ටක් ගල් කන්දට නැග්ගම ඈතට ගල් කඩන දිහා බලන්න පුළුවන්… අපි ඒකට හරිම ආසයි පොඩි කාලේ … එතනට නැක්කම අපිට හැමදාම හිතෙන්නේ මිහින්තලේට නැග්ගා වගේ කියලා … ඒ වගේම ඒ ගල් කන්දේ පාරා පැත්තෙන් අඹ ගහක් තිබුණා .. අපේ සීයලා කියනවා ඉස්සර හා ඔය ගල්වලේ අයිති කෙනාට පාර අයිනේ පුංචි තේ කඩයක් තිබුනලු … එතකොට ඔතන ගල් කන්දේ ගල් කඩලා තියෙන්නේ අත්මිටි වලින් පොඩියට … කඩේ ආදායමෙන් ම ඔහු ටික ටික ක් ගල් කන්දෙ ඉඩම් මිලට ගත්තලු.. එහෙමලු ඒ මහා ව්‍යාපාරය ගොඩනැගුනේ ( මම අහපු දේ පමණයි ඒක ඉතිහාසය ගැන මම දන්නේ නැහැ . මොකද මම ඉපදෙනකොටත් ඕක ඔතන තිබිලා )

ඉස්සර රත්නාරාමේ පන්සලට කලින් නෙළුම් පොකුණු දෙකක් තිබුණා . ඒවා ගල් කඩලම ඇතිවෙච්ච පොකුණු … එකක් පන්සල අයිනෙම තිබුණේ අපිත් ඒකට ගිහිල්ලා බැහැලා කඩනවා.. ඒක එච්චර ගැඹුරු නැහැ.. කොහොම වුණත් මට තියන හින්ද මැදට නම් යන්නේ නැහැ… ඊට ටිකක් එහායින් තියෙනවා ලොකුවට නෙළුම් පිපෙන තව විලක්… ඒක බිලිගන්න විලක්.. දහම් පාසලට මල්ගෙනියන්න සෙනසුරාද හවසට නෙළුම් කඩන්න දවස් තියෙනවා.. ඒත් ඉතින් ගෙවල් වලට හොරෙන්.. බිලිගන්න විලේ කොහොමත් අවුරුද්දකට සැරයක් මල් කඩන්න යන කෙනෙක් ගිලෙනවා…. ගොඩක් වෙලාවට තරුණ ළමයි තමයි එහෙම මැරෙන්නේ…. ඒ බිලිගන්න විලට උඩින් අමාරුවෙන් ගල දිගේ නැගලා කඩා ගන්න ඕන සියඹලා ගහක් තිබුණා … මල් කඩන්න ගියාම කොහොම හරි බඩගාලා සියඹලා ටිකක් කඩා ගන්නත් අමතක කරන්නේ නැහැ …

අරන්ගල ඉඳන් අතුරුගිරියට යනකොට මේ එකක්වත් පේන්න නෑ … ඒ බොහෝ තැන්වල ගල කඩලා ඉවරයි . මහා වලවල් පුරෝලා ඒවා වල මහ ගොඩනැගිලිත් හදලා තියෙනවා. නොදන්න කෙනෙක්ට තාම ගල්වලා කියලා පේන්නේ ඇල්බට් පෙරේරා සමාගම විතරයි.. ඒකෙත් මම හිතන්නෑ වැඩිපුරම පිටින් ගේන ගල් තමයි එතන දැන් කඩන්නේ….

කතාව නවත්තන්න කලින් තව එක කොටසක් එකතු කරන්න ඕනේ කියලා හිතුනා … ” අරංගල ” කියන නම හැදෙන්නේ ” වරංගල ” කියන නමෙන් තමයි .. වරම් ගල කියලා කියන්නේ පත්තිනි මෑණියන්ට දේවත්තයට යන්න වරම් ලැබිලා තියෙන්නෙ මෙතනදි .. ඒ නිසයි අදටත් පත්තිනි මෑණියන් වෙනුවෙන් එතැන දේවාලයක් තියෙන්නේ…

අද මගේ විග්‍රහය මීට වඩා ගොඩක් වෙනස් … මේ ගලපුරා තමයි පිරමීඩ් බාස්ලගේ රූප තියෙන්නේ ඉතිරිවෙලා තියෙන ගලපුරාම විවිධාකාරී රූප සටහන් තියෙනවා … ඉතින් ඔබ හිතන්න අක්කර ගාණක් පුරා පැතිරිලා තිබ්බ ගලේ මොනා තියෙන්න ඇතිද ? මේ ගල හරහා නවගමුවට උමඟක් තිබුණා කියලත් මතයක් තියෙනවා… අදටත් දේවාලය ඇතුලෙන් උමං දොරටුවක් තියෙනවා කියලත් කියනවා … මොනවා තිබුණත් අද මේවා හීන විතරයි ඒවා ඇති රට පුරා හදපු ගෙවල්වල පවුන්ඩේෂන් වලයි . ගල් වලට කඩලා මහ පාරවල් වලට අතුරපු abc වලයි ….

කොහොම වුණත් තව ටික කාලෙකින් සින්දුව විතරක්ම ඉතිරි වේවි…. ( ඒ අරංගල මේ අරංගලම නොවෙන්න පුළුවන් )

රන්පොට තෙලඹුව මැණිකෙට වරම් ලැබුනු දා
අරන්ගලේ දී මැණිකෙට වරද ලැබුනදා //
මලේ යන්න බැරි මැණිකේ රේණු තැලෙනවා
දොලේ යන්න බැරි මැණිකේ දොල බොරවෙනවා
ගලේ යන්න බැරි මැණිකේ පතුල රිදෙනවා
කවි කියන්න බැරි මැණිකේ උගුර රිදෙනවා

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

error: Content is protected !!