විශ්ව පිළියම්

හාන්සී වී ? හොයන්න හිතෙනවද ?

අපේ තරුණ පරපුර අතර ප්‍රසිද්ධ කථාවක් තියෙනවා …

“ මහන්සි වී මුදල් සෙවීම හා හාන්සි වී මුදල් සෙවීම ”

වර්ථමානය වන විට මේ කියමන මුහුණුපොත තුල ලිංග භේදයකින් තොරව බොහෝ ජායාරූප යටින් ලියවෙන අවස්ථා ඔබ දැකල ඇති … මම කතා කරන්න උත්සාහ කරන්නේ ඔබ හිතන දෙය ගැන නම් නොවෙයි …. වෙනත්ම හාන්සියක් ගැන …..

තාරුණ්‍යයට එළඹීමත් සමග හැම කෙනෙක්ගෙම සිහින තියෙනවා . ඒ හැම හීනයක්ම අවසන් වෙන්නේ ආර්ථික ස්ථාවරත්වයත් එක්ක…. ඒ නිසාම බොහෝ වෙලාවට වැඩි දෙනෙක් තමන්ගේ හැකියාවන් සුදුසුකම් මත කුමන හෝ රැකියාවක් හොයාගන්න උත්සාහ කරනවා …

තවත් පිරිස් දෙකක් ඉන්නවා . එක කොටසක් තමයි, ගෙදරින්ම හැමදේම ඉල්ල ඉල්ල යැපෙන පිරිස .. ඒක ඇත්තටම කම්මැලිකම වගේම නොහැකියාව . ඒ කියන්නේ තමන්ට හරි හමන් දෙයක් කරගන්න තරම් ශක්‍යතාවයක් නොමැතිකම … ඒ පිරිස තමයි බොහෝ වෙලාවට අම්ම තාත්තගෙන්ම ගත්ත මෝටර් සයිකලේ අරගෙන හවසට වැව් අයිනේ … පාරවල් අයිනේ ඉන්නේ….

තුන්වැනි පිරිස ගැන තමයි මං ගොඩක්ම කතා කරන්න හදන්නේ…

“වෙහෙස නැතුව සල්ලි හොයන්න පුළුවන්”

කියන මුලාව ඇතුළේ ඉන්න පිරිස ගැන… මේ පිරිස ටිකක් තාක්ෂණය ගැන ඉගෙන ගත්තු පිරිසක් … බොහෝ වෙලාවට ඒ හා සම්බන්ධ පාඨමාලා එහෙම කරපු අය… මේ නිසාම ගොඩක් අය internet money නැත්නම් අන්තර්ජාලය හරහා මුදල් සෙවීම කියන කාරණාව මූලික කරගෙන කටයුතු කරනවා … ඒ කියන්නේ දවසේ වැඩි හරියක් හාන්සි වෙලා ෆෝන් එක දිහා බලාගෙන ෆෝන් එක ඔබ ඔබ ඉන්න එක ….

මේ නිසාම දන්නෙම නැතුව Telegram group , MLM, ponzi, crypto “quick cash” tricks
ක්ෂණික ණය , ඔට්ටු තැබීම හා ක්‍රීඩා වැනි ජාවාරම් ව්‍යාපාර වලට අහුවෙනවා.

පළමු අවස්ථාවේ තමන් ආයෝජනය කරන පොඩි මුදලට ලොකු ලාභයක් පෙන්නලා ඊට පස්සේ තමයි ටික දවසක් යද්දි තමන් අහුවුනා කියල තේරෙන්න පටන් ගන්නේ… ඒ වෙනකොට ලොකු ගානක් අහිමි කරගෙන ….. හැබැයි මේ පිරිස කවදාවත් ඒකෙන් මට්ටු වෙන්නේ නෑ … එකකට අහුවෙලා තමන්ගේ මුදල අහිමි කරගත්තත් ඔහුන් ඒකෙන් ගොඩ යන්න උත්සාහ කරන්නේ එවැනිම තවත් ක්‍රමයක් හරහාම තමයි .. ඒ නිසා දිගින් දිගටම හාන්සියේ අසුභ ප්‍රතිඵල විඳින්න වෙනවා .

තමන් අහුවෙලා විතරක් නවතින්නේ නෑ . මොකද මේ ජාවාරම් ඔක්කොම ගොඩනැගිලා තියෙන්නේ හීන ගොඩක් ඇතුලේ… තව කට්ටියක් එකතු කරොත් තමන්ට ලැබෙන ප්‍රතිලාභය වැඩියි…. කියන සිහින සිතුවිල්ල…. ඒ නිසාම තමන්ගේ පවුල්වල අයව ඥාතීන්ව විතරක් නෙවෙයි තමන්ගේ යාළුවොවත් මේකටම ගැට ගහගන්න උත්සාහ කරනවා. අවසානයේ වෙන්නේ ගමටම තමන්ට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් උදා වෙන එක විතරයි … ඉතා ඉක්මනින් හැමදේම අහිමි වෙනවා.

ගෙවී ගිය දශකය ඇතුලේ තමන් ඉක්මනින් සල්ලි හම්බ කරන්න ගිහිල්ලා තමන්ගෙ දෙමව්පියෝ ජීවිත කාලෙම දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දේවල් පවා විකුණන ණය ගෙවපු දරුවෝ මට කතා කරලා තියෙනවා .. ඉන්න හිටින්න තැනක් නැතුව යම් ආයතන වල හීන වලට රැවටිලා මාසෙට ලක්ෂේ දෙක ගෙවන්න වාහන අරගෙන පිරමීඩ ව්‍යාපාර වලට මිනිස්සු එකතු කරන්න ගිහින් අමාරුවේ වැටිච්ච අයව මම දැකලා තියෙනවා . තමන්ගේ ඉඩම් වාහන ගෙවල් විකුණන අතට ගත්ත සල්ලි ටික ගෙදර මිනිස්සුන්ටවත් නොකිය නොදන්න තැන්වල ආයෝජනය කරන්න ගිහින් එහෙමත් නැතිනම් ටෙලිග්‍රෑම් ගෘප් වලින් දෙගුණ කරගන්න ගිහින් හැමදේම අහිමි කරගත්ත අයව මට හම්බවෙලා තියෙනවා

ඉතින් මේ හැම දෙයක් ඇතුලෙම තියෙන්නේ මොකක්ද …. මහන්සි වෙන්නැතුව හාන්සි වෙලා මුදල් හෙවීමේ හීනය ….. බහුතරයේ අර්ථකථනය හා මේක අතර ලොකු වෙනසක් නෑ … එකම වෙනස ඇඟ විකුනන් නැති එක විතරයි . හැබැයි හරියට බැලුවොත් තමන්ගේ විතරක් නෙවෙයි තමන් වටා ඉන්න හැමෝවම විකුණනවා .

හාන්සි වෙලා මුදල් හොයන්න පුළුවන් .. හැබැයි ඒක ස්ථාවර නැහැ .. තමන්ගේ මොලේ පාවිච්චි කරලා තාක්ෂණය පාවිච්චි කරලා මුදල් හම්බ කරන්න මම බැහැ කියලා කියන්නේ නැහැ … ඒකනේ ඒ ක්‍රම හදපු මිනිස්සු ඒවායින් හොඳට දියුණු වෙන්නේ … හැබැයි ඒක ස්ථාවරය නොවෙයි .

? මහන්සියෙන් හොයන සල්ලි ඇතුලෙ වටිනාකමක් තියෙනවා . තමන්ගේ දක්ෂතාවයෙන් ගොඩනගා ගන්නා නිවැරදි මාර්ගයන් උදෙසා යොදවන කාලය, උත්සාහය, හා විශ්වාසය තුළින් බිහි වන්නේ ස්ථාවර දෙයක් …. ඒ උදෙසා කාලයක් ගත වුණත් එය බිඳ වැටෙන්නේ නැහැ … මෙය රැකියාවක් ව්‍යාපාරයක් හෝ සේවා සැපයීමක් වෙන්න පුළුවන් …. ඒ හරහා ලැබෙන මුදල් වල තියෙන්නේ වටිනාකමක් විතරක්ම නෙවෙයි … ඒ තුළ දිනා ගැනීම ජය ගැනීම පිළිබඳ හැඟීමකුත් තියෙනවා …

? මතක තබාගන්න

වෙහෙසී මුදල් ඉපයීමට බියවෙන්න එපා. හැම දේම ක්‍රමානුකූලව ගොඩනැගෙනවා . හැබැයි ඔබේ ජීවිතයට අවශ්‍ය සුදුසුකම් එකතු කරගන්න . සාර්ථක ජීවිතයක් කියන්නෙ TikTok trend එකක් නෙවෙයි. එය උත්සාහයෙන් තමන්ගෙම ආත්මය කැප කරමින් හුස්මෙන් හුස්මටම ගොඩනඟන එකක්. එය ගොඩනඟන්න වෙහෙසවෙන්න උනත්, එය ස්ථාවරයි . ඔබ දන්නෙම නැතුව ඒ හරහාම ඔබට සාර්ථක මිනිහෙක් කියන වචනය ගොඩනැගෙනවා ….

හාන්සි වෙන්න මහන්සියට…. හම්බ කරන්න නෙවෙයි

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

error: Content is protected !!