රාවණ වංශිකයෝ

කලු ගල් දියකල හෙළ තාක්ෂණය

සීගිරිය රිටිගල වගේම ලංකාවේ බොහෝ පුරා විද්‍යාත්මක ස්ථානයන් තුළ ලෝකය පුදුම කරවන ශිලා නිර්මාණ දැක ගත හැකිවේ . අව්කන බුදුරුව , සමාධි පිළිරුව , පොළොන්නරුවේ විශ්ව කර්ම ගල් නිර්මාණ පමණක් නොව ඉසුරුමුණි පෙම් යුවල වැනි ඉතා සියුම් ශිලා නිර්මාණයන් දකින විට හිතට නැගෙන ප්‍රධානම පැනය වන්නේ වසර දහස් ගණනකට පෙර මිටියකින් හා ගල් කටුවකින් මෙවන් සියුම් නිර්මාණ තනන්නට ඇත්තේ කෙලෙසද යන්නය .

එසේම මවිසින් රන්දිව පුවත්පතට ලියන ලද රාවණ 2 ලිපි මාලාවේදී සමනල ගිර කෘතිමව නිර්මාණය කරන ලද මුදුනක් සහිතව පවතින බව සඳහන් වු ලිපියක් පැවැති බව ඔබට මතක ඇති … ලංකාවේ මෙවන් ස්ථාන බොහොමයක් පවතී . කඳුමුදුන් හෝ ගල්කුළු කෘතිමව නිර්මානය කළ හැකිද ? කලුගල් තලාවන් මත නිදන් පැවති ස්ථාන පිළිබඳ හොඳින් බලන විට පැවති ගල හා කිසිදු වෙනසක් නොදැනෙන ලෙස එයට උඩින් බොරු ගලක් නිර්මාණය කර ඇති ආකාරය ා ඔබ දැක ඇත . එය ගලක් තබනු වෙනුවට ස්වභාවික ගලම පවතින ආකාරයටම ගලක් නිර්මාණය කර ඇත.

වර්තමානයේ දී උවත් නම් සිමෙන්ති කොන්ක්‍රීට් හා විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ගල් දෙකක් එකට ඇලවීමේ හැකියාව පැවතියත් ගල් දෙකක් එකිනෙක හා කිරීමේ හැකියාව ඉතා අල්පය . එසේ නම් අතීතයේ ඇති කළුගල් මෘදු කිරීමේ , හාකිරීමේ තාක්ෂණයක් පැව ත්ම තුනා විය යුතුය .

පැරණි හෙළයා තුළ පැවති ” ගල මඩකිරීම ” යන්න කළුගල් මෘදු කිරීමේ තාක්ෂණයක් බිඳී ආ වදනක් විය යුතුය . එසේම පත්තිනි මෑණියන් අදුන්ගිර පාගා මඩකර සුවඳ ඇල් වි ඉස පැලකොට ගොයම් කපා වී කොටා පොලා දියෙන් ගිනි මොලවා සත් පැයෙන් දානයක් දුන් කතාව තුළ ඇත්තේද ගල් මෘදු කිරීමේ යම් තාක්ෂණයක් එකල පැවති බවය .

මෙම ලිපි මාලාව තුළින් උත්සාහ කරන්නේ පුරාණ හෙළය විද්‍යාත්මකවද, ආධ්‍යාත්මිකවද වඩාත් සංකීර්ණව පැවති බව මතුකර පෙන්වීමටය . අතීතයේ කළුගල් දිය කිරීමේ නැතහොත් මෘදු කිරීමේ තාක්ෂණයක් පැවැති බව බොහෝ අය සිතුවත මෙහි පැවති තාක්ෂණය කුමක්දැයි කිසිවෙකු දැන සිටියේ නැත.

හෙළ යුගයේදී දැඩි කලු ගල් මෘදු කර මොලොක් ලීයක කපන කැටයම් හා සමානවම කැටයම් නිර්මාණය කිරීම හා ඉතා සියුම්ව ලියා ඇති සෙල්ලිපි උදෙසා විශේෂ තාක්ෂණයක් භාවිතා කර තිබේ. අද නවීන විද්‍යාවෙන් පවා මෙවැනි ක්‍රියාවක් කළ නොහැකි වුවත් බොහෝ ශිලා නිර්මාණයන් තුළින් අප දකින්නේ එම තාක්ෂණයයි.

ගල මඩ කිරීමේ තාක්ෂණයෙහි ආරම්භය සෘෂි භාෂිතයයි . සෘෂි භාෂිතය යනුවෙන් මා අදහස් කරන්නේ අතීත හෙළය තුළ සිටි සෘෂිවරුන් හා මුනිවරුට ගැඹුරු භාවනාව තුලින් ලැබුණු ක්‍රමවේදයි . ඒම දැණුම් පද්ධති පසු කාලීනව මුලාචාර්ය වරුන්ට උරුම විය . මුලාචාර්යවරුන් සතු තැනුම බොහෝ විට මනස මුල් කොට ගත් දැනුමක් විය . සෑම නිර්මාණයක් සැලසුම් කරනවිට භාවනාවෙන් ලැබුණු උපදෙස් අනුව ඔහුන් ක්‍රියා කළේය.

හෙළ යුගයේ කලු ගල් මෘදු කිරීම සදහා භාවිතා වූ තාක්ෂණය තුළ ප්‍රධාන අංග හතරක් පැවති බව පෙනී යයි .

1. ස්වභාවික ශාක මිශ්‍රණ
2. ශබ්ද තාක්ෂණය
3. මනෝ බල තාක්ෂණය
4. සන්ධිස්ථාන සක්‍රියකරණය

1. ශාක මිශ්‍රණ භාවිතය

විශේෂිත ශාඛ යුෂ සහ මැලියම් වර්ගවලින් සාදාගත් ද්‍රාවණයක් ගල් මත ආලේප කිරීමෙන් ගල් මෘදු කිරීම . මෙවැනි අවස්ථා කඳු පර්වත සන්ධිස්ථාන වල දක්නට ලැබේ. රස පරීක්ෂණවලින් සහ ද්‍රව්‍ය අවශේෂ වලින් මෙය තහවුරු වේ.

කලු ගල් මත පිළිම සෑදීමේදී, එම ගල් කොටස් ඉතා සුමට බවට පත් කිරීමට උපයෝගී කොට ගෙන ඇත්තේ මෙම තාක්ෂණයයි .

2. ශබ්ද තාක්ෂණය

නාම ස්මරණය , මන්ත්‍ර වැනි ශබ්ද තරංග භාවිතයෙන් ගල්වල අණු කම්පනයට ලක්කර ගල් මෘදු කිරීම .

සීගිරියේ සහ රිටිගල වැනි ස්ථානවල ගල් මත ඇති තීව්‍ර රේඛා, නාද හෝ ශබ්ද තරංහ භාවිතයෙන් ඇති කල ඒවායැයි සිතිය හැකිය

3. මනෝ බල තාක්ෂණය

ධ්‍යාන වැඩිම තුලින් ලබාගන්නා මානසික ශක්තිය තුලින් පංච භූත තත්ත්වයන් පාලනය කිරීමේ හැකියාව ඇතිවන බව බුදු දහම තුළත් ධ්‍යානලාභී භික්ෂුන් පිළිබඳ අධ්‍යනය කරන විට පෙනී යන කරුණකි . මානසික ශක්තිය තුළින් ද්‍රව්‍යවල ශක්ති ඛණ්ඩනය කිරීමේ හැකියාව පවතී .

මෙම ක්‍රමවේදය උපයෝගී කර ගනිමින් ශිලාමය නිර්මාණ කළ බවට ඇති හොඳම සාධකය වන්නේ රන්මසු උයනේ ඇති සක්වල චක්‍රයයි . මෙම සක්වල චක්‍රය නිර්මාණය කිරීම මෙන්න ක්‍රියා කිරීමද පවතින්නේ මානසික ශක්තිය මුල් කර ගනිමිනි .

4. සන්ධිස්ථාන සක්‍රියකරණය

රට පුරා සෑම තැනකම පිහිටි කළුගල් මෘදුකිරීමකට ලක් නොකෙරිණි. ගල් මෘදු කිරීම සිදු වුයේ විශේෂිත භූමි ප්‍රදේශවලය මෙවැනි ස්ථාන ප්‍රාණීය ක්ෂේත්‍ර (energy points ) හෝ ලෙස හැඳින්වේ.

මෙම කොටස වෙනම පැහැදිලි කළ යුතු තරම් ගැඹුරු මාතෘකාවකි . කෙසේ වෙතත් මෙය මම සරලව පැහැදිලි කිරීමට උත්සාහ කරන්නම් . පැරණි අර්ථකථනය තුළදී ශක්ති කලාප නැතහොත් ප්‍රාණීය ක්ෂේත්‍රයක් යනුවෙන් අදහස් කරන්නේ අග්නි ශක්තිය බලවත් වූ භූමි ප්‍රදේශයන්ය . මෙහිදී අග්නි ශක්තිය යනුවෙන් අදහස් කරන්නේ කාන්තාර භූමි හෝ සූර්යාලෝකය වැඩි වශයෙන් පතිත වන භූමිය යන අර්ථය නොවේ . ප්‍රබල ප්‍රාණීය ක්ෂේත්‍රයක් “ මහා නෙලුම් මාලිගාවක් ” ලෙස හැඳින්වේ . රිටිගල එවැනි මහා නෙළුම් මාලිගාවකි නැතහොත් ශක්තිමත් භූමි සන්ධිස්ථානයකි (energy portal)

මෙම ප්‍රාණීය ක්ෂේත්‍රයන්වල පවතින බලය මත ශිලාමය ඉදිකිරීම් වර්ග කෙරුණි .

1. නෙලුම් නාභි ශක්ති මාලිගා
යෝගීන්ට සෘෂිවරුන්ට අයත් ශිලාමය ලෙන් සහ ගල් කදු මුල්කරගත් හෙළ පූජනීය ස්ථාන ගොඩනැංවූයේ මෙම කලාප තුළය

2. මහා නෙළුම් මාලිගා ( බලශක්ති සංකීර්ණ)
විශේෂිත ශිලාමය මාලිගා නිර්මාණය වී ඇත්තේ මේ කලාපය වලය .

3. පූජනීය නෙළුම් මණ්ඩල ද්වාරය
මානසික බලයන් සක්‍රිය වූ තරු දොරටු නිර්මාණය වන්නේ මේ කලාප තුළය .

ලංකාවේ පැරණි ශිලා ලිපි කිහිපයකම “ගල් මෘදු කිරීම”, “සන්ධිස්ථාන බලය”, “සංවේදී මන්ත්‍ර” යනාදී සදහන්ව ඇතිබවට මතවාදයන් පවතී . මේවා අතීතයේ පැවතී ශිලා තාක්ෂණය පිළිබඳව ලිඛිත සාධක වශයෙන් සැලකිය හැකි බැවින් මේ පිලිබද නිසි අධ්‍යයනයක් කළ යුතුය .

රිටිගල , සීගිරිය , දඹුල්ල රජමහා විහාරයේ ඇති පොලොන්නරුව ගල්පොත ශිලා මෘදු කිරීමේ තාක්ෂණය අවබෝධ කරගැනීම උදෙසා කදිම ස්ථානයන්ය . එසේම මෙම ස්ථානවල පැරණි ශිලා ලිපිවල, තාක්ෂණික හා ආධ්‍යාත්මික කරුණු පිළිබඳව තොරතුරු අඩංගු බව පුරාවිද්‍යාත්මක පර්යේෂණ වලින් අනාවරණය වී ඇත.

* ගල් මෘදු කිරීම සඳහා භාවිතා කළ ශාක සංයෝගය

පැරණි හෙළයා මානසික ශක්තිය උපයෝගී කරගනිමින් ගල්වල ව්‍යුහය මාරු කිරීමේ හැකියාවක් ලබාගෙන තිබේ. ඔහු භාවිතා කළේ ස්වභාවික ශාක වලින් සාදාගත් සංකීර්ණ සංයෝගයකි. මෙය සරල බෙහෙත් මිශ්‍රණයක් නොවෙයි.

පැරණි හෙළ වෙදකමට අනුව, ශිලා මෘදු කිරීම සඳහා අභිචාර සහ ඖෂධ එකට ගැලපුණු තාක්ෂණයක් භාවිතා විය. පැරණි වෛද්‍ය ග්‍රන්ථ වල ඒ පිළිබඳව සඳහන්ව ඇත්තේ මෙලෙස ය .

” ශිලාම් මෘදුං කුර්යත් ත්‍රිවල්ලීයෝගතඃ
සප්තපර්ණම් කකුඩම් ච නීලෝත්පලස්‍ය සාරකම්
මන්ත්‍රේණ ධාතුසන්ධානේ සමාහිතම් ච චේතසා
තප්තම් වපුඃ ශිලායාඃ ස්‍යාද් රූපමාකාරසන්යුතම් .

ත්‍රිත්ව ශාක සංයෝගයෙන් ගල් මෘදු වේවා:
සප්තපර්ණ , කකුඩ , සහ වල් නෙලුම් සාරය.
මන්ත්‍රය මගින් ධාතු සන්ධානය සිදුවේවා,
සංයමිත චේතනා ශක්තිය මැදින්.
උණු වී ඇති ගල්වල හැඩය
රූපමය හැඩයන් බවට පත් වේවා.

මා අවබෝධ කරගත් පරිදි මෙම ශ්ලෝකය තුල ශිලා මෘදු බවට පත් කරන සංයෝගයක් මෙන්ම ( ශාක සංයෝග සූත්‍රයක් ) , නාදමය ක්‍රමවේදයක පදනමක් ලෙසද භාවිත කළ හැකිය.

සප්තපර්ණ ශාකයේ පත්‍ර හා පැලෑටි වලින් ලබාගන්නා සාරය ශිලා මෘදු කිරීමේ මූලික සංයෝගයක් ලෙස භාවිතා විය.

* පාරම්පරික වට්ටෝරුවක කොටසක් ලිහිල් බසින් පහතින් දැක්වේ .
– සප්තපර්ණ පත්‍ර 100 යි
– වල්කඳු පත්‍ර 30 යි
– බෙලි බොල පිරිස්සී ගත් දිය පත 1 යි
– බඹරැල කුඩු පෑස්සක්
නිවන් ලද තණකොළ මත තැබී,
පෑ 60ක් ගල් මත තැබූ කල්හී ගල්පිට සෙරෙයි ”

හෙළ වෙදකමේ බොහෝ ඖෂධ වට්ටෝරු ගැටපද සහිතව ලියා ඇති බව හෙල වෙදදුරෝ දනිති . මෙයත් ලියා ඇත්තේ ඒ ආකාරයෙන්ම විය යුතුය . එසේම අනිවාර්යෙන්ම මේ තුළ ගුරු මුෂ්ටියක් පැවතිය යුතුය .

මෙම ශ්ලෝකයට අනුව සාදා ගන්නා සංයෝගය පැය 24ක් තණකොළ මත තබා, පසුව ගල් මත ආලේපනය කරනු ලැබීය. මෙයින් ගල් මතුපිට මෘදු වී යම් තරමින් හැඩගැස්විය හැකි තත්වයකට පත්වෙයි .
ගල මඩ කිරීම යනුවෙන් අදහස් වී ඇත්තේ මෙයයි . ඉන්පසුව අවශ්‍ය ආකාරයෙන් ම කැටයම් කිරීමක් කළ හැකි වේ . එය හුදෙක්ම මැටි පිඩකින් නිර්මාණයක් කිරීම හා සමානය.

මෙම ක්‍රියාවලිය හෙළ වෙදකම හෝ ආයුර්වේදීය වෙදකම තුළින් විග්‍රහ කරන්නේ නම් ” ගල් අභ්‍යන්තරයෙහි සජීවක වාතය උණුසුම් සන්ධානයෙන් විකිරණය කිරීමකි ” යැයි සදහන් කල හැකිය .

පැරණි හෙළ ශිලා තාක්ෂණය තුළ “බඹරැල” යනුවෙන් හඳුන්වනු ලබන්නේ විශේෂිත ගස්වලින් ගලන මැලියම් වලටය . ( sticky resin substance ) . එය විශේෂයෙන්ම ගල්වල උණුසුම පවත්වා ගැනීම සහ ශාක සංයෝග වල සක්‍රිය භාවය පවත්වා ගැනීමට භාවිතා විය.

* ශබ්ද තාක්ෂණය හා ස්වර විද්‍යාව

ශබ්දය තුලින් ගල්වල අණු වෙනස් කිරීමකට ලක් කළ හැකි බව පැරැණි හෙළයා දැන සිටියේය.

“නාද” සහ “අනුනාද” භාවිතයෙන් ගල්වල අණු කම්පනයට ලක්කල හැකිය. මෙම ශබ්ද රටා නිර්මාණය වී ඇත්තේ විශේෂ තාල රටා, සහ මංත්‍ර උපයෝගී කරගෙනය .

සීගිරිය , ජේතවනාරාමය හා රිටිගල ඇති ශිලා මත ඇද ඇති කම්පන තරංග රූප සටහන් මේවට හොඳම උදාහරණය .

ශබ්ද රටා තුළින් ද මන්ත්‍ර වලදී මෙන්ම ශිලාවේ අනුව විභේදනය වීමක් සිදුවේ .

Cymatics සහ Sonochemistry වැනි නූතන විද්‍යාත්මක පර්යේෂණවලින් වස්තූන්හි අනු විභේදනය ශබ්ද තරංග හරහා සිදුවන බව තහවුරු වී තිබේ .

* මන්ත්‍ර ශක්තිය සහ පුරාණ ඍෂීවරුන්ගේ භාවිතය

පෙර සඳහන් කළ ඖෂධ සංයෝග වල බලය ඇතිකිරීම නැතහොත් ප්‍රාණය පිහිටවීම උදෙසා මන්ත්‍ර ශක්තිය යොදා ගැණුනි. පුරාණ මහා ඍෂීවරුන් සහ මුනිවරුන් විසින් ශාක සංයෝග සක්‍රිය කිරීමට නිර්මාණය කරන ලද මංත්‍ර පාරම්පරිකව ගලාවිත් ඇත . එසේම පුරාණ හෙළය තුළ භාවනාව නැතහොත් අධිමානසික ශක්තිය තුළින් ඇතිකරන මනෝ කම්පන තරංග හරහාද මෙම ඖෂධ සංයෝග සක්‍රිය කර ඇත . මෙම තාක්ෂණයම මෑත කාලය දක්වාම ඖෂධ බල ගැන්වීම උදෙසා භාවිතා කෙරේ .

ශාක සංයෝග බලගැන්වීම උදෙසා යොදාගනු ලැබූ මන්ත්‍ර අතර බහුල ලෙස භාවිතා වූ මන්ත්‍ර තුනක් දැකගත හැකි වේ. ශිලා කර්මාන්තයට සම්බන්ධ එක් එක් පරම්පරා අනුව ඔහුන් භාවිතා කළ මන්ත්‍ර ශක්තියෙන් ම එකිනෙකට වෙනස්ය .

ශිලාවල ස්වභාවය , ශිලා පිහිටි ස්ථානවල බලය , ඖෂධ යොදන අවස්ථා , ශිලා පදම් වන එක් එක් අවස්ථා අනුව මෙම මන්ත්‍රවලින් සුදුසු මන්ත්‍රය තෝරාගෙන ඇත .

1. සූරිය මන්ත්‍රය

ඕං ධීමාහේ සූරියාය විද්මහේ ඩිවාත්මනේ ධීමහි තන්නෝ ආදිත්‍ය ප්‍රචෝදය

ශිලාවේ අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි කිරීම උදෙසා ඖෂධ සංයෝගය බලගැන්වීම නැතහොත් ප්‍රාණ ගැන්වීම මෙම මන්ත්‍රයේ අරමුණයි.

2. චන්ද්‍ර මන්ත්‍රය

ඕං ක්ෂීරාණ්ණාය විද්මහේ අම්‍රිතාත්මනේ ධීමහි තන්නෝ සෝමෝ ප්‍රචෝදය

මුල් ඖෂධ සංයෝගය තුළින් ඉහල දැමු ශිලාවේ උෂ්ණත්වය ක්‍රමානුකූලව සිසිල් කරණයකට පත් කිරීම උදෙසා ( ශාන්තකරණ ) භාවිතා කළ ඖෂධ බල ගැන්වීම උදෙසා මෙම මන්ත්‍රය යොදාගෙන ඇත .

3. ධාතු සන්ධානය මන්ත්‍රය

ඕං භූර් භුවස් සුවාහෝ, ධාතු : සංධාන කුරුවෙ :

මුල් අවස්ථා දෙක මගින් පදම් කරගත් ශිලාවේ අනුව අතර ඇති සන්ධානය බිඳ දැමීම සිදුවන්නේ මෙම මන්ත්‍ර ශක්තිය හරහාය . පෙර අවස්ථා දෙක හරහා ඖෂධ සංයෝග ශිලාවේ අනු හා බද්ධ වන අතර මෙම අවස්ථාවේදී පොදුවේ අනූ අතර ඇති බැඳීම බිඳවැටී දුරස් භාවයකට පත්වෙයි .

ශිලා මෘදු කිරීමේ ක්‍රියාවලිය නැතහොත් ගල මඩකිරීමේ ක්‍රියාවලිය ඖෂධ බලය සහ මානසික බලය හා මන්ත්‍ර ශක්තිය එක්තැන් වු ක්‍රමවේදයකි . මෙහි එක් කොටසක් උපයෝගී කර ගැනීම තුළින් පමණක් අදාළ කාර්යයේ සාර්ථක වීමක් සිදුවන්නේ නැත . මෙම ක්‍රමවේද බිඳවැටීමට හේතු වූයේද එයයි .

* කෘතිම කඳු නිර්මාණය

ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ තැන්වල ඉදිකර ඇති අද්විතීය ශිලා නිර්මාණයන් එකල පැවති තාක්ෂණය තුළ ඉදිකළේ කෙසේදැයි යන්න තවමත් අභි රහසකි. එහිදී මූලිකම ගැටලුව වන්නේ ටොන් ගණන් විශාල ගල් කුට්ටි එම ස්ථානවලට රැගෙන ආවේ කෙසේද යන ගැටලුවයි . එහෙත් ශිලා මෘදු කිරීමේ තාක්ෂණය උපයෝගී කරගනිමින් එක් තැනක ඇති ශිලාවක් දියරමය තත්ත්වයකට පත් කොට තවත් තැනකට ගෙනගොස් අවශ්‍ය හැඩයෙන් ගණ බවට පත් කිරීමේ හැකියාව පවතී . එවන් තත්ත්වයක් තුළදී අති දැවැන්ත ශිලාමය නිර්මාණ ඉදිකිරීම එතරම්ම ගැටළුවක් නොවෙයි .

වර්තමානයේ කොන්ක්‍රීට් මික්ෂර් ගැන ටිකක් හිතන්න . කර්මාන්ත ශාලාවක් තුළ විවිධ සංයෝගයන් එක් කොට නිර්මාණය කරන දියරමය ගුණයෙන් යුත් කොන්ක්‍රීට් වැඩබිමට ලොරි මගින් ගෙනවිත් අවශ්‍ය හැඩයට යොදා සවිවීමට සැලැස්වීම … මෙම තාක්ෂණයම කළු කල් දිය කිරීම උදෙසා යොදාගෙන අවශ්‍ය තැනට ගෙනැවිත් සවිකිරීමට ආදේශ කර බලන්න

මේ හා සමානවම උස් කඳුමුදුන් වලදී ගල් මෘදු කර, නැවත හැඩ කර, ක්‍රමවත්ව *කෘතිම කඳු* නිර්මාණය විය. ලෝකය පුරා ඉදිකළ ආකාරය සිතා ගත නොහැකිය ශිලා කඳු තුළ ඇති මාලිගා හා උමං පද්ධති නිර්මාණය වූවේද මෙලෙස විය හැකිය .

* නිදන් දොරටු තැනීම සහ ගල් උණු කිරීමේ තාක්ෂණය

අතීත රජ දරුවන් තම වස්තුව නිදන් ලෙස සඟවා තැබූ ස්ථානවල බොහෝ විට ඒ තුළ යමක් සඟවා ඇති බවට හඳුනාගත නොහැකි ලෙස නිධානය තැබීමෙන් පසු සොබාවික පිහිටීමක් ලෙස පෙනෙන ලෙසම එම ස්ථානය නැවත සකස්කර ඇති බව පෙනී යන කරුණකි . ඒ උදෙසා භාවිතා වන්නට ඇත්තේද මෙම තාක්ෂණයයි .

ගල් මෘදු කිරීමේ තාක්ෂණය භාවිතා කරමින් දොරටු සෑදීම තවත් අභිරහස් තාක්ෂණයකි. ශිලා මෘදු කිරීමෙන් උමං මාර්ගවල හා රහස් මාලිගාවලා පිවිසුම් දොරටු ගලේ හැඩයටම වසා දමා ඇති තැන් බොහෝ සෙයින් දැකගත හැකි වේ . විශාල ගල් කුට්ටි අවශ්‍ය හැඩ වලට කැපීම , දොරටු විවර කිරීම සඳහා පවතින ස්ථානයෙන් ඉවත් කිරීම හා නැවත වසා තැබීම මේ තාක්ෂණය හරහා සිදු කෙරිණි.

* නූතන විද්‍යාත්මක සනාථකරණ

නූතන තාක්ෂණය දෙස බලන විට ශිලා කිරීමේ තාක්ෂණය මිථ්‍යාවක් ලෙසින් බැහැර කළ නොහැකිය . එයට කාරණා දෙකක් හේතුවෙයි .

පළමු වැන්න වනුයේ වසර දහස් ගණනකට පෙර පැවැතියායැයි අප සිතන තාක්ෂණය තුළ කර ඇති ශිලාමය නිර්මාණයන් කිසි ලෙසකත් කළ නොහැකි වීමයි . එම නිර්මාණයන්ගෙන් බොහොමයක් වර්තමානයේ පවතින තාක්ෂණය තුළ න් සිදු කිරීමද පහසු කාර්යක් නොවේ . එවන් තත්ත්වයක් තුළදී වඩා පහසුවෙන් ශිලා හැසිරවීමේ ක්‍රමවේදයක් පැවතිය යුතුය .

දෙවැන්න වනුයේ නූතන තාක්ෂණය තුළ
Geopolymer Theory වැනි ක්‍රමවේද තුළින් පුරාණ ගල් ව්‍යුහ නැවත නිපදවීමේ හැකියාව පවතීම තුලින් අතීතයේද අනු භේදනය කිරීමේ හැකියාවක් පැවති බව සිතීමට හැකිවීමයි .

මහාචාර්ය ජේ. ඩේවිඩොවිට්ස් පුමාපුන්කු මෙගලිතික ස්මාරක පිළිබඳ පවත්වන ලද පර්යේෂණයකට අනුව පියවර 4 කින් යුත් ශිලාමය ඉදිකිරීමේ මුදුනේ ඇති කොටස රතු වැලිගල් ස්ලැබ් 4 කින් සමන්විත වන අතර, එවා ටොන් 130 ත් 180 ත් ආදී බරකින් යුක්තවේ. ඔහුගේ අධ්‍යයනයෙන් පෙනී යන්නේ එම ඉදිකිරීම එම ස්ථානයේම වාත්තු කරන ලද වැලිගල් භූ-පොලිමර් කොන්ක්‍රීට් වර්ගයක් බවයි.

ඒ අනුව බලන කල හෙළයාගේ ගල් මඩ කිරීමේ තාක්ෂණය එකල පුරාණ ශිෂ්ටාචාර සියල්ලේම පාහේ ව්‍යාප්තව තිබුණු බව සිතිය හැකිය .

* නූතන විද්‍යාවෙන් සනාථකරන ලද අනෙක් කාරණය වනුයේ නාදය මගින් වස්තු හැඩගැස්වීමේ හැකියාවයි .

Cymatics සයිමැටික්ස් යනු ශබ්දය සහ කම්පනය දෘශ්‍යමාන කිරීම පිළිබඳ අධ්‍යයනයකි . සාමාන්‍යයෙන් වැලි හෝ ජලය වැනි මාධ්‍යයක් භාවිතා කරමින්, කම්පනය වන ශබ්ද තරංග උපයෝගී කොටගෙන එම ද්‍රව්‍යය ජ්‍යාමිතික රටා ලෙස නිර්මාණය කිරීම මෙමගින් සිදුවේ .

ඒ අනුව පුරාතනයේදී මන්ත්‍ර ශක්තිය , ශබ්ද හා නාද ශාස්ත්‍රය උපයෝගී කරගනිමින් ශිලාවල අනුව වෙනස් කිරීම සිදුකළ බවට ඇති සාදක සබ් දෙලෙස පිළිගැනීමට සිදුවේ .

* ශබ්ද තරංග මගින් යම් ව්‍යුහයක විකිරණමය කම්පනයක් ඇති කිරීමේ ක්‍රමවේද වර්තමානය වෙන විට සොයාගෙන ඇත . Resonance Studies යනු එයයි . අනුනාද අධ්‍යයනයන් මගින් පෙනීයන්නේ ස්වාභාවික සංඛ්‍යාතයේදී බාහිර බලයක් ඇතිකල විට වැඩි විස්තාරයකින් කම්පනයක් ඇතිවන බවය .

මේ අනුව තේරුම් ගත හැක්කේ සෑම වස්තුවකටම හෝ පද්ධතියකටම එය වඩාත් පහසුවෙන් කම්පනය වන ස්වාභාවික සංඛ්‍යාතයක් හෝ අනුනාද සංඛ්‍යාතයක් පවතින බවය .

ඖෂධ සංයෝග හා ශිලා අනු වෙන්කිරීමට හා වෙනස් කිරීමට භාවිතා කරන මන්ත්‍ර නිර්මාණය වී ඇත්තේ ශිලා වෙනස් කළ හැකි සංඛ්‍යාත නිසි ලෙස හඳුනා ගැනීම තුළින් විය හැකිය . එම මංත්‍ර නිර්මාණය කළ ඇත්තේ සෘෂි මනසින් වීම තුල එකල පැවති දැණුම් පද්ධති බිහි වූ ආකාරය අවබෝධ කර ගැනීමට හැකිවේ .

අවසාන වශයෙන් අපට තේරුම් ගත හැක්කේ හෙළ ශිලා මෘදු කිරීමේ තාක්ෂණය යනු භාවනාව, මන්ත්‍ර, ශාක සංයෝග සහ විද්‍යාත්මක ආකල්ප එකට බැඳුණු තාක්ෂණික උරුමයකි. එම උරුමය මතින් විකසිත වූ සීගිරිය, රිටිගල, පොලොන්නරුව, සහ අනුරාධපුර වැනි පුරාවිද්‍යාත්මක භූමිවල ශිලා මෘදු කිරීමට අදාල සජීවී සාධක අදටත් බොහෝ දැක ගත හැකිවේ .

හෙලයා සතුව පැවැති මෙම අද්විතීය දැනුම නව විද්‍යාව හා ආධ්‍යාත්මික අවබෝධය සමඟ නැවත මතුකර ගැනීම, හෙළ උරුමය ලෝකයට රැගෙන යෑමේ මාර්ගයකි. මෙම දැනුම නිසැකවම අපට අනාගත තාක්ෂණික හා ආධ්‍යාත්මික යුගයකට දොරටු විවෘත කරදෙයි. මේවා අද පවා විද්‍යාත්මකව විමර්ශනයට ලක්විය යුතු විෂයයන් වේ. මක්නිසාදයත් අතීතයේ භාවිතා කළ මෙවැනි තාක්ෂණික දැනුම, විද්‍යාත්මක හා ආධ්‍යාත්මික සම්මිශ්‍රණයක් වීමයි . එය කිසිම දිනක බටහිරයන්ට අවබෝධ කරගත නොහැකි තාක්ෂණයකි .

( මෙම ලිපියෙහි පූර්ණ කතෘ අයිතිය දීක්ෂා ගුරු කාංචන මනමේන්ද්‍ර සතුය . කතෘ නාමය වෙබ්අඩවිය නොමැතිව උපුටා පළ කිරීම් හෝ කොටස් උපුටා ගැනීම සපුරා තහනම්ය )

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

error: Content is protected !!