හෙළ අවුරුද්දෙන් ගිලිහී ගිය හෙළ චාරිත්‍ර

වර්තමානය වන විට සිංහල අලුත් අවුරුද්ද සම්ප්රදාය , චාරිත්‍ර හා වෙළඳපොළ තරගය අතර දෝලනය වන්නක් බවට පත්ව ඇතැයි කිවහොත් එහි වරදක් නැත . බොහෝ වෙලාවට සිංහල අලුත් අවුරුද්ද යනු සියල්ලෝ එකට එකතු වී කාබී විනෝදය පමණක් ලබන දෙයක් බවට කෙමෙන් පත් වෙමින් පවතී . කෙමෙන් කෙමෙන් සිංහලයා තුළින් චාරිත්‍ර වාරිත්‍ර ගිලිහී යමින් පවතී . එයට බොහෝ සෙයින් හේතු වී ඇත්තේ පවුල කුඩා වෙමින් පැවතීම විය හැකිය . එසේම පසුගිය වසරවල් වලදී අවුරුදු නැකත් සම්බන්ධයෙන් ඇතිවූ යේ මතගැටුම්ද නැකත් චාරිත්‍ර පිළිබඳ ඇති විශ්වාසය බිඳ වැටීමට හේතු විය.
වසර දහස් ගණනකට පෙර පැවති තියෙන සිංහල සුර්ය මංගල්‍යය යනු වසරකට වරක් පැවති උත්සවයක් පමණක් නොවේ. එය භූමියත්, සූර්යයාත්, ජීවයත් අතර ඇති ගැඹුරු බැඳීමක අවස්ථාවකි. නව අවුරුද්දට මුල් වන්නේ අලුත් ආරම්භයක් පමණක්ම නොවේ . මේ තුළ පරණයේ මතක ඉවත් කර දැමීම , කර්ම සන්ධි වෙනස් කර ගැනීම , සොබා දහම් පාලකයන්ගෙන් ආශිර්වාදය ලබා ගැනීම මෙන්ම ජීවිතයට නව ආරම්භයක් ද මේ හරහා ලබා ගත්තේය .
සිංහල අවුරුදු චාරිත්‍ර තුල අද වන විට ඇත්තේ චාරිත්‍ර කිහිපයක් පමණි . කාලයත් සමග වසර දහස් ගණනකට පෙර පැවතී චාරිත්‍ර බොහොමයක් ගිලිහී ගොස් පවතී . ආසන්නම කාලය තුළ අපෙන් ගිලිහී ගිය තවමත් වැඩිහිටියන්ගේ මතකයේ රැඳුනු චාරිත්‍ර දෙකක් තමයි කුණු මුත්තා පිදීම හා ඉෂ්ට දේවතා අනුස්මරණය .
කුණු මුත්තා පිදීම තුල දී සිදු කරනු ලැබුවේ පරණ අවුරුද්දේ අන්තිම දිනයේ ලිපේ අළු කුල්ලකට දමා ඒ මත කෙසෙල් කොළයක් එළා ගෙදර සාදන ලද කැවිලි වලින් කිහිපයක් හා කාසි කිහිපයක් ඒ මත තබා කැවිලි බදින තෙල් වලින් පහනක් දල්වා එය කුල්ල මැදින් තබා තම ඉඩමේ ගහ යටින් මෙම කුල්ල
තැබීමයි.
ඉෂ්ට දේවතා අනුස්මරණය යන චාරිත්‍රයේදී පරණ අවුරුද්දේ අවසන් දින ගොක්කොළවලින් සෑදූ පහන් පැලක් තම භූමියේ ඉදිරිපස ඉදිකොට එහි පහනක් හා හඳුන්කූරු දල්වා තම ඉෂ්ඨ දේවතාවුන් වෙනුවෙන් එම පහන කැපකර ස්තුති පූර්වක වීම සිදු කෙරුණි.
මෙම චාරිත්‍ර දෙක හරහාම සිදු කරනු ලැබුවේ නිවස තුළ ඇති අදෘශ්‍යමාන දෝෂ නිවසින් ඉවත් කිරීමයි. එහෙත් වර්තමානය වන විට මෙම චාරිත්‍ර ඉවත්ව යන්නට හේතුවී ඇත්තේ නාගරිකරණය , දර ලිප් භාවිතයෙන් ඉවත්වීම හා ගොක්කොල සොයා ගත නොහැකි වීම වැනි කරුණු විය හැකිය .
දැනට සිංහල අවුරුදු නැකත් පත්‍රයේ පළමු චාරිත්‍ර දෙක ලෙසින් ඇති නව සඳ බැලීම හා පරණ අවුරුද්දට ස්නානයද ගිලිහී යමින් පවතින චාරිත්‍ර දෙකකි .
පරණ අවුරුද්දට ස්නානය සිදුකරනු ලබන්නේ
අලුත් අවුරුද්ද ආරම්භයට පෙර දිනයේදීය. මෙම චාරිත්‍රය තුළින් සත්‍ය ලෙසම සිදුවූයේ නව අවුරුද්ද පිළිගැනීම උදෙසා නා පිරිසිදු වීම පමණක් නොව මනසිකව සම්පූර්ණ ජීව චක්‍රයම පිරිසිදු කිරීමේ පූජනීය ක්‍රියාවලියකි . හිස තෙල් ගෑමේ චාරිත්‍රයේදී මෙන්ම ඖෂධ හා පංච ධාතු එක් කොට ගනිමින් දිව්‍යමය පූජාවක් ලෙසින් මෙම ස්නානයද සිදුකෙරුණි.
නව සඳ බැලීම යන්න සෑම පැරැණි ශිෂ්ඨාචාරයකම පැවති විශේෂිත චාරිත්රයකි . මෙහිදීම සඳහන් කළ යුතු තවත් කාරණාවක් ඇත . අතීතයේදී පරණ අවුරුද්දට සඳ බැලීම හා ව අවුරුද්දට සඳ වැටීම යනුවෙන් චාරිත්‍ර දෙකක් පැවතුණි . පරණ අවුරුද්දට සඳ බැලීමේ සිට නව අවුරුද්ද උදෙසා සඳ බැලීම අතර දින 28ක පරතරයක් පැවතුණි . මෙය චන්ද්‍ර තිථි සම්බන්ධ කාරණාවකි . පරණ සඳ බැලීමමෙන් පසු නව අවුරුද්ද සඳහා සූදානම් වීම ආරම්භ වුණි. නව සඳ බැලීමෙන් පසු අවුරුදු මාසයේ අවසන් විය .
අතීතයේදී චන්ද්‍රයා මුල් කරගත් නැකත් රටාවක් හා වගා ක්‍රමයක් පවතී හෙළ භූමිය තුළ චන්ද්‍රයාට ලැබුණු තැන ඉතා ත් ප්‍රබල විය . හෙළ සූර්ය මංගල්‍යය සූර්යයා මුල්කොට ගත් දෙයක් වුවත් එය ආරම්භ වූයේ චන්ද්‍රයා මුල් කොට ගනිමිනි . එය මාතෘ මූලික සමාජ පදනමයි . අනෙකුත් කාරණාව චන්ද්‍රයා විසින් ම මනස පාලනය කිරීම තුළ සිතේ පවතින අඳුර ඉවත් කිරීම නව සඳහා පැරණි සඳ බැලීම තුළින් සංකේතවත් කරනු ලබයි .
අප දන්නා ඉතිහාසය තුළ හත ගිලිහී ගිය හා ගිලිහී යමින් පවතින චාරිත්‍ර හතරක් ඉහතින් දැක්වූ අතර ඉදිරියට විග්රහ කිරීමට උත්සහ දරන්නේ වසර දහස් ගණනකට පෙර පොළොවෙන් තුරන් වී ගිය සූර්ය සංක්‍රාන්තියට අදාළ චාරිත්‍ර කිහිපයකි .
නව අවුරුද්ද ආරම්භයේදී ගිරවන්ට ධ්‍යාන , අන්නාසි කොටස්, සහ වියලි කුළු බඩු ආහාරය සදහා ලබාදීම ගිරා පූජාව ලෙස හැදින්විණි . ගිරවාට පූජා තැබීමට හේතුවනුයේ පැරණි ශිෂ්ටාචාර බොහොමයක ගිරවාගේ නාදය සුර්යයාගේ උදාවීම ලොවට කියාපාන නාදය යැයි පිළිගැනීමයි . ගිරවා අන්ධකාරය තුළින්ම කෑ නොගැසෙන්නේ නම් එදිනට හිරු උදා නොවන බව පැරැන්නන්ගේ මතයයි . ගිරවාට ආහාර දීමේ චාරිත්‍රය තලින් සූර්යයාගේ පැමිණීම පිළිගැනීමට සූදානම් වන බව පැරැන්නෝ සොබා දහමට කියාපෑවේ ඒ අයුරිනි .
නව වසර උදා වීමෙන් අනතුරුව පළමු දින උදෑසනම තමන් දිය ගන්නා ගඟ හෝ දොලපහර වෙත ගොස් අඟුරු මල් හා බුලත් කොලයක් ජලයට තමා ජලයට වන්දනා කිරීම නදී පූජා ලෙස හැඳින්වුනි . පසුකාලීන සමාජයන් තුළදී ලිඳ සමග ගනුදෙනු කිරීම ලෙස බිඳී ආවේ මෙම චාරිත්‍රයයි . ලිඳ සමග චාරිත්‍රයක් සිදුවන්නේ මෙලෙසමය . අඟුරු මල් බුලත් සමඟ කාසියක් ළිඳට දමා ළිඳට වන්දනා කර ඉන් පසු නැවුම් වතුර කළයක් නිවසට රැගෙන යෑම පසුකාලීනව සිදුවුණි . මෙහිදී සිදුවන්නේ වසරක් පුරා තමන්ට ජලය ලබා දුන් ළිඳට හෝ ගඟට කෙළෙහි ගුණ දැක්වීමයි .
සපර සන්ධි ශාන්ති චාරිත්‍රය ලෙස හැඳින්වූ ඉතා වැදගත් චාරිත්‍රයක් පැරණි සමාජයේ පැවතුණි . පැරණි සමාජය තුළ පවුල විශාල වූ අතර සෑම පවුලකටම නිල නොවන ප්‍රධානියෙක් විය . බොහෝ විට ඔහු පවුලේ වයස්ගතම පුද්ගලයා හෝ පවුලේ ් ශාස්ත්‍රයක් තුළ ප්‍රවීණයකු විය හැකිය . නව අවුරුද්ද ආරම්භයේදී ඔහු විසින් පවුලේ සියලුම සාමාජිකයන් කැදවා ඔහුන්ව පිළිගනු ලබයි . මෙහිදී එකිනෙකා අතර පවතින මතභේදාත්මක තත්වයන් නිමාවට පත්කරමින් පවුලේ සමගිය ගොඩනැගීම සිදුවේ . වර්තමානයේදී පවුලක් තුළ එකිනෙකා අතර වෙනස්කම් දිගින් දිගට වර්ධනය වීමට හේතු වන්නේ මෙවන් දේ නොමැතිවීමයි .
නව අවුරුද්ද ආරම්භයේදී නැතහොත් අවුරුද්ද උදාවන මොහොතේදී නැගෙනහිර දිශාවට හැරී සූර්යයා දෙස බලා සිටීමෙන් සිටීමෙන්, සූර්යයාගේ ශක්තිය තමා වෙත ලබාගත හැකි බවට පැරැන්නෝ තුළ අදහසක් විය එය දික පාලක අභිචාරය ලෙස හැඳින්වුනි .
මූල වප්පා චාරිත්‍රය බොහෝ මෑතක් වන තුරුම ප්‍රධාන චාරිත්‍ර සමඟ ඉටු වූ අතර වර්තමානය වන විට නාගරික සමාජයෙන් මිදී ගොස් ග්‍රාමය සමාජය තුළ පමණක් දැකගත හැකි චාරිත්රයකි . සරලව පවසන්නේ නම් අවුරුදු ආරම්භයේදී ගසක් රෝපණය කිරීම මෙහි අදහසයි . පැරණි සමාජයේ දී අවුරුදු ආරම්භයේදී, සිය නිවෙස අසළ අඹ, නාරන්, බෙලි වැනි ශාක වවීමෙන් භූමිය සාරවත් කිරීමත් අනාගත පරපුර පෝෂණය කිරීමේ පරමාර්ථයත් සාක්ෂාත් කරගනු ලබයි .
නව අවුරුදු උදා වීමෙන් පසු එළඹෙන පළමු රාත්රියේදී පවුලේ ප්‍රධානියා නිවසේ ප්‍රධාන දොරටුව අසල සිට දල්වනු ලබන පහනක් ක්‍රමානුකූලව වයස් සීමාව අනුව එකිනෙකාගේ අතින් අතට මාරුකොට අවසානයේ එය බුදුන්ට හෝ දෙවියන්ට පූජා කිරීම දිව්‍ය කුටීර දීපාදානය ලෙස හැඳින්වෙන චාරිත්රයකි .
මෙය අනෙකාට ආලෝකය ලබාදීමෙන් තමාටත් දීප්තිය ලැබේ යන සිතුවිල්ල නිර්මාණය කිරීම උදෙසා මෙම චාරිත්‍රය සිදු කෙරුණි .
රබන් ගැසීම හා රබන් පද කීම වර්තමානයට එන විට ආශ්වාදජනක දෙයක් වුවත් අතීතයේදී රබන් පද හරහා කියන්නට උත්සාහ කරනු ලැබුවේ, සොබා දහමට කරනු ලබන ස්තූතියි කිරීමකි . එසේම සූර්යාගේ පැමිණීම සිදුකරන ස්තුති ගැයීමකි. පැරුන්නෝ නිර්මාණය කරන ලද සියලුම රබන් පද සොභාදහම හා බැඳී පැවතුණි .
පැරණි සමාජය තුළදී නව වසර උදාවීමත් සමඟම ගැබ්ගත් මව්වරුන්ට, විශේෂ ආහාර වර්ග ලබාදීම හරහා ආශිර්වාද ලබා ගැනීම සිදුකෙරිණි . ගර්භනී මවක් තුළින් සශ්‍රීකත්වය නියෝජනය කෙරුණු අතර ඇය පෝෂණය කිරීම තුළින් තම පරම්පරාව ශක්තිමත් වන බව කරන්නෝ දැන සිටියහ . එබැවින් ඇයට ආරක්ෂාවක් ලබා දිම අවර්ණ බීජ සම්ප්රදානය චාරිත්‍රය නම් විය .
නව වසර උදා වීමෙන් පසු තම ගෘහ භූමියේ හෝ වගා භූමියේ මැද අඳින ලද සටහනක් තුළ දශ දිශාවට අදාලව පහන් දල්වීම දශ දිශා විලාශ අභිචාරය ලෙස හැඳින්වුනි . මෙමගින් නව වසර උදෙසා දිශා පාලක දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබෙන බව පැරණන්ගේ අදහස විය . වර්තමානයේ දී ද යම් ගොවිතැන් කටයුතු ආරම්භ කිරීමේදී මෙම චාරිත්‍රය සිදු කරනු ලබයි
හෙළ සූර්ය මංගල්‍යය හා බැඳුණු දැනට ඉතිරිව ඇති හා අතීතයේ පැවතී අපෙන් ගිලිහී ගිය සෑම චාරිත්‍රයක් තුළම ඉතා ගැඹුරු අර්ථයක් පවතින බව පෙනී යයි . ඒ සියල්ල තුළම ඇත්තේ සොබා දහම හා බැඳුණු සවිමත් මිනිස් පරපුරක අන්‍යෝන්‍ය සහජීවනයයි . එකිනෙකා ගරු කිරීම රැක ගැනීම පවත්වා ගැනීම ඒ තුළ විය . අලුතෙන් පරපුරට එකතුවන දරුවන් හට මෙම ගලායාමේ වැදගත්කම කියාදිය යුතු හෙයින් එවා චාරිත්‍ර ලෙස සකස් කොට සක් වසරකට වරක් සූර්ය මංගල්‍යය සමඟ ඉටුකළ බව පෙනී යයි .
ඒ වූ කලී හෙළයා සූර්යයා සමග අන්තර්ගතව ජීවිතය හැඩගස්වූ ආකාරයයි.
හෙල සූර්ය මංගල්‍යය යනු උත්සවයක් ලෙස නොසිතා ගැඹුරු මනසින් බැලිය යුතු තම පරපුරේ පැවැත්ම අලුත් කරන ජීවිතයට ජවයක් රැගෙන එන අභිමානවත් උත්සවයකි.
( මෙම ලිපියෙහි පූර්ණ කතෘ අයිතිය දීක්ෂා ගුරු කාංචන මනමේන්ද්‍ර සතුය . කතෘ නාමය වෙබ් අඩවිය නොමැතිව උපුටා පළ කිරීම් හෝ කොටස් උපුටා ගැනීම සපුරා තහනම්ය )
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

