Dewayani

විශ්ව පාලනයට ගෙනා බලි යාගය `` දේවයාණි 4 ``

හිරණ්‍ය කාෂ්‍යප යුගයේදී උත්තරධ‍්‍රැවයේ සිදුවූ මහා අයිස් කඳු දියවී යෑම හින්දුන් ඔවුන්ගේ ග‍්‍රන්ථයන් තුළ සටහන් කළේ හිරණ්‍ය කාෂ්‍යපගේ ඇස්වලින් පිටවූ මහා ගිනි ජාලාවලින් සිදුවූවක් ලෙසය.

එයින් අපට අවබෝධ කරගත හැකිවනුයේ හෙළ අසුර පාලකයන් පිළිබඳ ඔවුන් තුළවූ අසීමිත බියය.

කෙසේ වෙතත් හිරණ්‍ය කාෂ්‍යප යුගයේ සිදුවූ මහා අයිස් කඳු දියවී යෑමටද හේතුවනුයේ වසර දෙදහස් පන්සියයකට වරක් සිදුවන මහා පරිවර්තනයේ එක් සිදුවීමකි.

එනම් සෑම වසර දෙදහස් පන්සියයක් තුළම අපේ පෘථිවියේ ඇලය අංශක 1කින් වෙනස්වීමකට ලක්වෙයි. එවිට සිදුවනුයේ උත්තරධ‍්‍රැවය හා දක්ෂිණධ‍්‍රැවය අංශකයකින් වෙනස්වීමය.

එතෙක් පැවති උත්තරධ‍්‍රැවය වෙනුවට නව උත්තරධ‍්‍රැවයක් නිර්මාණය වීම සිදුවෙයි. මෙය සරලව ගතහොත් පෘථිවි චුම්භක ක්ෂේත‍්‍රයේ සිදුවන වෙනසකි. මෙම වෙනස්වීම හරහා නව ගොඩබිම් නිර්මාණය වීමත්, එතෙක් පැවති සමහර ගොඩබිම් මුහුදෙන් යටවී යෑමත් සිදුවෙයි. මෙය ලෝක ඉතිහාසයේ සෑම වසර 2500කට ආසන්න කාලයක් තුළ ක‍්‍රියාත්මක වූ බව පෙනීයයි. එතෙක් පැවති දියුණු ලෝක ශිෂ්ටාචාරයන් සියල්ලම මුහුදුබත් වීමට ප‍්‍රධාන වශයෙන් බලපෑවේ මෙයයි.

හෙළ අසුර රාජ්‍යයේ විශේෂත්වය වූයේ සෑම විනාශ වීමකින්ම පසුව කාලයත් සමග යළි නැගී සිටීමයි. එය ඉතිහාසයේ සිට අද දක්වාම එක ලෙස ක‍්‍රියාත්මක වීම සිදු වෙයි. බලි රජු කුමන්ත‍්‍රණයකට හසුවීමත් සමග හෙළයේ පාලනය භාරගන්නා දේවයාණිි කුමරිය ක‍්‍රමවත් වැඩපිළිවෙළක් ඔස්සේ හෙළය ශක්තිමත් කරනු ලබයි.

එහි පළමු පියවර වූයේ බත බුලතින් රට ස්වයංපෝෂිත කිරීමයි. එහිදී ස්වභාවධර්මය ගොවිතැනට අවශ්‍ය ලෙස පාලනය කරගැනීම උදෙසා බලි රජු විසින් සොයාගන්නා ලද බලි ශාන්තිකර්මයන්ම යොදාගත හැකි බව ඇය තීරණය කළාය.

බලි රජු විසින් තම ආධ්‍යාත්මික ශක්තිය මතින් සිදුකළ පූජාව බලි පූජාව ලෙස හැඳින්වෙයි.

කෙසේ වෙතත් උපනිෂද් ග‍්‍රන්ථවල පෙන්වාදෙන ආකාරයට ‘බලිය’ යනු ‘පූජාව’ යන අර්ථමය.

එයට අනුව බලියක් රජුන්ට, දෙවියන්ට හෝ අමනුෂ්‍යයන් උදෙසා දිය හැකිය. කෙසේ වෙතත් හෙළ පොළොවේ අද දක්වා ව්‍යාප්ත වෙමින් පවත්නා බලි ශාන්තිකර්ම ආරම්භයේදී සිදුවූයේ එය නොවේ. කුඹුරක් නිර්මාණය කිරීම යනු පරිසර පද්ධතියක් හා විශ්වීය රටාවක් පුද්ගල අවශ්‍යතා මත වෙනස් කිරීමකි. ඒ සඳහා වර්තමානයේදී මෙන් හිතුමතේ ක‍්‍රියාකිරීමක් සිදුනොවුණි.

එහිදී අප අද පංච භූත තත්ත්වය වූ ආපෝ, තේජෝ, වායෝ, පඨවි හා ආකාශ තත්ත්වයන් තුළ කටයුතු කළද එකල මූලික වූයේ ත‍්‍රී ගුණයයි. එනම් රජස්, තමස් හා සාත්වික් යන්නයි. බලි යාගය හරහා සිදුවූයේ පොළොව, පරිසරය, විශ්ව ශක්තීන් හා ග‍්‍රහයන් අතර ක‍්‍රියාත්මක වන රජස්, තමස් හා සාත්වික්් ගුණයන් පාලනය කිරීමයි. වර්තමානයේදී බලි යාගය ලෙස හැඳින්වුවද ‘බලි සහල් යාගය’ ලෙස මෙය හැඳින්වුණි. එයට හේතුවූයේ යහපත් සහල් ලබාගැනීමේ පූජාව යන අර්ථයෙන් මෙය හැඳින්වීමයි.

එකල්හි තෝරාගත් භූමි මධ්‍යයේ හිරු නිර්මාණය කර ඒ වටා ග‍්‍රහ මණ්ඩලයත්, රාශි මණ්ඩලය හා නක්ෂත‍්‍ර මණ්ඩලය නිර්මාණය කොට පැවැත්වූ විශේෂිත පූජාවක් හරහා විශේෂිත විශ්ව ශක්ති කලාපයක් තුළ වී වගාකළහ.

හෙළ ඍෂිවරු නිර්මාණය කරන ලද හෙළ වී නිරෝගී මෙන්ම බුද්ධිමත් රණකාමී ජාතියකට පදනම දැමුවේය. එදා ඒ බලි පූජාවන් තුළ පරිසර පද්ධතිය තුළ වූ සෑම අංගයකටම පූජා දීම සිදුකෙරුණි. බලි වර්ග තිස් පහක් පමණ පැවතියේය. එහෙත් අද ඉතිරිව ඇත්තේ ඉතා සීමිත ප‍්‍රමාණයකි. වැලි බලි, මත්ස්‍ය බලි, ගඟ බලි, මල් බලි, අහස් බලි, දේව බලි, සුර බලි ආදී ලෙසින් ඒවා පැවතියේය. මේ සියල්ල හරහා අපට තේරුම්ගත හැකිවන්නේ ඉතා සියුම් සැලසුම් හා විධිමත් ක‍්‍රමවේදයක් තුළ දේවයාණි කුමරිය හෙළ පාලනය ක‍්‍රියාත්මක කළ බවය.

දේවයාණි කුමරියගේ සැලසුම කෙටිකාලීන සැලසුමක් නොවන බවට තේරුම් ගැනීමට ඇති හොඳම සාධකය වනුයේ දේව අධ්‍යාපන ක‍්‍රමවේදයේ දෙවැනි තැන ඉසිලූ කාෂ්‍යප මුණිවරයාගේ ශක්තිය උපයෝගී කරගනිමින් දරුවන් තිදෙනෙකු උපද්දවා ගැනීමයි. කාෂ්‍යප මුණිවරයා හරහා දරුවන් තනාගැනීම සිදුවනුයේ හෙළ රාජ්‍යය ශක්තිමත් කිරීමට ශක්තිමත් දරුවන් නිර්මාණය කරගැනීමේ ක‍්‍රමවේදය උදෙසාය.

දේවයාණි කුමරියගේ සැමියා ලෙස සැලකෙන්නේ පියුම් නම් රජුයි.

දේවයාණි කුමරියගෙන් ව්‍යාප්තවූ පරපුර ‘තරු පරපුර’ ලෙස හැඳින්වෙයි. තාරක, සූරපද්ම, සිංහමුඛ යනුවෙන් පිරිමි දරුවන් තිදෙනාට අමතරව අජමුඛී නමින් දියණියක් හා නල පියුම් නම් පිරිමි දරුවකු ද විය.. දියණිය හා නල පියුම් පියුම් රජුගෙන් උපන් දරුවන්ය. පියාවූ පියුම් රජුගේ නාමය සහිතව විරු පියුම්, තරු පියුම්, සුරු පියුම්, නල පියුම් හා සරසවි පියුම් ලෙසද මෙම දරුවන් හැඳින්වුණි.

දේවයාණි කුමරියගේ යුගය තුළ හෙළයේ පැවතියේ මාතෘ මූලික සමාජයක් බව පෙනීයයි. පියුම් රජුට වඩා දේවයාණි කුමරිය හෙළ වීරවරියක් ලෙස සමාජගත වීමට හේතු කාරණා වනුයේද එයමය. දේව අධ්‍යාපන ක‍්‍රමවේදය තුළදී දස විද්‍යා හැදෑරීම්වලදී කිසිදු ක්ෂේත‍්‍රයක් විශේෂිත කර ඉගැන්වීමක් සිදුනොවුණු අතර සියලූම විෂයයන් එක හා සමානව ප‍්‍රගුණකරවීම ඒ හරහා සිදු කෙරුණි.
නමුත් දේවයාණි තම දරුවන්ට දේව අධ්‍යාපන ක‍්‍රමවේදයට අමතරව යුද ඥානය පිළිබඳ විශේෂ පුහුණුවක් කුඩා කල සිටම ලබාදෙන්නට විය. කිකිළි මවක් තම පැටවුන්ට ඇහිඳ කෑමට කියාදෙන ආකාරයට දරුවන්ගේ පසුපසම සිටිමින් ඇය දරුවන්ට යුද තාක්ෂණය ලබාදෙන්නට විය.

කාෂ්‍යප මුණිගෙන් ජාතක වූ තාරක, සූරපද්ම හා සිංහමුඛ යන කුමාරවරු තිදෙනා අතිදක්ෂ රණකාමීන් බවට පත්වන්නට වැඩි කාලයක් නොගියහ. සුර අසුර යුද්ධයට පදනම වැටෙනුයේද මොවුන්ගේ රණකාමීත්වය හරහාය. දේවයාණි කුමරියගේ දියණිය වූ අජමුඛි දියණිය සරසවි පියුම් ලෙසද හැඳින්වුණි. සරසවි පියුම් යනු සරස්වතියයි.

අප දන්නා සරස්වතී දේවිය ලෙස පසුකාලීනව වන්දනාවට පාත‍්‍රවන්නේ ඇයයි. ක‍්‍රමවත් ලිඛිත භාෂාවක් හෙළයට උරුමකරනු ලබන්නේ දේවයාණිගේ අජමුඛි දියණිය විසිනි.

ඇයගේ සැමියා වූ ගංගාමුණි සමග එක්වී ක‍්‍රමවත් අක්ෂර හෝඩියක් හෙළයට දායාද කිරීමට ඇයට හැකියාව ලැබුණි. එපමණක්ද නොව ඇය තම දේව අධ්‍යාපනය ක‍්‍රමවේදය නිමවීමෙන් පසු ප‍්‍රධාන ශාස්ත‍්‍රයන් හතරක් තුළ තම මනස දියුණු කිරීම සිදු කරනු ලබයි. තාරක, සූරපද්ම හා සිංහමුඛ යුද විශේෂඥයන් බවට පත්වෙද්දී ඇය භාෂාව, බුද්ධිය, කලා මනස පිළිබඳ විශේෂඥවරියක් බවට පත්විය.

සරස්වතී දේවියගේ අත් සතරින් සංකේතවත් වනුයේ මෙම විෂයයන් හතරයි. හෙළයාට දැනුම ලබාදුන් ඇය දේවත්වයෙන් පුදදීම සිදුවනුයේ ඇයට ගරුකිරීම උදෙසාය.

දේවයාණිගේ පාලන කාලය තුළ පවතින විශේෂත්වය වූයේ දේව අධ්‍යාපන ක‍්‍රමවේදය නිසි ලෙස අවසන් කළ හෙළයන්ව දස මහා විද්‍යාවේ එක් එක් තෝරාගනු ලබන අංශ ඔස්සේම ප‍්‍රවීණයන් බවට පත්කරලීමයි. ඍෂිවරුන් ගෙන්, මුණිවරුන්ගෙන් පසු දෙවැනි පෙළක් ලෙස ගොවිතැන, වෙදකම, අවි ආයුධ නිෂ්පාදනය, තාක්ෂණ ක‍්‍රමවේදයන් තුළ ප‍්‍රවීණයන් බිහිවීමට එය හේතුවක් විය.
ලෝක ශිෂ්ටාචාරයන් දෙස බලන විට හෙළයාට බුද්ධිමත් ජාතියක් ලෙස නැගීසිටීමට හැකිවන්නේ එබැවිනි.

දීක්ෂා ගුරු
කාංචන ගීත මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close