සායි සත් චරිතය

ශ‍්‍රී සත්‍ය සායි බාබාගේ ජන්ම පුරාණය

‘‘දෙවියන් තේරුම් ගත හැක්කේ බැතිමතාට පමණි. දෙවියන් හඳුනන්නේ බැතිමතා පමණි. අන්‍යයන්ට බැතිමතා හඳුනාගත නොහැකි ය. භක්තිය නැති අය සමඟ දෙවියන් පිළිබඳ කතා නොකරන්න. එසේ කතා කළහොත් ඔබගේ භක්තිය හීන වී යයි.’’
– සායි බාබා –

අදින් වසර දහස් ගණනකට පෙර ත්‍රෙත නම් යුගයේ දී මහා ඍෂි භරද්වාජ් නම් ඍෂිවරයාට සකල වේදයන් හි සම්පූර්ණ අවබෝධයක් ලබා ගත යුතු විය.

ඒ සඳහා ඉන්ද්‍ර නම් දෙවියන් විසින් සියලූ දෙවියන් කැඳවා යාගයක් පවත්වන්න යැයි ඍසිවරයාට උපදෙස් ලබා දුන්නේ ය.

මෙම යාගයට ආරාධනය කිරීම සඳහා ශිව පාර්වතී ගේ වාසභවන වූ කෛලාශ කූඨය වෙත භරද්වාජ් ඍෂි පැමිණෙයි.

ඒ අවස්ථාවේ ශිව හා පාර්වතිය විශ්ව නර්තනයේ යෙදී සිටිති. ශක්ති නැතහොත් පාර්වතිය එම ඇරැයුම් පිළිගත් බව අඟවමින් නර්තනය අතරතුර ම සිනාවකින් ඉඟි කළ ද එය තේරුම් නොගන්නා ඍෂි කනගාටුවට පත්ව දින 8ක් බලා සිට නැවැත පැමිණෙයි.

වෙහෙස හේතුවෙන් අතරමඟ දී ඔහුට පක්ෂාගාත රෝගය වැළඳෙයි.

මේ අවස්ථාවේ ශිව හා පාර්වතී දේවිය භරද්වාජ් ඍෂි වෙත පැමිණ, ශිව දෙවිඳු අත ඇති කමන්ඩුල නම් පැන් කෙණ්ඩියෙන් පැන් ඉස සුවපත් කරනු ලබයි.

එසේ සුවපත් වූ ඍෂිිවරයාට තමන් අතින් සිදු වූ වරදට කෙළෙහි ගුණ සලකනු වස් භරද්වාජ් ගෝත‍්‍රය තුළ තුන් වතාවක් ශිව, පාර්වතී හා එම දෙදෙනාගේ එකතුවක් ලෙස උපත ලබන බවට පොරොන්දුවක් ලබා දුන්නේ ය.

එසේ ම ශිව හා පාර්වතී දෙදෙනාගේ එකතුවක් ලෙස උපත ලබන ආත්මයේ දී දින අටක් අංශ භාග තත්ත්වයකින් පාර්වතී ගේ අර්ධය පීඩා විඳිය යුතු බවටත් පොරොන්දුවක් ලබා දුන්නේ ය.

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප‍්‍රාන්තයේ පත්රි නම් ග‍්‍රාමයේ ජීවත් වූ දැඩි ශිව භක්තික යුවළක් වූ ගංගාභව හා දේවගිරි අම්මා නම් යුවළට දරුවන් නොවී ය.

ශිව දෙවියන් හා පාර්වතිය දේවගිරි අම්මා ඉදිරියේ පෙනී සිට ඇයට පිරිමි දරුවන් දෙදෙනකු හා දියණියක ලබා දෙන බවට පොරොන්දු විය.

ඉන් අවසන් පිරිමි දරුවා ලෙස ශිව දෙවිඳු ම උපත ලබන බව ද පොරොන්දු විය.

ඒ අනුව 1838 සැප්තැම්බර් මස 28 වැනිදා එම යුවළගේ තෙවන දරුවා ලෙස පිරිමි දරුවකු බිහි විය. එදින ම එම දරුවාව සුරක්ෂිත ලෙස රෙදි කඩක ඔතා, බෝ ගසක් මුල තබා තපස් රැකීමට වන ගත විය.

එදින ම දරුවන් නැති සුෆි නම් මුස්ලිම් අයකුට දරුවා ලැබුණ අතර ඔහු ළඟ හැදී වැඩුණි.

ශිර්දි සායිගේ උපත පිළිබඳ තොරතුරු 1990 සැප්තැම්බර් මස 28 වැනිදා සත්‍ය සායිතුමා විසින් ප‍්‍රකාශ කරන තුරුම එය පිළිබඳ ව කිසිවකු නොදැන සිටියේ ය.

කුඩා කල සිට ම විශේෂ ගති ප‍්‍රදර්ශනය කළ මෙම දරුවා 1857 වන විට ස්ථිර ලෙසම ශිර්දියේ වාසය කිරීම ඇරැුඹී ය.

ටික දිනකින් ම එම තරුණයාගේ විවිධ ශක්තීන් පිළිබඳ ව පැතිර ගිය අතර ‘‘ශිර්දි සායි’’ ලෙස ප‍්‍රසිද්ධ වන්නට විය.

විශේෂයෙන් ම නිරන්තර ව දැල්වෙන සඳුන් දර දැමූ ගිනි මැලයකින් ලබා දෙන අළු (විභූති* මගින් සියලූ රෝග සුව කිරීමේ හැකියාව ශිර්දි සායි සතු විය. සත්‍ය සායිගෙන් පිහිට ලද්දෝ සේම එකල ශිර්දි සායි තුමාගෙන් පිහිට ලැබූ බැතිමතුන් දහස් ගණනින් එතුමන් වටා පිරී පැවැතුණි.

1918 ඔක්තෝම්බර් මස 15 වැනිදා ශිර්දි සායි තම ආත්මයෙන් නිදහස් විය.

එයට පෙර අපූර්ව කතාවක් කියා සිටියේ ය.

‘‘මාගේ මරණයෙන් වසර අටකට පසු මම නැවැත අන්ද්‍රා ප‍්‍රදේශයේ සායි බාබා නමින් උපත ලබන්නේ ය. මාගේ සමීප බව හා ආනන්දය යළිඳු අත් විඳින්නේ ය.’’

ශිර්දි සායිගේ මරණයෙන් වසර අටකට පසු 1926 නොවැම්බර් 23 වැනිදා අන්ද්‍රා ප‍්‍රාන්තයේ ප‍්‍රථමපාර්ති හි දී සත්‍ය නාරායන රාජු නමින් දරුවකු උපත ලැබුවේ ය.

එම උත්පත්තිය සිදුවන අවස්ථාවේ නිවසේ වාද්‍ය භාණ්ඩ ඉබේ වාදනය වූ අතර ළදරුවා ළඟ විශාල නාගයකු විය. නයා යනු ශිව දෙවියන්ගේ සංකේතයයි.

කුඩා කල සිට ම විවිධ දේ මැවීමේ හැකියාව රාජු හට විය. හිස් මල්ලකින් යහළුවන්ට සීනිබෝල රැගෙන දීම, වයස අවුරුදු 13 දී නාගයකුගේ දෂ්ට කිරීමක් හේතුවෙන් පැය 24ක් සිහිසුන් ව සිටියේ ය.

එම සිදුවීමෙන් පසු සත්‍ය නාරායන ‘‘මම සත්‍ය සායි වෙමි. ශිර්දි හි වාසය කළ ශිර්දි සායි ගේ පුනරුත්පත්තියයි.’’ යනුවෙන් පවසන්නට විය.

එතැන් පටන් රාජු සත්‍ය සායි බාබා ලෙස ප‍්‍රසිද්ධ වන්නට විය.

මිනිසුන්ගේ සිත් කියැවීම, අතීතය, අනාගතය දැකීම, ලෝකයේ ඕනෑම රටක එකම අවස්ථාවේ ස්ථාන කිහිපයක පෙනී සිටීම, රෝග සුව කිරීම, මරණයෙන් මිනිසුන් ගැලවීම, විවිධ දේ මැවීම සේ ම විවිධාකාරයේ ප‍්‍රාතිභාර්යයන් කිරීමේ හැකියාවක් සත්‍ය සායි බාබාතුමා සතු විය.

එදා ශිර්දි සායි විසින් දැල් වූ හෝම ගින්න වෙනත් ලොවක අදටත් දැල්වෙන බවත්, ඉන් තමාට විභූති ලැබෙන බවත් පවසන සත්‍ය සායි බාබා රෝග සුව කිරීමේ ශක්තිය ඇති අළු (විභූති* මවා තම බැතිමතුන්ට ලබා දෙයි. එම අළු ලැබෙන්නේ එම ගින්නෙන් බව එතුමා පවසයි.

ලොවපුරා රටවල් 114ක සායි මධ්‍යස්ථාන 1500කට අධික ප‍්‍රමාණයක් දැනට පිහිටුවා ඇති අතර, ඒ හරහා ජනතාවගේ ජීවන මට්ටම නගා සිටුවීම උදෙසා විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කරයි.

තමන් අදහන කුමන හෝ ආගමක් ඉතා හොඳින් අදහන්න. ඒ හරහා දෙවියන් වෙත ගමන් කළ හැකි වෙයි, යනු එතුමාගේ දර්ශනයයි.

භගවාන් ශ‍්‍රී සත්‍ය සායි බාබාතුමාගේ අභාවයෙන්  පසු  යළිත් පේ‍්‍රම සායි යනුවෙන් උපත ලබන බව එතුමා විසින් ප‍්‍රකාශ කර ඇත. ඒ ශිව සහ පාර්වතිය විසින් දුන් පොරොන්දුවේ අවසන් ආත්මයයි. පේ‍්‍රම සායි ලෙස ඉපදෙන්නේ පාර්වතිය නැතහොත් ශක්ති දේවියගේ ආත්මයයි.

සත්‍ය සායිතුමා පවසන පරිදි පේ‍්‍රම සායිතුමාගේ උපතින් පසු ලෝකයේ යුද ගිනි නිවී යනු ඇත. කුරිරුකම් දුරු වනු ඇත. පේ‍්‍රම සායි වටා ලෝකයේ බහුතර ජනතාව එක් රොක් වනු ඇත. පේ‍්‍රමයේ ප‍්‍රතිමූර්තිය වූ සත්‍ය සායි බාබාතුමන්ගේ ශරීරය මිය ගිය ද එතුමාගේ ආත්මය කිසිලෙසකත් මිය නොයයි. පේ‍්‍රම සායිගේ උත්පත්තිය තෙක් බැතිමත්හු බලා සිටිති.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close