සංචාරය

සමනල අඩවියේ තනිවු කැලෑ ජෝන්

මෙම ලිපිය 2000 ජනවාරි 07 වන සිකුරාදා ලේක්හවුස් ආයතනයේ ජනතා පුවත්පතට මවිසින් ලියනලද ලිපියකි.

 

මහා වනයක් තුල ඔබ හුදකලා වුනොත් කුමන හැඟීමක් ඔබ තුළ ඇති වේවිද?

නියත වශයෙන්ම කියා නිම කළ නොහැකි බියකින් හා තැති ගැන්වීමකි ඔබව වෙලි යනු ඇත. එසේ වුවත් වසර පනහකටත් අධික කාලයක් තිස්සේ මහා වනයක් මැද හුදකලාවි සිටින පුද්ගලයෙකු පසුගියදා අපට හමුවිය.

හරිත කැලෑ වනජීවි සංගමයේ සාමාජිකයන් සමග කුණුදිය පර්වතය සොයා යෑම සඳහා එරත්නට පැමිණි අපට ඒ පිළිබඳ විස්තර දැනගැනීමට කිසිවකු හෝ හමු නොවීය.

එහිදී බොහෝ දෙනා පැවසුවේ කැලෑ ජෝන්ගෙන් මේ පිළිබඳව විමසා බලන ලෙසයි. අපි එරත්න ශ්‍රී පාද මාර්ගය දිගේ ජෝන් සොයා ඉදිරියට ගියෙමු.

ශ්‍රී පාද අවාර සමයේ වූ බැවින් පාළුවට ගිය අඩි පාරෙන් නොකඩවා ඇද හැලෙන වර්ෂාව නිසා අඩිපාර දිගේ බැස ගිය දිය පාර නිසාත් ගමන බොහෝ සේ දුෂ්කර විය. සියලු දෙයටම වඩා විශාල ම බාධකය වූයේ අඩියක් තබා අඩියක් ඔසවන විට පාදයේ එල්ලෙන කුඩැල්ලන්ය.

කැලෑ ජොන් යන නම සැණින් අපේ සිත තුළ මැවි මැවී පෙනුණේ තුවක්කුවක් අතින් ගත් රැවුල වැඩුණු හැඩි ඳැඩි පුද්ගලයකු ගේ සේයාවකි . එරත්නෙදි හමුවු ගමේ පුද්ගලයින් පැවසු පරිදි කිහිප පොළකදී ම හූ තබමින් ජෝන්ට සංඥා කළේ අප ඔහු හමුවීමට එන බව හඟවනු උදෙසාය .

අවසානයේ වර්ණගල අම්බලම අසලට පැමිණෙන වයස 60 – 65 පමණ යැයි සිතිය හැකි පුද්ගලයෙකු අප වෙත පැමිණියේය”මම කැලෑ ජෝන් මහත්තයලා ශ්‍රීපාද යනවද” යනුවෙන් කේරල ප්‍රශ්න කරමිණි.

“නැහැ අපි ජෝන් අයියව හොයාගෙන ආවෙ. අපි කුණුදිය පර්වතය ට යනවා. ජොන් අයියගෙන් පාර දැනගන්ඩයි ඕනෑ.”

අපේ සිතේ මැරුණු රූපයට වඩා හාත්පසින්ම වෙනස් අහිංසක තරමක් වයස පැහැපත් පෙනුමකින් යුතු පුද්ගලයකු වූ ජෝන් අයියා සමග අප කතාබහට වැටුණෙමු.

ජෝන් අයියගේ සම්පූර්ණ නම දැනගන්න අප කැමති යැයි පැවසූ සැනින් ඔහු තමාගේ නම හඳුන්වා දුන්නේ මෙලෙසයි. කඹුරුගලගෙ ජෝන්… වැඩියි හරියක් දන්නෙ කැලෑ ජෝන් කිවිවම… ඒ නම වැටුණේ අසූ ගණන් වල පත්තරයක පළ වී තිබූ ලිපියකින්.

ජොන් අයියා ශ්‍රීපාද අඩවියට ඇවිත් කොච්චර කාලයක් වෙනවාද යන්න අපේ ඊළඟ ප්‍රශ්නය විය. අවුරුදු 50 ක් පමණ වෙනවා. ඒ කියන්නේ 1929 දී විතර මම වර්ණගල තේ වත්තේ වැඩට ආවා. අද මේ වර්ණගල අම්බලම තියෙන මේ හරිය අයිති වර්ණගල වත්තට ඒක ආණ්ඩුවට පවරා ගත්තා.

ජෝන් අයියා නතර වෙලා ඉන්නෙ කොහෙද? අපේ ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූයේ ඔය දියඇල්ලට එහා පැත්තෙ තයෙන පැදුරුතලාගල කන්දේ ගල් ගුහාවේයි .. වර්ණගල වතුයාය රජයට ගත්තට පස්සේ එක්දාස් නවසිය පනහ දි විතර මම ගල් ගුහාවේ පදිංචියට ගියා. එදා ඉඳන් අද වෙනකම්ම මගේ ගේ ඒක තමයි.

ජෝන් අයියට දරුමල්ලෝ එහෙම නැද්ද ඉන්නවා පිරිමි ළමයි දෙන්නෙකුයි ගැහැණු දරුවෙකු යි ඉන්නවා. දැන් ඔක්කොමල බැඳලා දුව ඉන්නේ පානදුරේ අනිත් අය සිරිපාගම.

ජොන් අයියගේ බිරිද තවම ජීවතුන් අතර ඉන්නවා ද කියා අපි නිකමට මෙන් ඔහුගෙන් විමසුවේමු. මෙය අවුරුදු හතළිහකට විතර කලින් අන්තිම දරුවා වදන් ට ගිහින් වැදුම්ගෙයි සන්නිය හැදිලා මැරුණා.

ඉතිං ළමයි ලඟට යන්ට අදහසක් ආවේ නැත්තේ ඇයි දැයි විමසූ විට ඔහු කීවේ මට මේ ජීවිතය ගැන ආසාවක් ඇති වුණා මේ වනයට මම ආදරේ කළා. ඉතින් මම මෙහෙ නතර වුණා. වරණගල වතුයාය පුරාම අද මේ වැවිලා තියන මහා වනාන්තරය මගේ අතින් සිටවු ගස් . ඒවා දිහා බලන කොට මට පාළුවක් දැනෙන් නෑ .

මෙහෙට ආවට පස්සෙ මේ වන තුරු කැලෙන් එළියට ඇවිත් නෑ. ළඟම ගමේ අයට මා හදන කිතුල් හකුරු කිතුල් පැණි හා වගා කරන එළවළු වගේ දේවල් යවලා ඒවට හරියන්ට බඩු මුට්ටු ගෙන්න ගන්නවා. සිරිපාද සමය කාලයට කෑම බීම අතින් නම් හිඟයක් නෑ නමුත් ආවාරය කාලයට කෑම බීම බොහොම හිඟයි.

වැහි කාලයට මෑතක් වන තුරුම ගල්ගුහාවේ හිටියා නමුත් මෑතකදී ඉඳලා වැහි කාලය යට ගල් ගුහාව මැදින් විශාල වතුර පාරක් ගලා බසින්නට ගත්තා. ඒ හින්දා වැහි කාලයට වරණගල අම්බලමට යනවා.

මම මේ කැලේ මෙපමණ කාලයක් ජීවත් වුවත් මේ වන තුරු කිසිම හිංසාවක් කැලේ ඉන්න සතුන්ගෙන් සිදුවෙලා නැහැ. ඔවුන් මගේ හිතවතුන් ලෙසයි මා සලකන්නෙ. මම අලි දිවියෝ විවිධ සර්පයෝ වගේ සත්තු දැකලා තියනවා. මගෙ ගාව අන්තිමටම හිටපු බල්ලෝ දෙන්නව දිවිය කෑවෙ මගේ ඉස්සරහ මයි. අඩුම තරමින් කූඩැල්ලෙක්කූ ගෙන්වත් මට කරදරයක් නැ.

හැබැයි මම මේ කැලේ ඉන්න එක බොහෝ දෙනෙකුට විශාල කරදරයක් වෙලා තියෙනවා . හොරෙන් ගස් කපන අය වෙන වෙන හොර වැඩ කරන අය මාත් එක්ක තරහයි. මම ඒවට ඉඩ දෙන්නේ නැතිිි නිසා. මාව මරන්නත් ඇවිත් තියෙනවා. ඒත් මට පුළුවන් කාලයක් මම මේ වනාන්තරය ආරක්ෂා කරගන්නවා.

සමනල අඩවිය පිළිබඳ එක එක විශ්වාසයන් තියෙන බැවින් එහි ඇත්ත නැත්ත දැන ගැනීමේ රිසියෙන් අපි ඔහුගෙන් ඒ ගැන විමසුවෙමු. .

” මහත්තයෝ මේක සමන් දෙවියන්ගේ අඩවිය . මම මේකෙ තියෙන දේවල් බොහොමයක් අත්විඳලා තියෙනවා. මේකෙ කට වරද්ද ගෙන පාර වරදුන අය බොහොමයක් මට හම්බ වෙලා තියෙනවා. ඒ අය ඔක්කොමල කියන්නේ ඒ අය දින ගණනාවක් කැලේ ඉඳලා පහන් එළියක් ඒ අයට මඟ පෙන්නනවා කියලා.

ඒ වගේම සුදු අශ්වයෙක් පිට නැගුණු සුදේ සුදු මිනිසෙක් කෙම්මුර දවස් වලට මේ අඩවිය තුල ගමන් කරනවා. නමුත් කිසි කෙනෙකුට කරදරයක් නෑ .

මේ අම්බලන් වල විවිධාකාර ශබ්ද විවිධ කටහඬවල් ඇහෙනවා. දෙවියන් විසින් මා ආරක්ෂා කරන බව දන්න නිසා කලබල වෙන්නෑ.

අම්බලමට පිටිපස්සෙන් කියන මහා ඇල්ලට උඩින් ඇති පතුල නොපෙනෙන ගල් දෙබොක්කාව අද හරහා තමයි හුනියන් දෙවියෝ ශ්‍රී පාදය වඳින්ඩ යන්නේ. ගඟ පහළ සිට ඉහළට සමහර දින වල රෑට දීප්තිමත් එළියක් ගමන් කරනවා. ඔය දිය ඇල්ලේ මිනිසුන් සෑහෙන්ඩ මියගොස් තියෙනවා. ඒ එක සිරුරක්වත් වත් සොයාගන්ට මෙතෙක් හැකි වෙලා නෑ.

මේ අවුරුදු 50 ට ම මට මතක විදිහට කිසිම ලෙඩ රෝගයක් වැලදිලා නෑ. අනෙක් අතට මේ කැලය ඖෂධ ගුහාවක්. මා තරුණ කාලේ දවසට දෙපාර තුන් පාර වතාවකුත් සමනල කඳු මුදුනට ගිහින් තියෙනවා. ඒත් දැන් යන්ඩ තරම් ශක්තියක් නෑ.

වයස අවුරුදු 17 දී විවාහ වූ කඹුරුගලගේ ජෝන් නම් මේ තරුණයා වයස අවුරුදු 25 දී පමණ සිට අද දක්වා වසර පනහකට ආසන්න කාලයක් හුදකලාව සමනල අඩවියේ වාසය කරයි. අද ඔහු හැත්තෑ පස්වන විය ද ඉක්මවා සිටී. හැත්තෑ පස්වන හැවිරිදි අයෙක් වුවද ඔහු මහළු යැයි පැවසීමට අපේ සිත ඉඩ නොදෙයි. ගලින් ගලට පනිමින් ගමන් කරමින් තවමත් කටුක වනාන්තරය තුළ හුදකලාව ජීවත් වෙයි.

තම තමාගේ අහිමිථර්ථය මත ජීවත්වන වර්තමාන සමාජයේ ජෝන් නම් පුද්ගලයා අසමසම පුද්ගලයෙකි.

වසර 50ක් තිස්සේ හුදකලාව වනාන්තරය රැක ගැනීම උදෙසා ඔහු මෙතෙක් කරගෙන යන සටන අති ශ්‍රේෂ්ඨය. ඔහු වනාන්තරයේ ගල් ගුහාවක් තුළ හුදකලා වීමට තීරණය කලේ තම බිරිඳ මිය යාමේ ශෝකයෙන් යැයි අපට සිතිය හැකි වුවත් ඔහු අනාගතය පර පරපුර වෙනුවෙන් ස්වාභාව ධර්මය රැක ගැනීමට සිදු කර ඇති මෙහෙය සුවිශේෂ වූවකි යැයි කීවොත් එය නිවැරදි යැයි සිතේ.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close