සංචාරය

කඳසුරිඳු බල දුන් බුදුන් වැඩි මුණ්ඩ රාජ්‍යය

බලංගොඩ සිට බදුල්ල මාර්ගයේ කිලෝ මීටර 10 ක් පමණ ගමන් කරන විට උග්ගල් අලුත්නුවර ඉපැරණි කතරගම දේවාලය වෙත ගමන් කිරීමට ඇති මාර්ගය අසල ඉදිකළ තොරණ හමුවේ.

ඉපැරණි හෙළ ගෘහ නිර්මාණ ශිල්පයේ විශ්මිත නිර්මාණයක් වන මෙම දේවාල බිමහෙළ ඉතිහාසයේ සංධිස්ථානයක් යැයි පැවසුවහොත් එය මුසාවක් නොවනු ඇත.

ඉතා ආරක්ෂිත පවුරු වලින් වට කරන ලද දිට්ඨියක් සහිතව ඉදිකර ඇති මෙම දේවාලය වෙන්ව ඇත්තේ කතරගම දෙවියන් උදෙසාය.

උග්ගල් අලුත්නුවර දේවාලය නිර්මාණයට හේතු වූ කරුණු කාරණා පිළිබඳ ජනශෘති කිහිපයක්ම පවතී. ඉන් එකක් නම් බුදුරජාණන් වහන්සේ කතරගම කිරිවෙහෙර පිහිටි භූමියට වැඩම කරවන අවස්ථාවේ දී මෙම භූමියට ආසන්නයේ වු විලකින් අත් පා දෝවනය කොට විවේක ගත් බවත් එම විල පසුව බුදුන්ගේ විල නමින් මිනිසුන්ගේ ගරු බුහුමනට ලක්වූ බවත් කියවේ. එම කාරණාව මුල් කොට ගනිමින් මෙම දෙවොල ඉදිවූ බව ජනශෘතියක් වෙයි. එහෙත් වර්තමානය වනවිට බුදුන්ගේ විල යනුවෙන් නම් වූ ස්ථානයක් දක්නට නොමැති අතර ඒ වෙනුවට බුදුන්ගේ වෙල යනුවෙන් හඳුන්වන වෙල්යායක් වෙයි. පසු කාලයේ විල ගොඩවී වේලක් බවට පත් වූවා විය හැකිය.

දේවාලයේ ආරම්භය පිළිබඳ ඇති අනෙක් මතය වනුයේ එදවස හක්මන වත්ත නමින් හැඳින්වූ ප්‍රදේශයේ වාසය කළ බ්‍රාහ්මනයන් දෙදෙනෙකු දිනක් විල අසලට පැමිණ මුහුණ සේදීමට පහත් වූ අවස්ථාවේ දිය යට ඇති රන් ඊතලයක් දැක ඇත. එය ගැනීමට පහත් වූ විට එය නොපෙනී යාම හේතුවෙන් එය ඇත්තේ අසලවූ ගහ මුදුනේ බව තේරුම්ගෙන ගසට නැග එය ගෙන ඇත. එය කතරගම දෙවියන්ගේ දේව ආයුධයක් බව අවබෝධ කොටගත් බ්‍රාහ්මණයන් දෙදෙනා එම ඊතලය වර්තමාන ගැට්ටපාන ප්‍රදේශයේ ගල් ලෙනක තබා පුද පූජා පවත්වන්නට විය. මෙහි ඇති හාස්කම් පිළිබඳ දැනගත් සූරිය රජතුමා ඒ වෙනුවෙන් මෙම මහා වනාන්තරයේ එක් තැනක් වෙන් කොට කුඩා දෙවොලක් සාදා දුන් බව කියවේ.

මේ අතරතුර යාපා මහරජු හා රාජසිංහ රජු අතර දිගින් දිගටම ඇතිවුණු සටන් උදෙසා මැදමහනුවර සිට පැමිණ දෙවරක්ම පැරදී පසුබැස ගිය අතර තෙවන වර පැමිණෙන අවස්ථාවේදී කැලෑවෙන් ඇසුණා සංඛනාදයක් පිළිබඳ විමසා බලන විට සූර්ය මහරජු විසින් ඉදිකළ හා බ්‍රාහ්මණයින් විසින් කතරගම දෙවියන්ගේ දේව ආයුධ උදෙසා කරනු ලබන තේවාවන් ගැන දැනගන්නට ලැබී ඇත. ඉන්පසු තමන් යන යුදයෙන් ජය ගත හැකි වුවහොත් මෙහි දේවාලයක් තනන බවට රන් පනම් දහසකින් යුත් පඬුරු පොදියක් ඒ අසල වූ කොස් පැලයක බැඳ ඇත.

යාපා රජු හා රාජසිංහ රජු එම ගමනේ දී එකඟතාවයකට පත් ව යාපා රජු පාලනය කළ කොටස ඔහුටම පාලනය කිරීමට එකගතාවයකට එළැඹ ඇත. මේ හේතුවෙන් සතුටට පත්ව රජු යළි මැදමහනුවර බලා නික්ම යන අතරතුර තම බාරය අමතකව ඇත. මේ අතරතුර රජුගේ උගුරේ ලෙඩක් ඇති වී කතා කර ගැනීමට අපහසු වී ඇත. එවිට රජුට තම බාරය සිහිවී එය ඉටු කරන්නට එකඟ වී ඇති අතර එවිට ම උගුරේ ලෙඩ සුව වී ඇත. සොරගුණේ නමින් හැඳින්වෙන්නේ ස්වර් අගුණ වූ ස්ථානයයි.

දේවාලය කරවීම පිණිස පැමිණි යාපා රජු එදින රාත්‍රියේ එහි සිටින විට එක් වනම එහිවූ මහ නුග වෘක්ෂයක් ගිනිගෙන අළු බවට පත්ව ඇත. එය දෙවියන් පෙන්වූ ස්ථානය බව තේරුම් ගත් රජු වර්තමානයේ පවතින මහ දෙවොල ඉදිකළ බව සඳහන්ව ඇත.

එදා පඬුර බැඳි කොස් ගස අදද දක්නට ඇති අතර ඒ උදෙසා වන බාරහාර ඉක්මනින් ඉටුවන බවට විශ්වාසයක් පවතී. ජය ශ්රි මහා බෝධියට පසු රාජකාරි නියමව ඇති එකම වෘක්ෂය වන්නේ මෙම කොස් ගසයි.

එසේම ජය ශ්‍රී මහා බෝධියට පසු ලංකාවේ ඇති එකම තුන්පත් බෝධිය ලෙසින් සැලකෙන්නේ මෙම දේවාල භූමියේ ඇති බෝධියයි. තුන්පත් බෝධියක් යනුවෙන් හැඳින්වෙන්නේ දාගැබ හා බුදු ගෙය බෝ ගසේ ශාඛාවලින් එකිනෙක ස්පර්ශ වන ආකාරයෙන් හෝ බෝ ගසේ ශාඛා හි සෙවන ලබන ආකාරයෙන් පිහිටීමයි.

සිදුහත් තවුසාණෝ සය වසක් දුෂ්කර ක්‍රියා කොට බුද්ධත්වය ලබන මොහොතේ පැමිණි මාරසෙනග ට බිය නොවී බුදුහිමියන් තනිනොකර බුදුන් සමීපයේ සිටි දැඩිමුණ්ඩ දෙවියන් පිලිබඳ කතා පුවතක් ඔබ අසා ඇති… එදා ඒ මුන්ඩ යනු අට ලංකාවේ සිටී ප්‍රාදේශීය පාලකයෙකි. මගේ විශ්වාසය උග්ගල් අලුත්නුවර යනු මුංඩගේ රාජධානියයි.

මෙම දේවාල බිම නිර්මාණය කොට ඇත්තේ ඉතා ආරක්ෂිත පාලන ඒකකයක් නිර්මාණය කරන ආකාරයට ය. දේවාල බිමේ වූ උමං මාර්ගයක් පිළිබඳ ජනප්‍රවාදයක්ද පවතී. එම උමං මාර්ගය පැරණි ලිඳ හරහා පැවති බව ත් පසුකාලයේ එය වසා දැමූ බවටත් තොරතුරු පවතී.

උග්ගල් අලුත්නුවර දේවාලය පිහිටි පරිසරය හා එහි පිහිටීම ඉතා නිස්කලංකය. එමෙන්ම එහි ඇත්තේය දේවාල බිමක ඇති තේජසට එහා ගිය ගාම්භීරත්වයකි. එහි යන අපට ඇතිවන්නේ අපේකම පිළිබඳ ඇතිවන ප්‍රබල හැඟීමකි

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close